free stats

  වැඩි පෝෂණීය වටිනාමක් සහිත සමබර ආහාර වේලක් ගැබිනි මවගේ පෝෂණයට සහ දරුවාගේ ප්‍රශස්ත වර්ධනයට ඉතා වැදගත්වේ. වර්තමාන සමාජයේ වෙළදපොලීන් ලබා ගන්නා ආහාර වල ගුණාත්මය සම්බන්ධයෙන් විවිධ සැක සංකා පවතී. එබැවින් ඒ සදහා පවතින හොදම විකල්පය වනුයේ හැකි පමනින් තම ගෙවත්තෙන්ම ලබා ගැනීමට සැලසුම් කිරීමයි. ගැබිනි මවට මෙන්ම පවුලේ පෝෂණය සදහා අවශ්‍ය එළවළු පළතුරු පළාවර්ග ඖෂධ ආදිය වස විසෙන් තොරව නැවුම්ව හා පිරිසිදුව ගෙවත්තෙන් ලබාගැනීමට හැකියාවක් ඇතොත් එමගින් පෝෂණය මෙන්ම ආහාර සදහා වැය කරනු ලබන මුදල් ඉතිරි කර ගැනීමටද හැකියාවක් ලැබේ. තවද පෝෂනීය වශයෙන් වැදගත් කමක් නොමැති ශාක වර්ග වෙනුවට පෝෂණය සදහා වැදගත්වන බෝග වගා කර ගැනීමෙන් ශාරීරික ව්‍යායාමයක් මෙන්ම මානසික තෘප්තියද ලැබේ.

ගැබිනි මවගේ පෝෂනයට අවශ්‍ය දෑ අතරින් පහසුවෙන් ගෙවත්තේ වගාකරගත හැකි බෝග තෝරාගෙන කුඩා පරිමාන වගාවක් ආරම්භ කිරීම අපහසු  කාර්යයක් නොවේ. මේ සදහා ඉතා අවම ශ්‍රමයක් භාවිතා කරමින් අවම ඉඩකඩකින් වුවද සැලකිය යුතු අස්වැන්නක් ගෙවත්තෙන් ලබා ගතහැකිවේ.

ගෙවත්තක් සැලසුම් කිරීමේදී ප්‍රධාන වශයෙන් හිරු එළිය, ඉඩකඩ, පාංශු තත්ව පිළිබද සැලකිලිමත් විය යුතුය. ඒ අතරින් හිරු එළිය සහ ඉඩකඩ ගෙවත්තක වඩාත්ම සීමාකාරී වන බැවින් ඒ ගැන සැලකිලිමත්ව සැලසුම් සකස්කර ගැනීම කල යුතුය. මෙහිදී අනොන්‍ය සෙවන වලක්වා ගැනීමත් පවතින සූර්යාලෝකය උපරිම වශයෙන් බෝග වගාවට උපයෝජනය කර ගැනීමත් වැදගත්වේ. වර්තමානයේ බොහෝ නාගරික හා අර්ධ නාගරික පෙදෙස් වල නිවාස පර්චස් 10 -20 වැනි කුඩා ඉඩකඩකට සීමා වී ඇති බැවින් නිවස අවට ඇති කුඩා ඉඩකඩ කළමණාකරණය කරගැනීමද වැදගත්වේ. ගෙවත්තට අලංකාරයක්ද ලැබෙන පරිදි විවිධ උස සහිත බෝග වර්ග වගා කිරීමත් වායව පරිසරයේ තිරස් අතට පවතින ඉඩ හැකිතාක්  භාවිතා කිරීමත් කල හැකිවේ.

ගැබිනියකට වුවද පහසුවෙන් සැලසුම්කර ගත හැකි සරල වගා ක්‍රම කිහිපයක් ගෙවත්ත තුළ අත්හදාබලමු.

1.            පොල්ලෙලි වලින් වටකර ගත් පාත්ති මත වගා කිරීම

පාංශු ඛාදනය වැලක්වෙන පරිදි හා පසේ තෙතමනය ආරක්ෂා වන පරිදි පොල් ලෙලි වලින් වටකර ගත් කුඩා පාත්ති මත පළාවර්ග, ඉගුරු කහ වැනි බෝගද කැරට් බීට් වැනි එලළුළු වර්ගද වගා කර ගත හැකිය.

2.            උණබට, වැහිපිහිලි හෝ ටයර් මත වගා කිරීම

උණ බටයේ මැද කොටස ඉවත්කර හෝ ටයරයේ අඩක් ඉවත් කර කොම්පෝස්ට පොහොර,මතුපිට පස් සහ වැලි 1:1:1 මිශ්‍රණයකින් පුරවා කංකුන්, ගොටුකොළ, මුගුණුවැන්න, වැනි පළාවර්ගද ස්ට්‍රොබෙරි වැනි පලතුරු වුවද පහසුවෙන් වගා කරගත හැකිය. මෙය කිසියම් උසක රදවා තැබීම හෝ කම්බියක්  ආධාරයෙන් ගසක හෝ වෙනත් සුදුසු ස්ථානයක එල්ලා තැබීම හෝ ටයරයක් නම් බිම වුවද තැබිය හැකිය.

3.            බෝතල් හා ප්ලාස්ටික් කෑන් තුළ වගා කිරීම

ඉවත දමන ප්ලාස්ටික් බෝතල් හා කෑන් වල කොටසක් ඉවත් කර ඉහත පස් මිශ්‍රණය පුරවා කුඩා වර්ධන විලාසයක් සහිත පළා වැනි බෝග සිටුවා ගත හැකිය. ප්ලාස්ටික් කෑන් වල විශාලත්වය අනුව වගා කර ගත හැකි බෝග වෙනස්වේ. අගල් 9 ක පමණ විශ්කම්භයක් සහිත ප්ලාස්ටික් කෑන්වල තරමත් විශාල වර්ධන විලාශයක් ඇති වම්බටු, මාළුමිරිස්, තක්කාලි වැනි බෝගද විශාලත්වය අනුව වගාකර ගත හැකිය. මෙය ගෙවත්තට අලංකාරයක් එක් වන පරිදි ගෙවත්තේ විවිධ ස්ථානවල ක්‍රමවත්ව හෝ අක්‍රමවත්ව ස්ථානගත කල හැකිය.

4.            ඉවතලන හාල් මළු හෝ වගා මළු තුළ වගා කිරීම

මෙම ක්‍රමය විවිධ බෝග සදහා අවශ්‍යතාවය අනුව අනුගමනය කල හැකිය.

5.            බෑවුම සහිත භූමිවල වගා කිරීම

ගොටුකොල, මුකුණුවැන්න වැනි පළාවර්ග පහසුවෙන් වගාකරගත හැකිය.

6.            නිර්පාංශු වගාව

රිජිෆෝම් පෙට්ටිතුලට ජලය පුරවා ඇල්බට් මිශ්‍රණය එහි අසුරණයේ දක්වා උපදෙස් අනුව එක්කර පෙට්ටියේ පියනේ සිදුරු කපා පැල වල මුල් ජල ස්ථරය තුලට වන සේ කොහුබත් වැනි පස්රහිත මාධ්‍යයක් පිරිවූ යෝගට් කෝප්ප වල පැල රදවා   පස් රහිතව වගා කිරීම කල හැකිවේ.

එන්.එල්.ඒ.ටී.එස්.නානායක්කාර
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ),
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,
ගන්නෝරුව.