free stats

“ අනේ අපේ පුතා හරිම මිටියි. එයාට ලොකු වුණාම ස්පෝර්ට්වත් කරන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ.” කවීශා කිව්වේ දුකෙන්.

“ඉතින් ඔයත් ඒ තරම් උස නැහැ නේ. පුතා ඔයාගේ ආරෙට යනවා වෙන්න ඇති.” තාරකා කිව්වා.

“ අපේ හස්බන්ඞ් උසයි නේ. එයත් කියනවා පුතා උස යන එකක් නැහැ කියලා.”

“ කියන්න බැහැ වයසට යන්න යන්න පුතා උස යන්නත් ඉඩ තියෙනවා. ”


තාරකා එහෙම කිව්වේ කවීශාගේ හිත හදන අරමුණෙන්.

නමුත් කවීශා හිටියේ හිත හදාගන්න සුදානමෙන් නෙවෙයි. ඇයට මේ ප්‍රශ්නය බොහොම තදබල විදියට දැනෙමින් තිබුණා. ඒ නිසාම ඇය සායනයට ගිය වේලාවේ දරුවාගේ වර්ධනය පිළිබඳව වෛiවරයාගෙන් අහන්න තීරණයක් අරගෙන තිබුණේ.

අලුත උපන් දරුවෙකුගේ පෝෂණය පිළිබඳව සැලකිලිමත් වන දෙමව්පියන්ගේ මූලිකම අරමුණක් වන්නේ දරුවාගේ වර්ධනය නිසි පරිදි සිදුවීමයි. ශරිර වර්ධනය උස බර යන දෙකෙන් පෙන්වන අතර මොළයේ වර්ධනය පෙන්වන්නේ හිසේ වට ප්‍රමාණය මඟිනි. නියමිත දින ගණන සම්පූර්ණ වී උපදින දරුවෙකුගේ බර ප්‍රමාණය කිලෝ 2 1/2 3 1/2 අතර ප්‍රමාණයකි. මෙම බර ප්‍රමාණයට වඩා දරුවාගේ බර අඩු නම් ඔහු අඩු බර දරුවෙක් ලෙසත් ඉහත බර ප්‍රමාණයට වඩා වැඩි බර ප්‍රමාණයක් ඇති දරුවන් අධි බර දරුවන් ලෙසත් හැඳින්වේ.

දරුවෙක් උපදින විට වර්ධන සටහනේ සඳහන් වන පරිදි එයට අනුරූපව වර්ධනය සිදුවේ. මේ නිසා මුල් අවුරුදු තුනේ දි මාසයකට වරක් දරුවාගේ බර මැනගත යුතු අතර මාස හයකට වරක්වත් උස මැනගත යුතුයි. එයින් දරුවාගේ වර්ධනය වර්ධන සටහනෙන් පිට යනවාදැයි පරික්‍ෂා කරගන්නට පුළුවන. බොහෝ මව්වරුන් අන් දරුවන් සමඟ සංසන්දනය කරමින් තම දරුවාගේ වර්ධනය පිළිබඳව කනස්සල්ලට පත්වෙති. නමුත් ඉහත සඳහන් කළ පරිදි දරුවාගේ උස හා බර නිවැරදිව මැනගෙන උසට සරිලන බර පවත්වාගෙන යාම ප්‍රමාණවත්ය. උස සහ බර අසාමාන්‍ය වීම වෛi උපදෙස් ගැනීමට හේතුවක් බවත් මතක තබාගත යුතුයි.

දරුවාගේ උස සහ බර තීරණය වන්නේ මවගෙන් හා පියාගෙන් ලැබෙන වර්ණදේහ අනුවයි. ගර්භණී සමයේ දි තීරණය වු වර්ධනය වීමේ හැකියාවත් මේ සඳහා බලපායි. ඒ අනුව දින සම්පුර්ණ වු දරුවෙකුගේ උපත් බර මේ සඳහා සෘජුවම බලපෑම් එල්ල කරන සාධකයකි. ඒ ඒ දරුවන්ගේ වර්ධන හැකියාව තීරණය වේ. පළමු වසරේ දරුවාගේ බර සෙන්ටිමිටර් 25 කින් වැඩිවන අතර එහි වේගය වසරෙන් වසර අඩුවේ. දිනපතා සායනවලදි හිසේ වට ප්‍රමාණය මැනීමක් සිදු නොවන අතර යම් ගැටලුවක් ඇත්නම් පමණක් මැනීම සිදු වේ. ඒ අනුව දරුවාගේ හිසේ වට ප්‍රමාණය උපතේ දි සෙන්ටිමීටර් 5 ක් පමණ වන අතර වසරක් ගතවන විට සෙන්ටිමීටර 10 ක් 12 ක් පමණ ප්‍රමාණයකින් වැඩිවීම දැකගත හැකියි.

සාමාන්‍යයෙන් උස මනින විට ශරීරයට අනුරූපව බර තිබේදැයි බැලීමක් සිදුවේ. ඒ සඳහා අවශ්‍ය සටහන ළමා වර්ධන පොතෙහි අඩංගු වේ. මේ අනුව දරුවා ස්ථූල හෝ කෘෂ වී ඇත්ද යන්න හඳුනාගත හැකියි. උසට අනුව බර නැත්නම් දරුවා කෘෂ දරුවෙක් වන අතර උසට සාපේක්‍ෂව බර වැඩි නම් ඒ ස්ථූල මට්ටමට ලඟාවෙමින් සිටින දරුවෙකි. මෙමඟින් දරුවා සෞඛ්‍යමය වශයෙන් අවධානම් තත්ත්වයට පත්වීම වළක්වාලීමට පුළුවන. අවුරුදු දෙක සම්පූර්ණ වීමෙන් පසුවත් දරුවාගේ බර සහ උස මැන සටහන් කිරීම මඟින් දරුවාගේ වර්ධනය පිළිබඳව නිර්ණය කරගත හැකිය. මෙමඟින් බෝ නොවන රෝග බොහෝමයක් වළක්වාගත හැකි වේ. එසේම එය ළමා ස්ථූලබව වළක්වාගැනීමටත් උපකාරි වේ.

දරුවාගේ නිසි වර්ධනය සඳහා මනා පෝෂණයක් අවශ්‍ය වේ. මෙහි තිබෙන වැදගත්ම කරුණ එයයි. නිසි පෝෂණය යනු සීමාවකින් තොරව ආහාර ලබාදීම නොවන බවත් දෙමව්පියන් මතක තබාගත යුතුයි. මෙහිදි පලමු මාස හතර දරුවාට දිය යුත්තේ මව්කිරි පමණි. ඉන් අනතුරුව මාස හයේ සිට දරුවාට අමතර ආහාර පටන් ගැන්ම කළ යුතුය. නමුත් මව්කිරි බොන වයසේ දරුවෙකුගේ බර ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී දරුවාට මාස හතර සම්පූර්ණ වීමෙන් අනතුරුව අමතර ආහාර ලබාදීම සුදුසුය. මෙහිදි විටමින් බී 12 දරුවාගේ වර්ධනය සඳහා ඉතාමත් වැදගත් වන අතර අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නිවැරදිව දරුවා වෙත ලැබීම දරුවාගේ වර්ධනයට හේතු වේ.

මහාචාර්ය පූජිත වික්‍රමසිංහ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
වෛද්‍ය විද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලය

සටහන චාපා හංසිනි ආටිගල