free stats

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන

දරුවකුගේ ජීවිතයේ කායික මානසික සහ ප්‍රජානන සංවර්ධනය උදෙසා අත්‍යාවශ්‍ය වූ සාධකයකි නින්ද. බිළිඳු අවධියේ දවසින් වැඩි කොටසක් නිදා ගන්නා බිලිඳා වයසින් වැඩෙත්ම නිදාගන්නා ප්‍රමාණය අඩු කරයි. එහෙත් ළමා අවධියේදීද ඔහුට සැළකිය යුතු නින්දක් අත්‍යාවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් ළමා වයසේදී දරුවකුට එක දිගට පැය අටක නින්දක් අවශ්‍යයයි. අධ්‍යාපනය, ක්‍රීඩාව, වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලින් දිවා කාලයේ ක්‍රියාශීලී වන දරුවාගේ කායික මානසික විවේකයට මෙම නින්ද උපකාරී වෙයි. ශරීරයේ ගෙවී ගිය සෛළ නැවත අළුත්වැඩියා වීමටද නින්ද අවශ්‍ය වෙයි. ප්‍රමාණවත් තරමින් සුවදායි නින්දක් ලැබූ දරුවා එසේ නොලැබූ දරුවාට වඩා ප්‍රාණවත්ය, ප්‍රියමනාපය , ක්‍රියාවෙහි කඩිසරය. කඩින් කඩ නිදා ගැනීම හෝ බොහෝ රෑ බෝවී නිදා ගැනීම දරුවකුට නුසුදුය.

 සමහර දරුවන් පාසැල් ගොස් පැමිණි පසු දහවල් ආහාරය ගෙන නින්දට යයි. ඉන්පසු සවස් වී අවදි වී මධ්‍යම රාත්‍රිය වන තෙක් රූපවාහිනී නැරඹීම, පරිගනක ක්‍රීඩා ආදියෙහි නිරතවන බැව් වැඩිහිටියෝ පවසති. මෙය එතරම් හොඳ දෙයක් නොවේ. එවිට ඔවුන් පසුදා උදෑසන අවදිවීමට මැළිකමක් දක්වති. ශරීරයට කෙඩෙත්තු ගතියක් ඇතිවෙයි. එවිට නුරුස්නා හැඟීම් ඇතිවී මව්පියන් හා ගැටෙයි. මේ තත්වය ඇති නොවීමට මව්පියන් වග බලා ගත යුතු වෙයි. අඩුම තරමේ වයස අවුරුදු දහයට අඩු දරුවන් රාත්‍රී නවය වන විටවත් නින්දට යා යුතුය. දහවල් නිදා ගැනීමට ඉඩ හරින්නේ නම් පැයකට වඩා වේලාව දික් නොකල යුතු වන අතර එම නින්ද අඳුර වැටෙන්නට ආසන්නයේ ලබා නොදිය යුතුය.

හොඳම දෙය නම් පාසැල ඇරී පැමිණ ඇඟපත සෝදා පිරිසිදු වී දිවා ආහාරය ගන්නට ඉඩදීමයි. ඉන්පසු පාසැලෙන් නිවසේදී කරන්නට ලබාදී ඇති ගෙදර වැඩ කරන්නට ඉඩදී ඒවා අවසන් වූ පසු ක්‍රීඩා කරන්නට ඉඩදීමයි. අඳුර වැටුණ පසු ඉක්මනින් රාත්‍රී ආහාරය ලබාදී  වේලාසනින්  නින්දට යැවීම වඩා සුදුසු ක්‍රමයයි.. නමුත් සමහර මව්වරුන් ඔවුන් නරඹන රූපවාහිනී වැඩ සටහන් හමාර වූ පසු නිවසේ ඉවුම් පිහුම් කිරීම, දරුවන්ට රාත්‍රී ආහාර ලබාදීම සිදු කරන බව උපදේශනයේදී මා අත්දකින දෙයකි. එවිට දරුවන් නිදි කිරමින් මව්වරුන් වටා කරකැවෙමින් හෝ මව්වරුන් නරඹන ටෙලි නාට්‍ය නරඹමින් හෝ කාලය ගත කරයි. මෙයින් දෙයාකාරයක අයහපතක් දරුවාට සිදුවෙයි. එකක් ඔහුගේ නින්ද ප්‍රමාණවත් හා සුවදායක ලෙස නොලැබීමයි. අනෙක් කාරණය දරුවන්ට කිසිදු ආකාරයේ ආදර්ශයක්, පෞරුෂ සහ ආකල්ප සංවර්ධනයක් සිදු නොකරන අවර ගණයේ කතා ඔහුගේ මනසට කාන්දු වීමයි.

 එක්තරා විදුහලක ගුරු මහත්මියක් මා හා පැවසුවේ එම විද්‍යාලයේ හය හත ශ්‍රේණි වල දැරියන් පෙම් සබදතා ඇතිකර ගැනීම නිසා බරපතළ ගැටළුවකට ගුරුවරුන් මුහුණ දී ඇති බවයි. එසේම මේ දරුවන් ලියන්නා වූ පෙම් හසුන් වල අඩංගු කාරණ කිසිසේත් තාත්වික නොවූ සිහින හෝ මායාවන් බවයි. මේ පිළිඳබව සැලකිලිමත් වීම මව්පියන්ගේ දැඩි වගකීමකි. එසේම ටෙලි නාට්‍ය බලන්නට ඉඩ නොදෙන සමහර මව්පියෝ කාටූන් සහ වීඩියෝ ක්‍රීඩා වරදක් නැතැයි සිතති. එහෙත් වර්තමානයේ අප රටේ විකාශනය වන කාටූන් දරුවන්ගේ යහගුණ සංවර්ධනයට සදාචාර සංවර්ධනයට කිසිසේත්ම ගුණාත්මක දායකත්වයක් නොදෙන අතර සමහර කාටූන්වල භාෂා හැසිරවීම ඉතා පහත් මට්ටමක පවතී. මේවා පිළිබඳ වගකිවයුතු පුද්ගලයන් සැලකිලිමත් නොවන බැවින් තනි තනිව හෝ මව්පියන් තම දරුවන් මේවායින් රැක ගත යුතුව ඇත. මැරීම්, කෙටීම්, භයානක අවිආයුධ පරිහරණය කිරීම් අනෙකාට හිංසා පීඩා කිරීම්, වංචා කපටිකම් කිරීම්, රැවටීම, සුරාපානය, දුම් පානය මෙම කාටූන් වල බහුලය. අප බොහෝ වැර වෑයම් කර කැපවීම් කර හදාවඩා ගන්නා දරුවන් අපේ අනුමැතියෙන් නරඹන්නේ මේවා නම් අනාගතයේ ඔහු කෙරෙන් අපට දකින්නට ලැබෙන්නේ කවර අන්දමේ වැඩිහිටියෙක් දැයි ඔබ සිතා බලා තිබේද?

තම දරුවන් රූපවාහිනියෙන් ඈත්කරගැනීමට අවශ්‍ය වූ එක්තරා මවක් මගෙන් එයට පිළියමක් විමසූ අවස්ථාවේ මා ඇයට දුන් උපදෙස නම් “පළමුව  ඔබ රූපවාහිනියෙන් ඈත්වන්න“ යනුවෙනි. අප රූපවාහිනියට නිවසේ මුල්තැනක් දීම දරුවන් ඊට ග්‍රහණය වීමට හේතුවකි.

එසේම උදෑසන පාසැල් එනවිටත් සවස පාසැල ඇරී නිවසට යනවිටත් පාසැල් වෑන් රථය තුළ නිදා ගන්නා කුඩා දරුදැරියන් ඕනෑ තරම් දැකිය හැකිය. බොහෝ දුර බැහැර සිට පාසැල වෙත එන මේ දරුවන්ගෙන් සමහරක් වෑන් රථයට ගොඩ වන්නේ පාන්දර පහ පහමාරට පමණය. ඒ වේලාවට වෑන් රථයට ගොඩවීමට ඔවුන් හතරහමාරට පමණවත් අවදිවිය යුතුය. මේ දරුවන් නිවසට යන විට සවස හතර පමණ වෙයි.සිතා බලන්න මේ දරුවන්ගේ තත්වය කෙතරම් ශෝචනීයද යනවග. අඩුම තරමේ ප්‍රාථමික අධ්‍යාපනයවත් නිවස ආසන්නයේ පාසැලකින් දරුවකුට ලබාදීමට මව්පියන්ට හැකි නම් එය දරුවා වෙනුවෙන් කරන උපකාරයකි. මේ දරුවෝ අවශ්‍ය සුව නින්දක් නොලබති. බොහෝ පාසැල් වෑන්රථ කිසිදු පහසුකමක් නැති වෑන්රථයේ ඉඩ ප්‍රමාණයට වඩා දරුවන් පටවාගෙන යන අබලන් වාහන වේ. සමහර වෑන්රථ වල වාතාශ්‍රය අවමය. එබදු රථවලදී පවා දරුවන් නිදාගන්නේ ඔවුන් වෙහෙසට පත්වීම හේතුවෙනි. ලැබී ඇති නින්ද ප්‍රමාණවත් නොවූ බැවිණී.

එබැවින් බුද්ධිමත් මවිපියෝ දරුවාගේ ජීවිතය සමබර පෞරුෂයකින් හෙබිවීම සදහා අධ්‍යාපනය , ක්‍රීඩාව සහ නින්ද පිළිබදව සමානව සැලකිළීමත් වෙති. විශේෂයෙන් කිසියම් ප්‍රමාණයකින් දරුවාගේ ජීවිතය සකස් කරති. සැලසුමකට අනුගත කරති. ඔහුගේ වැඩකටයුතු වලට කාල වේලාවක් වෙන්කරදී ඒ ඒ වේලාවන්ට ඒ ඒ ක්‍රියාකාරකමෙහි යොදවති. නින්දත් ඒ කාලසටහනේ එක් ප්‍රධාන වැදගත් කොටසක් බව දැන නිසි වේලාවට දරුවන් නින්දට යවති.