free stats

ගර්භණි බව හේතුකරගෙන ඇතිවන ශාරිරික අපහසුකම් බොහෝමයි. මේවා ඇතිවන්නේ  හෝර්මෝන වෙනස්වීම් වල ප්‍රතිපලයක් ලෙසිනි. මේ හැරුණු විට හෝර්මෝන වෙනස් වන විට සමෙහි විවිධ වෙනස්කම් මතුවනවා. නමුත් කාන්තාවන් වැඩි වශයෙන් ශාරිරික වේදනාවන් කෙරෙහි අවධානය යොමු කලත් සමේ සිදුවන මෙවැනි වෙනස් වීම් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ.මෙම ලක්ෂණ ගර්භණි බව නිසාම මතුවනවා වුවත් සමහර විට සිරුර අභ්‍යන්තරව පවතින වෙනත් රෝගයක්

හේතුවෙන් මෙසේ වන්නට පුලුවන්. ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ සමඟ කල සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසෙන්නේ ගර්භණි සමයේ ඇතිවන සමේ වෙනස්වීම් පිළිබඳව දැනුවත් වීම වැදගත් වන නිසයි.

* ගර්භණි බව හේතු කරගෙන ඇතිවන ලක්ෂණ

ප්‍රධානම කරුණ වන්නේ හෝර්මෝන වෙනස් වීමයි. එහි ප්‍රතිපලය ලෙස මුහුණේ සහ අත් පාවල රෝම කූප වර්ධනය වේ. අධික ලෙස දහදිය දැමීම ගර්භණි බව නිසා එන තවත් ලක්ෂණයකි. ඒ නිසාම දහදිය බිබිලි මතුවිය හැකිය. දහදිය දැමිම නිසා එන අනෙක් ගැටලුව වන්නේ සම වියලීමයි. ගර්භණි බව නිසා උදරය විශාල වී සම ඇදෙන බැවින් මෙම තත්ත්වය  වැඩිපුරම දක්නට ලැබෙන්නේ උදර ප්‍රදේශයෙයි. මේවා ස්ටේ‍රච් මාර්ක් ලෙස හැදින්වේ.

හෝර්මෝන වෙනස් වීමේ ප්‍රතිපලයක් ලෙස සමේ දාර ඇති තැන්වල එනම් බෙල්ල වැලමිට හන්දි ඉකිලි ආශ්‍රිතව වර්ණක තැම්පත් වේ.  එවිට

එම  ස්ථානවල තද පැහැයක් දක්නට ලැබේ. මෙය දිගින් දිගටම පවතින තත්ත්වයක් නොවේ. දරු ප්‍රසුතියෙන් පසුව කලක් ගතවන විට මේ තත්ත්වය ඉවත්ව යන බැවින් මේ සදහා කෘතිම ආලේපන ගැල්වීමට අවශ්‍ය නැත.

ගර්භණි සමයේ නහර ගැට ගැසීම සාමාන්‍යයෙන් සිදු වේ. එයට හේතුව කෙමෙන් කෙමෙන් විශාල  වන උදරය නිසා රුධිරවාහිණි අවහිර වීමෙන්

ශිරාවන් තෙරපීම නිසා නහර උඩට මතුවීමයි. එම ශීරාවන් මකුළු දැලක ආකාරයට නිල් පැහැයෙන් දැකගත හැකියි. දරු ප්‍රසූතියෙන් පසුව බොහෝ විට මෙම අඩු වී මඟහැරි යයි. නැවත දරුවෙක් ලැබෙන විට මෙම තත්ත්වය ඇතිවන්නට පුලුවන. මේ නිසා මවගේ දෙපා අධික ලෙස වේදනා ගෙන දීම මෙහි එන ප්‍රධානම ගැටලුවයි. විශේෂයෙන්ම වේදනාව මතුවන්නේ රාත්‍රි කාලයටය. දවස පුරාම සිටගෙන  සිටින එවැනි රැකියාවල නිරත වන කාන්තාවන්ට අනෙක්  කාන්තාවන්ට වඩා වැඩියෙන් දෙපාවල වේදනාව මතුවන්නට ඉඩතිබේ.

සිරුර මහත්වීම නිසා දහදිය දැමීම අධික වීමෙන් ඉකිලි ආශ්‍රිතව කැසීමක් ඇතිවිය හැකියි. මෙම තත්වය පාලනය කිරිම සඳහා කපු රෙදිවලින් මසන ලද යට ඇදුම් භාවිතය සුදුසු වේ. ස්නානයෙන් පසුව හෝ ඇඟ සේදීමෙන් පසුව එම ස්ථාන හොදින් පිස දමා තෙත මාත්තු කර වියලිව තබාගත යුතුය. නිවසේ සිටින විට යට ඇදුම් නොඇද සැහැල්ලුවෙන් සිටිම ද වඩාත් සුදුසුය.

ඒමෙන්ම ගර්භනී කාලයේ දී නාභියේ සිට පහලට යෝනී මාර්ගය දක්වා හරි මැදින් දිවෙන කළු පැහැ ඉරක් මතුවනවා. මෙය සිදුවන්නේ වර්ණක තැම්පත් වීම නිසයි.

බොහෝ ගර්භණි කාන්තාවන්ගේ මුහුණ ඉදීමීමක් දක්නට ලැබෙන අතර ඇතැම් විට මුහුණ පමණක් නොව අත් පා සහ ඇගිලි ද ඉදිමෙන්නට පුලුවන්. මෙය බොහෝවිට රුධිර පීඩනය නිසා සිදුවනවා විය හැකියි. එබැවින් එවැනි ලක්ෂණ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන රුධිර පීඩනය පරික්ෂා කරවා ගතයුතුයි.

ගර්භණි අවධියේ අවසන් මාස දෙක තුළ ශරිරයේ විවිධ තැන්වල කැසීම් ස්භාවයක් මතු වේ. අල්ල සහ යට් පතුල් කැසීම මේ අතරින් විශේෂ වේ. මෙවන් තත්ත්වයක් තිබෙනවා නම් අක්මාවේ ක්‍රියාකාරිත්වය පරික්ෂා කර බැලිය යුතුය.  හිස කෙස් ගැලවී  යාමද මෙකල බහුල ලක්ෂණයකි. සමහර විට හෝර්මෝන ක්‍රියාකාරි වීම නිසා මෙලෙස හිසකෙස් ගැලවී යාහැකිය. විටමින් ඌණතාවටය නිසා එසේ සිදුවන බව සිතුවත් සත්‍ය වශයෙන්ම මෙයට හේතුව වන්නේ හෝර්මෝන අසමතුලිත වීමයි. සමේ ඉන්නන් මතුවන්නේ වෛරස් ආසාදන නිසාය. ගර්භණී කාලයේ දී මෙම ඉන්නන් විශාල වීමක් දැකිය හැකිය. දරු ප්‍රසුතියත් සමඟ තත්ත්වය මඟහැරි යයි.

කෙසේ වෙතත් ගර්භණි සමයේ එන ඉහත ලක්ෂණ පිළිබඳව දැනුවත් වීමත් අවශ්‍ය මොහොතේ නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත් ඉතාමත් වැදගත් ය. සමහර විට මෙම ලක්ෂණ ගර්භණි සමයෙන් පසුවත් පැවතිය හැකි අතර ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

උපදෙස්

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
රුක්ෂාන් ප්‍රනාන්දුපුල්ලේ
ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
දකුණු කොළඹ ශික්ෂණ රෝහල.

සටහන – මංජුලා මල්කාන්ති.