free stats

S.M.P නිශාන්ති මෙනවිය
පල්ලෙකැලේ පවුල් සෞඛ්‍ය නිලධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පොල්පිතිගම

හර්ෂ මං ඔයාගෙ ෂර්ට් එක අයන් කරනකම් ඔයාට පුළුවන්ද සෝදලා දාපු ඇඳුම් ටික වේලෙන්න දාන්න. අද මගෙ කොන්ද ටිකක් රිදෙනවා වැඩිය පාත් වෙන්න අමාරුයි ඒකයි. ”‍

හරි මං ඒවා වේලෙන්න දාන්නම් චමා. ඔයා මහන්සි නොවී ඇලවෙලා ඉන්න මං එනකොට රෑට කෑම අරන් එන්නම්. ”‍


හර්ෂ ආදරයෙන් චමාලි ගේ ඔළුව අතගාලා එහෙම කීවා.

ගර්භණී වියේ ඉන්න මවක් නම් ඔබටත් මේ වගේ පුංචි පුංචි අපහසුතා සැරින් සැරේ ඇඟට වද දෙනවා ඇති. ඒ වෙලාවට ඔයාට ගෙදර වැඩ කොටස් සමහර විට කරන්න අපහසුතාවක් දැනෙනවා නේද ? ඒත් මේ රාජකාරි නොකරත් බෑනේ. බිරිඳක් විදියට පවුලේ වගකීම තියෙන්නෙ ඔයාටනෙ. එහෙම අපහසුතා දැනෙන වෙලාවට ඔයාට පුළුවන් සැමියා එක්ක වැඩ බෙදා ගෙන කරන්න . ඔයාට දැනෙන වේදනාව, අපහසුව ගැන ඔහුට ආද⁣රයෙන් කියලා ඔයාට කරන්න අමාරුයි කියලා හිතෙන කාර්යයන් ඔහුට පවරලා අනෙක් කටයුතු ටික ඔයාට කරන්න පුළුවන්.

ගොඩක් වෙලාවට ගර්භණී කාලයේදි සැමියාගෙ මවත් සමග නොහොද නෝක්කාඩු ඇති වෙන්න ඉඩ තියෙනවා .

කෝ මිදුල වත් අතුගාලා නෑ අද, අපේ කාලේ නම් ලමයි හම්බෙන කොට අපි ඔහොම හිටියෙ නෑ හැම වැඩක්ම කෙරුවා. ”‍

මේ විදියේ නෝක්කාඩු කතා සමහර වෙලාවට නැන්දම්මගෙ මුවින් පිට වෙන්න පුළුවන් .


ටිකක් කකුල හිරි වැටිලා වගේ අම්මෙ. ඒක ටිකක් හරි ගියාම මං අතුගාන්නම්”‍ .

මේ විදියට නැන්දම්මගෙ හිතත් බිදෙන්නැති වෙන්න සුහදව වැඩ අතපසු වෙන්න බලපාපු අපහසුතාව ඇයට කියල දෙන්න ඔයාට පුළුවන් . එහෙම නැතිව නැන්දම්මා එක්ක එකට එක කියාගෙන රණ්ඩු වෙන්න ගියොත් පවුලෙ සාමය වගේම ගර්භණී වියේ ඉන්න ඔයාගේ මානසිකත්වයටත් ඒක අහිතකරව බලපානවා. පුළුවන් තරම් සුහදව ඔවුන් එක්ක ගණුදෙනු කිරීමටත් , ඔවුන්ට හිත් අමනාපකම් ඇති නොවන ලෙස වචන හැසිරවීමටත් ඔබ වග බලා ගත යුතුයි. එවිට ඔයාගෙ තත්වය නිවැරදිව , සංවේදීව ඇයත් තේරුම් අරන් ඔයාගෙ කටයුතු වලට උදව් කරාවි.

දරු ප්‍රසූතියෙන් පසුව බිලිඳාගේ වැඩ කටයුතුත් එක්ක ඔයා වෙනදට වඩා කාර්යබහුලත්වයට පත් වෙනවා. ඒත් සැමියාගෙ වැඩ කටයුතු හා නිවසේ අනෙක් රාජකාරි පෙර විදියටම නොපිරිහෙලා ඉටු කරන්න ඔයාට බැරි වුනත් පුළුවන් උපරිමයෙන් ඒ කාර්යයන් කරන්න ඔයා බිරිඳක් විදියට බැඳී සිටිනවා. මවක් , බිරිඳක් විදියට මේ කාර්යබහුලත්වය එක්කම ඇතිවන මානසික පීඩනය නිසා ඔයාට පුංචි දේටත් ඉක්මනින් කේන්ති යන්න , සැමියා , නැන්දම්මා එක්ක අමනාපකම් ඇතිකරගන්නට ඉඩකඩ තියෙනවා . නමුත් මේ තත්වය ඔයාට සුබදායී නම් නැහැ.

            දරුවාගේ වැඩ කටයුතු වලට මූලිකත්වය දෙන අතරම ඔයාගෙන් පවුලට ඉටු වෙන්න ඕන යුතුකම් හා වගකීම් ඉෂ්ට කිරීමත් යහපත් පවුල් ජීවිතයකට ඉතාම වැදගත්. ඒ සඳහා යහපත් වචන හුවමාරුවක්, සන්නිවේදන සම්බන්ධතාවක් ඔබ හා සැමියා අතරත්  , ඔබ හා නැන්දණිය ඇතුලු‍ පවුල සමඟත් තිබිය යුතුයි.  දරු ප්‍රසූතියෙන් පසුව ඔබ සම්පූර්ණ අවධානය දරුවා කෙරෙහි පමණක්ම යොමු කරන්නට යෑමෙන් ඇතැම් විට ස්වාමියා සමඟ පවතින බැඳීම තුල බිඳවැටීම් ඇති වන්නට පුළුවන් . එවිට සැමියාගෙ සිත තුල ඔබ පිලිබද කලකිරීමක්,  නොසතුටක් ඇති වීමත් නිරායාසයෙන්ම සිදුවෙනවා. ඒ නිසා පෙර සේම ස්වාමියා පිලිබද පූර්ණ ලෙස කැපවන්නට ඔබට දරු ප්‍රසූතියෙන් පසුව නොහැකි වුවත් ස්වාමියාගෙ ආකර්ශණය , ආදරය හා සෙනෙහස ඔබ වෙතම රැක්‍ෂෙන සේ ඔහුගේ කායික, මානසික අවශ්‍යතා හා ඕනෑ එපාකම් ඉටු කිරීමට බිරිඳක් ලෙස වග බලා ගත යුතුයි.  ඔහු වෙනුවෙන්ද දවසින් යම් කාලයක් ඔයා කැප කරලා ආදරය කිරීම හා සොයාබැලීම  ඉතාම වටිනවා. ඔහුද එවිට ඔයාගෙ කටයුතු වලට වගේම දරුවාගෙ කටයුතු වලටද ඉතා සතුටින් හා සෙනෙහසින්  යුතුව මැදිහත් වෙනු ඇති.

දැන් මෙයාට මං ගැන ගානක් නෑ. දරුවා ගැන විතරයි බලන්නෙ. ඉස්සර තිබුනු ආදරේ මට දැන් නෑ. දරුවට විතරයි ආදරේ”‍

මේ වගේ කණගාටුදායී අදහස් එවිට ඔබ පිලිබද සැමියාගෙ සිත තුල ඇති වීමට ඉඩක් නැහැ.
ගර්භණී සමයේදීත් , ප්‍රසවයෙන් පසුවත් ඔබ බිරිඳක් ලෙස තව දුරටත් පවුල වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම් හා වගකීම් කොටස පිලිබද හරියාකාර අවබෝධයකින් යුතුව ඔබේ කායික , මානසික වේදානාවන්ද දරා ගනිමින් මේ කාලය තුල ඒ මෙහෙය ඉෂ්ට කල යුතුයි. මේ විදියට හරි අවබෝධයකින් හා සැලකිල්ලකින් ගර්භණී හා ප්‍රසුතියෙන් පසු කාලය තුල ඔයා පවුලෙ සතුට, සැනසුම ගැන හිතලා වැඩ කරනවනම් ඔයාගෙ කැදැල්ලට අලු‍තින් එකතු වෙන පුංචි පැටියත් එක්ක ගත කරන්න ලැබෙන අලු‍ත් ජීවිතය හරිම ප්‍රීතිමත් ජීවිතයක් වෙයි.

සටහන කුමුදිකා සපුතන්ත්‍රි