free stats

වියලි සමට අපි කවුරුත් අකමැතියි. ඒ නිසාම සමේ වියලි බව නැති කරගන්නට විවිධ ප්‍රතිකර්ම කරනවා. වියලි සම නිසා හට ගන්න සමේ රෝග තත්ත්වයක් තමයි කොරල කියන්නෙ. මෙය විශාල හානිදායී රෝග තත්ත්වයක් නොවුනත් සමේ නිරෝගී පැවැත්මට විශාල බාධාවක්. වැඩිහිටියන් ට වගේම පුංචි පැටවුන්ටත් මේ සමේ කොරල තත්ත්වය ඇති වෙන්නට පුලු‍වන්. පුංචි පැටියාගෙ නිරෝගී බව ගැන සැලකිලිමත් වෙන අම්මලා මේ තත්වය නිසා කණගාටුවට පත් වෙනවා. පුංචි පැටියගෙ සම රැකගැනීම හරිම වැදගත්. මේ නිසාම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ පැටියාට ඇතිවිය හැකි කොරල තත්ත්වය පිළිබඳවයි.

කොරල (Ichthyosis) කියන්නෙ මොකක්ද කියලා සරල අවබෝධයක් ලබා ගැනීම පලමුව වැදගත්. වියලි, කොරපොතු සහිත සමේ රළු තත්ත්වය අපි කොරල සමක් ලෙස හඳුනා ගන්නවා. අත් හා පාද වල සමේ අධික වියලි බව නිසා සම පොතු ලෙස ගැලවී යාම මෙහිදී දකින්නට හැකියි. ඇතැම් විට බෙල්ලෙ හා සිරුරෙ සම මතද මේ තත්ත්වය ඇති වන්නට ඉඩ තිබෙනවා. සමහර වෙලාවට කුඩා කාලයේ පවතින සමේ වියලි ස්වභාවය දරුවා වයසින් මුහුකුරා යනවිට වැඩිවන්නට පුළුවන්. එහිදී පෙර නොතිබූ කොරල ඇති වන්නට හැකියි. කොරල ඇති වන්නට බලපාන හේතු ගැන දැනුම්වත් වීම කොරල වලින් ආරක්ෂා වීමට හේතු වෙනවා.

  1. ජාන මගින් පැමිණෙන තත්ත්වය

මේ දෙමාපියන්ගෙන් එක් අයෙකුට හෝ තිබේනම් ජාන මගින් දරුවාටද උපතින් හෝ පසුකාලීනව ඇතිවන්නට හැකියි. ඉතා බරපතල ලෙස කොරල රෝගය පවතින දරුවන්ට ළදරු වයසේදීම මේ තත්වය ඇතිවෙනවා. ඇතැම් අයට අවුරුදු 6 ත් 10 ත් අතර කාලයේදී හටගන්නවා. දරුවාගෙ සෞඛ්‍යයට හෝ ජීවන රටාවට මෙම කොරල හානීදායක නොවූවත් සමේ නිරෝගී බවට මෙය විශාල බාධාවක්. ඇතැම් දරුවන්ගෙ සමේ සම්පූර්ණ මතුපිට ස්ථරයට බලපෑම් ඇති කිරීම ,සම මතුපිට බිබිලි හට ගැනීම දක්නට හැකියි. කොරල බරපතලව ඇති දරුවන්ගෙ බහුල ලෙස සමේ පොතු ගැලවී යාම දකින්නට පුළුවන් .

  1. දේශගුණ, කාලගුණ තත්ත්වයන්

බාහිර පරිසරයේ දේශගුණ, කාලගුණ වෙනස් වීම් කොරල ඇතිවීමට බලපානවා. සීතල දේශගුණයක් පවතින විට පිටත වාතය සිසිල් වීම නිසා සමේ ජලයද ඉක්මනින් වාෂ්ප වන්නට පටන් ගන්නවා. එමගින් සමේ පවතින තෙතමනය අඩු වී යනවා. සම වියලීම, පොතු ගැලවීම, ගණ වීම මෙහිදී දකින්නට පුළුවන් .

  1. පෝෂණ ඌනතා.

සිරුරේ වර්ධනයට හා පැවැත්මට අවශ්‍ය පෝෂණය නිසි ලෙස නොලැබීම නිසාද කොරල ඇතිවන්නට පුළුවන් .නිරෝගී සමකට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවන හිඟකම මේ තත්වයට බලපෑමක් එල්ල කරනවා. විටමින් ් විටමින් ක්‍ හා සින්ක්, ක්ෂුද්‍ර පෝෂණ ඌනතා නිසා සමේ අව පැහැය හා වියලීම නිසා කොරල ඇතිවී සමේ නිරෝගී පැවැත්මට බාධා ඇති කරනවා.

  1. බාහිර පරිසර උෂ්ණත්වය

පරිසරයේ උෂ්ණත්වය ඉහල යාම නිසා සමේ තෙතමනය උරා ගැනීම සිදුවෙනවා. එවිට සම අධිකව වියලීමට පටන් ගන්නවා.

  1. උණුසුම් ජලය ස්නානය

නිතරම උණු ජලයෙන් ඇඟ සේදීම හෝ ස්නානය සිදුකරන විට සමේ පවතින තෙල් තට්ටුව දියවී ඉවත්ව සම වියලීම සිදුවෙනවා.

  1. රසායනික ද්‍රව්‍ය අඩංගු සැර සබන් හා ෂැම්පු වර්ග භාවිතය

පැටියාගෙ සම මෘදු නිසා නිතරම සබන් හා ෂැම්පු වර්ග තෝරා ගැනීමේදී ඔබ වඩාත් සැකිලිමත් විය යුතුයි. විවිධ සැර සබන්, ෂැම්පු යොදා පැටියාගෙ සම සේදීම මගින් එම රසායනික වල පවතින සැර ගතිය පැටියාගෙ සමට අහිතකර බලපෑමක් එල්ල කරනවා. බිලිඳු සමට ගැලපෙන චය අගයකින් යුතු සබන් හා ෂැම්පු වර්ග මගින් සමේ වියලීම , කොරල ඇති වීම වලකිනවා.

  1. දැඩි හිරු රශ්මිය.

පෙර පාසල් යන වයසේ පුංචි පැටව් අව්ව පිළිබඳ සැලකිල්ලක් නොදක්වමින් සෙල්ලමේ නිරත වෙනවා. මෙහිදී හිරුගෙන් පැමිණෙන අහිතකර පාරජම්බූල කිරණ පැටියාගෙ සමට හානි ගෙනදෙනවා. මේ නිසා තද අව්වෙ දරුවා සිටී නම් සිරුර හොඳින් ආවරණය වන ඇඳුම් භාවිතය සුදුසුයි.

මීට අමතරව ගැබිනි වියේදී මවට ඇති වන යම් යම් පෝෂණ ඌනතා ද ඉපදෙන දරුවාගේ සමේ කොරල ඇති වීමට වක්‍රව හෝ බලපෑමක් එල්ල කල හැකියි.

සමේ තෙතමනය ආරක්ෂා කරගනිමින් කොරලවලින් පැටියා ආරක්ෂා කරගැනීමට ඔබට භාවිත කල හැකි විසඳුම් පිලිබඳව මීලගට සොයා බලමු.

  • ඔලිව් තෙල්.

බිලිදු සමට වඩාත් හිතකර තෙල් වර්ගයක් ලෙස ඔලිව් තෙල් හඳුන්වන්න පුළුවන්. ඔලිව් තෙල් වල අඩංගු ඇන්ටි ඔක්සිඩන්ට් මගින් සම මතුපිට තෙතමනය ආරක්ෂා වෙනවා. ඔලිව් තෙල් හෝ ඔලිව් තෙල් අඩංගු බිලිදු සමට නිෂ්පාදනය කල සබන් හා ක්‍රීම් වර්ග භාවිතය මගින් සමේ කොරපොතු , වියලි බව වලක්වා ගන්නට හැකියි.

  • කෝමාරිකා

සමට ඉතා ගුණදායී හා සිසිලසක් ලබා දෙන කෝමාරිකා මගින් සමේ වියලි බව පාලනය කරගත හැකියි. ඔබේ සෙල්ලම් කරන වයසේ පසුවෙන පැටියාගෙ දෙපා හා දෑත්වල සම මතුපිට කෝමාරිකා මදය ආලේප කිරීමෙන් අව්වෙන් සිදුවුනු පිලිස්සුම් හා වියලි බව නැති කරයි.

  • මෝර ගුලි

සමේ වියලි බවට හා කොරල තත්වය නැති කිරීමට මෝර තෙල් වලට විශේෂ හැකියාවක් පවතිනවා. ඔමේගා 3 අඩංගු මෙම මෝර තෙල් ගුලි ආකාරයෙන් ලබා ගත හැකියි. යම් විටමින් ඌණතාවයක් නිසා පැටියාගෙ සමේ කොරල ඇති වී ඇති බවට වෛද්‍යවරයා විසින් නිගමනය කර මෝරගුලි ලබාදීම නිර්දේශ කළ විට පැටියාට එය ලබා දෙන්න.

  • යොදය සහිත කිරි, යෝගට්

කිරි යනු සමේ තෙතමනය රැක දෙන පෝෂ්‍යදායී ආහාරයක්. මේ නිසා දියර කිරි, යෝගට් පරිභෝජනය මගින් පැටියාගෙ සම ආරක්ෂා වෙනවා.

  • විටමින් E

විටමින් E කියන්නෙ සමේ තෙතමනය ආරක්ෂා කර දිය හැකි වැදගත් විටමිනයක්. මෙය සිරුරට අත්‍යාවශ්‍යයි. මේ නිසා පැටියගෙ සමට විටමින් E සහිත සමට ගැලපෙන සබන්, මොයිස්චරයිසර් ක්‍රීම් එකක් භාවිත කිරීම මගින් සමේ ඇති වියලි බව, කොරල තත්වය පාලනය කරගන්නට පුලු‍වන් .

ජාන මගින් ඇතිවන කොරල තත්වයේදී නිසි චර්ම රෝග වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. ජානමය රෝග තත්ත්වයක් නිසා සම්පූර්ණයෙන්ම එය සුව කල නොහැකි වුවත් යම් කිසි මට්ටමකට පාලනය කිරීමක් සිදු කල හැකියි.

පැටියාගෙ සමේ පිරිසිදු බව හා ආරක්ෂාව, නිසි පෝෂණය ගැන ඔබ මනාව සැලකිලිමත් වෙනවා නම් දරුවාගෙ සම සුමුදුව, නිරෝගීව තබා ගැනීම එතරම් අපහසු නොවනු ඇති.

වෛද්‍ය සත්සරණී ඉලංගකෝන් මහත්මිය
ආයතන භාර වෛද්‍ය නිලධාරීනී
ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය
කෙසෙල්වත්ත

සටහන කුමුදිකා ඩී. සපුතන්ත්‍රි