free stats

කාන්තාවෝ කොයි කවුරුත් හරි කැමති විෂයක් තමයි රූපලාවන්‍ය කියන්නේ. තරුණ වයසෙ ඉන්න බොහොමයක් උදවිය මේ කෙරෙහි දක්වන්නේ විශාල උනන්දුවක්. නමුත් අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා අපේ කාන්තාවන්ට මේ දේවල් අමතක වෙන කාල වකවානුවක් එනවා. ඒ තමයි විවාහයෙන් පස්සේ පුංචි පැටියෙක් පවුල් ජීවිතයට එකතු වෙන කාලය. මෙන්න මේ නිසාම අද අපි මේ කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න හිතුවා. මේ කතාව වඩාත් වැදගත් වෙන්නේ පුංචි පැටියෙක් ඉන්න අම්මා කෙනෙකුටයි.

මේ කාරණාවේදී අපි මතක තබා ගත යුතු වැදගත්ම දේ වෙන්නේ රූපලාවන්‍ය කියන්නේ හැමදාමත් අපි අවධානය යොමු කළ යුතු විෂයයක් බව. මොකද කොයි තරම් වයසට ගියත් පිරිසිදුවට පිළිවෙළට ප්‍රියමනාපව සිටිනවා නම් ඒ දේ ගොඩක් වැදගත්. නමුත් අද අපි බොහෝ වෙලාවට දැකලා තියෙන්නේ මේ කාරණාවෙන් බැහැර උණ තත්ත්වයක්. මොකද තරුණ වයසේ හැඩ වැඩ වෙලා ඉන්න අපේ කාන්තාවන් විවාහයෙන් පස්සේ දරු පැටියෙක් ලැබුනම ඇතිවෙන කාර්යබහුලත්වයත් එක්ක තමන් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. රූපලාවණ්‍ය කිව්ව ගමන් අපට නම් මතක් වෙන්නෙ රූපලාවණ්‍යාගාරයකට ගිහින් කරන සත්කාර වර්ග. බාහිරින් යොදාගන්න විවිධාකාරයේ ආලේපන ක්‍රීම් වර්ග. නමුත් අපේ සිරුර ලස්සන පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් බාහිරින් කරන මේ සත්කාර වලට යොමු වෙන්න කලින් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

  • පිරිසිදුකම
  • ව්‍යායාම කිරීම
  • මානසික සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීම

පිරිසිදුකම කියන්නේ අපේ ජීවිතයේ වැදගත්ම කොටසක්.පිරිසිදුකම ඉහළ කෙනකුගේ සෞඛ්‍යය නිරෝගි වෙනව වගේම ප්‍රියමනාප ගතියක් ඉහල යනවා. මේ නිසාම රූපලාවණ්‍ය මූලිකම දේ වෙන්නේ පිරිසිදුකමයි. විශේෂයෙන්ම මේ කාරණාවේදී මූලික සෞඛ්‍ය පුරුදු
අනුගමනය කිරීම වැදගත්. නමුත් පුංචි පැටියෙක් එක්ක දවස ගෙවන අම්මලා කාර්යබහුලත්වය වැඩි වීමත් එක්ක තමන්ගේ පිරිසිදුකම කෙරෙහි අවධානය අඩු කරල දානවා. නමුත් මේ පිළිබඳව නිසි අවධානය යොමු කිරීම තුළින් ප්‍රියමනාප ගතිය වර්ධනය වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වගේම පුංචි පැටියටත් මේ පිරිසුදුකම පුරුද්දක් විදියට යනවා. පුංචි වයසෙ ඉඳලම පිරිසිදුකමේ වැදගත්කම පිළිබඳ පණිවිඩයක් එයාගෙ මොළයට ගමන් කරනවා.

රූපලාවණ්‍ය එන්න ආලේපන වර්ග වලට වඩා ශරීරය ලස්සන පිළිබඳ සැලකිලිමත් වීමේදී නිසි හැඩය කියන කාරණාව ඉතාම වැදගත්. මෙන්න මේ නිසා තමයි ව්‍යායාම එදිනෙදා ජීවිතයේදී වැදගත් සාධකයක් බවට පත් වන්නේ. නිසි කාල කළමණාකාරීත්වයකින් යුතුව දවසේ කෙටි වේලාවක් හෝ ව්‍යායාම සඳහා වෙන් කර ගැනීමට ඔබ උනන්දු විය යුතුයි. උසට සරිලන බරක් පවත්වා ගැනීම සිදුකල යුතුයි. මේ මගින් ශරීරයේ හැඩය වගේම බෝ නොවන රෝග (දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා) වලින් වැලකීමේ හැකියාවක් උදාවෙනවා. මෙහිදී ව්‍යායාම වගේම අපි ගන්න කෑම පිලිබඳවත් සැලකිලිමත් විය යුතුයි. තෙල් පිටි සහිත ආහාර වලින් පාලනය වෙලා සමබල පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරුවීම වැදගත්. එසේ නොවුණහොත් ව්‍යායාමයන්හි නිසි ප්‍රතිඵල උදාකර ගැනීමට අවස්ථාවක් නොලැබේවි.

රූපලාවණ්‍ය පිළිබඳ අවධානය යෙදී මීළඟ වැදගත් දේ තමයි මානසික සුවය. හිතේ සතුට මූණෙන් පේනවා කියනවා වගේ අපි මානසික පීඩනයෙන් දුකින් කාලය ගත කරනවා නම් බාහිර රූපය කිසිසේත්ම ප්‍රියමනාප වෙන්නේ නෑ. කොයි තරම් ආලේපන භාවිතා කළත් ඒ දේවල් නැති කර ගන්න ලැබෙන්නේ නෑ. මේ නිසා මානසික සුවය රූපලාවණ්‍යයේදි ඉතාම වැදගත්. හැබැයි ඉතින් මානසික සුවය ඇති කරගන්න නම් ඊට සුදුසු පරිසරයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. අද කාලයේ පුංචි පැටියෙක්ගෙ කටයුතු එක්ක කාර්යබහුල වෙන අපේ අම්මලා කොහොමත් ගෙවන්නේ විවේකයෙන් අඩු වගකීම්වලින් පිරුණු ජීවිතයක්. ඉතින් මේ නිසා ම පවුලක සැමියාටත් ලොකු වගකීමක් පැවරෙනවා බිරිඳගේ කටයුතු වලට සහාය වීම පිළිබඳව.

ඒ වගේමයි තරුණ වයසේ අපේ කාන්තාවන්ගේ විනෝදාංශ මේ කාලයේදී අමතක කරලම දානවා. ඉතින් එහෙම වෙන්න හොඳ නෑ. කාර්යබහුල එදිනෙදා ජීවිතයේ පුංචි කාලයක් හරි තමන්ගේ හිතට සැහැල්ලු‍වක් ගෙන දෙන මේ වගේ දේවල් වෙනුවෙන් යෙදවීම ඉතාම වැදගත්. එහෙම වුනොත් කොයිතරම් කාර්යබහුල වුණත් සිත මනස සැහැල්ලු‍වෙන් තියාගන්නට අපට අවස්ථාව උදා වෙනවා. මනස සැහැල්ලු‍වෙන් තියෙනවා කියන්නෙම ඉතින් සිත සතුටින් පිරී තිබෙනවා කියන දේ. ඒ වගේම ඔබේ දෛනික කටයුතු වුණත් විනෝදාංශ බවට පත්කරගන්න පුළුවන්. හිත සතුටින් ඉන්න අපේ මුහුණ බාහිරින් නිකන්ම සුන්දර වන බව අපි හැමෝම හොඳින්ම දන්න කාරණාවක්.

රූපලාවණ්‍ය පිළිබඳ ව අවධානය දී මෙන්න මේ කරුණු පිළිබඳව මූලික අවධානය යොමු කරලා තමයි අනෙකුත් බාහිරින් කරන රූපලාවණ්‍ය කෙරෙහි උනන්දු වීම අවශ්‍ය වන්නේ.

රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිත කිරීමේදී විශේෂ උත්සව අවස්ථාවක් වගේ දේකදී යොදාගන්න රූපලාවණ්‍ය ද්‍රව්‍යයන් ඔබේ පැටියාටත් හානියක් නොවිය හැකි නමුත් පුංචිම පැටියෙක් ඉන්නවනම් එයාලා නිතරම මව සමීපයෙන්ම ඉන්න නිසා භාවිතා කරන ද්‍රව්‍ය පිළිබඳව යම් සැලකිල්ලක් දැක්වීම වැදගත්. එසේ වුවත් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කරන රූපලාවණ්‍ය කටයුතුවලදී අහිතකර තත්ත්ව ඇති වෙන්න හැකියාව වැඩියි. මේ නිසාම තමයි ගර්භනී කාලයේදී අපේ මව්වරු බොහෝ වෙලාවට කෘතිම ආලේපනයන්ගෙන් පවා ඈත් වෙලා ඉන්නේ. හිසකෙස් සැකසීම වගේ දේවල් පුංචිම පැටියෙක්ගේ අම්මෙක්ට නුසුදුසුයි. මොකද මේ දේවල් කොයි තරම් සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරත් පුංචි පැටවුන්ට ඒ දේවල් පිළිබඳව අවබෝධයක් නෑ. එයාලා නිතරම මව හා ස්පර්ශ වෙනවා ඊට පස්සේ ඒ අය නිතරම එයාලගේ ඇස් කට ආදිය ස්පර්ශ කර ගන්නව ඒ වගේම මව්කිරි බීම සිදු කරනවා. මෙන්න මේ දේවල්වලින් අහිත කර විදිහට පුංචි පැටියට රසායනික ද්‍රව්‍යයන්ගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා මේ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.

නමුත් මේ මගින් ඔබට රූපලාවණ්‍ය සම්පූර්ණයෙන්ම අහිතකරයි කියන දේ නම් හැඟවෙන්නේ නෑ. ඒ දේවල් අවබෝධයකින් යුක්තව සිදු කිරීම තමයි වැදගත් වෙන්නේ. එහෙම වුනොත් අපේ මව්වරුන්ගේ සුන්දරත්වය වගේම නිරෝගි බවත් පුංචි පැටවුන්ගේ නිරෝගී කමත් රැකගන්න හැකියාව ලැබෙනවා.

ඩී.බී නායකරත්න
මහ රෝහල
කෑගල්ල