ඉගෙන ගැනීම දරුවන් සියලුදෙනාටම එක හා සමානව කළ නොහැකි බව වර්ථමාන සමාජය ඇසුරෙන් හඳුනාගත හැකිය. පාසලේ පන්තියක වුවත්, එක හා සමානව ඉගෙනීම් කරන දරුවන් දක්නට නොමැත. එය විද්‍යාත්මකව සත්‍ය වුවද වෙනත් විවිධ හේතු නිසාත් අධ්‍යාපන කටයුතු අඩාල වන දරුවන් දක්නට ලැබේ. මෙයට බලපෑ හැකි කායික හා මානසික ගැටළු බොහෝය. ඒ තත්ත්වයන් මුල් අවදියේම හඳුනාගැනිම මඟින් වළක්වාගත හැකි අතර අනාගතයේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට එය මනා පිටුවහලකි.
තම දරුවන්ගේ කුසලතා පිළිබඳව මුලික වශයෙන් සොයා බැලීමට උනන්දු වන්නේ දෙමව්පියන්ය. මේ ඇගයිමට දරුවාගේ අධ්‍යාපන මට්ටම මෙන්ම වෙනත් විවිධ සමාජීය සාධක ද බලපායි. උදාහරණ ලෙස ගණිත විශයට ලකුණු 60 ගත් දරුවෙක් පිළිබඳව දෙමව්පියන් සෑහීමට පත්වන විට ඒ විශයටම ලකුණු 85 – ක් 90 ක් ගත් දරුවෙක් පිළිබඳව දෙමව්පියන් සෑහීමකට පත් නොවෙන්නට පුළුවන.
මෙමඟින් අවබෝධ වන වැදගත්ම කරුණ නම් දරුවෙකුගේ ඉගෙනීමේ දුර්වලතා එක් එක් පුද්ගලයන්ගේ නිර්ණායක අනුව නොව එම දරුවාගේ සම වයසේ සිටින්නන් සමඟ සංසන්දනය කිරීමෙන් හා ගුරුවරුන් දරුවාගේ ඉගෙනුම සම්බන්ධයෙන් පවසන කරුණු සමඟ ගලපා වටහාගත යුතු බවයි. මෙසේ හඳුනාගත් දරුවන් වෛද්‍ය උපදෙස් වෙත යොමුකල යුතුයි. එවිට දරුවා වෛද්‍ය පරීක්‍ෂණ වෙත යොමු කරමින් ඔහුගේ ගැටළුව හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාදේ.
මෙහිදි වෛද්‍යරුන් විසින් මූලිකව සොයා බලනුයේ දරුවාගේ උපතේ සිට මොළය වර්ධනය වන අවධියේ දී යම් යම් උපද්‍රවයන් සිදුවී තිබේද යන්නයි. ඊට අදාල රෝග ඉතිහාසය, රෝගියා පරීක්‍ෂා කිරීම, සහ යම් යම් පරීක්‍ෂණයන් මඟින් මේ පිළිබඳව හඳුනාගත හැකියි. එසේම දරුවාට උපතින්ම ඇති රෝග උදාහරණ ලෙස ටොක්සෝ ප්ලස්මාව සහ ජාන සංකූලතා (ඩවුන්සින්ඩ්‍රෝම් තත්ත්වය) ආදිය රෝගී පරීක්‍ෂාවේදි බොහෝ විට හඳුනාගත හැකිය.
උපතින්ම හෝ උපතින් පසුව ඇතිවන තයිරොක්සින් හෝර්මෝනය අඩු වීම. මේ තත්ත්වය උපතින්ම තිබේද යන්න දැනගැනීමට වෛද්‍ය පරීක්ෂණ සිදුකල යුතුය. අලුත උපන් බිළිඳා රෝහලෙන් පිටව යාමට පෙර සිදුකරන පරීක්‍ෂණයකින් දැනට මේ තත්ත්වය හඳුනාගනියි. ඉගෙනීමට දුර්වල දරුවන් සියලු දෙනා මේ හයිපො තයිරොසම් තත්ත්වය තිබේද යන්න විමසා බැලීමේ පරීක්‍ෂණ සඳහා යොමු කරයි.
පසුකාලීනව මොළයේ ඇතිවන පිළිකා සහ පිළිකා නොවන ගෙඩි මෙන්ම වෙනත් රෝගී තත්ත්වයන් (Neuro degenarative disorders) නිසා ද මෙතෙක් කල් හොඳින් ඉගෙන ගත් දරුවාගේ ඉගෙනීමේ දුර්වලතා ඇතිවිය හැකිය.
විවිධාකාර වූ වලිප්පු තත්ත්වයන්ගෙන් පීඩා විදින දරුවන්ට ද ඉගෙනීම අපහසු වේ. මෙහිදි විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මෙය වලිප්පුවක් වුවද එය පිටතට දිස්වනුයේ දරුවා බලාගත් අතම බලාගෙන සිටීමක් ලෙසයි. මෙය අප සමාජයේ බහුල ලෙස කතා බහට ලක්වන්නේ වෙනත් රෝගවලට යෑමක් ලෙසයි. නමුත් මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ දී abscent seizures ලෙස හඳුන්වයි.
ඇතැම් දරුවන් රාත්‍රි කාලයේ දී නිදන විට ගෙරවීම සිදු කරයි. මෙවැනි දරුවන් රාත්‍රි කාලයෙ නිසි ආකාරයෙන් නින්දක් නොලබයි. එයට හේතුව මෙම ගෙරවීමත් සමඟ ඔවුන් නොදැනුවත්ව අවදි වීමයි. මේ නිසා දිවා කාලයේ ඇතිවන අධික නිදිමත හේතුවෙන් අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානයක් යොමු නොවේ. මේ නිසා ඉගෙනිමේ දුර්වලතා ඇති වේ.
විවිධාකාර වූ මානසික පීඩන හා ආබාධ නිසාද දරුවාගේ අධ්‍යාපන දුර්වලතා ඇතිවිය හැකියි. එම නිසා දරුවාගේ ඉගෙනීමේ කටයුතු ක්‍රමානුකූලව විමසා බලා යම් දුර්වලතාවයක් තිබේ නම් ඒ සඳහා අවධානය යොමුකර දරුවා වෛද්‍යවරයෙක් ලවා පරීක්‍ෂා කරවාගෙන ඉහත හේතු සම්බන්ධයෙන් සලකා බලා දරුවාට වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම මානසික උපදේශනය ද ලබාදිය යුතුවේ.
අරුණ ද සිල්වා මහතා
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ශික්‍ෂණ රෝහල
කරාපිටිය
සටහන අරුණි ජයසේකර