පුංචි පැංචන් කියන්නේ හරිම සංවේදී පිරිසක්. ඒ නිසාම අන් අයට වඩා ඒ පැටවුන්ට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා. පොඩිත්තන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩුණු පුද්ගලයෙකුගේ තරම් ප්‍රබල නැති නිසා ඔවුන්ට ඉතාමත් ඉක්මනින් ලෙඩ රෝග බෝවීමේ ප්‍රවණතාව වැඩියි. ඉතින් අපි අපේ පැටියාව ආදරයෙන් ආරක්ෂා කරගන්න ඕන.මොකද එයාලට ඉක්මනින් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ශරීරය දක්වන අතිසංවේදී ක්‍රියා නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන් ආසාත්මිකතා ඇති වෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ සිදු වෙනවා,
■ ආහාර මඟින්
■ බාහිර පරිසරය මඟින්
මේ අතරින් පුංචි පැංචියන්ට වැඩි වශයෙන් ආසාත්මිකතා ඇති වෙන්නේ ආහාර හා සබැඳි හේතු සාධකයන් නිසා. මව් කුසෙන් එළිය දුටු දරුවෙකු මාස 6ක කාල සීමාව දක්වා ප්‍රධාන ආහාරය වන්නේ මව් කිරි. මේ කාල සීමාව තුලදී නම් ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඒත් මාස හයෙන් පසුව අපි දරුවාට නව ආහාර රටාවන් හදුන්වා දෙනවා.මෙහිදී පුංචි පැටියාට ලබාදෙන ආහාර පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. මවක් තම දරුවාට ඇති වෙන්න පුළුවන් ආසාත්මිකතා පිළිබඳව වගේම ඉන් වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්. දරුවාගේ නිරෝගී කම රැඳිලා තියෙන්නේ අම්මා මත. මාස හයකින් පසුව පැටියට ලබාදිය යුතු ලබා දිය යුතු ආහාර පිළිබඳව මව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි පැටියාට ලබා දෙන්නේ ඔවුන් මින් පෙර රස නොවිඳි අහාරයන්. පුංචි පැටියාට සමහර වෙලාවට මෙම ආහාර කුසට දරා ගැනීමට තරම් ශක්තියක් නැති වෙන්න පුළුවන්.
ඒ නිසා ආහාර හඳුන්වාදීමේ මුල් අවධියේ දී වෛද්‍යවරුන් අනුමත කරන්නේ දරුවන්ට බෙරි බත ලබාදීමයි. මේ සඳහා බොහෝවිට ශාකමය පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් කිරීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේ ම නව ආහාර හඳුන්වාදීමේ දී, දිනකට එක් අලුත් ආහාරය බැඟින් දරුවාට ලබාදෙන්න මව්වරුන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද දරුවාට යම් ආසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සඳහා හේතු වූ සාධකය හොයා ගැනීම පහසුයි. දිනකට නව ආහාර කිහිපයක් ලබාදීම තුළින් දරුවාට ආසාත්මිකතාවයන් ඇති වීමට බලපාන හේතුවූ ආහාර වර්ගය කුමක්දැයි සොයා ගැනීම අපහසු වෙනවා. ඒ වගේම මුල් අවධියේදී සත්ව ආහාර ලබාදීමෙන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත්. සත්ව ආහාර වල ප්‍රෝටීන් තුළින් ඇති විය හැකි ආසාත්මිකතාවය බහුල වන නිසා, පොඩිත්තන්ගේ ආහාර වේල සඳහා මාළු එක් කිරීමට මාස 8න් ද බිත්තර එක් කිරීම මාස 9න් පසුව ද සිදු කිරීම වඩා යහපත් වෙනවා. මෙය අනිවාර්යෙන්ම නීතිය නොවුනද පැටියාගේ නිරෝගිකමට ගොඩක් වැදගත්.
ආහාර මඟින් ඇතිවිය හැකි ආසාත්මිකතා කාණ්ඩ කිහිපයකි,
■ කිරි
■ මස් වර්ග
■ මාළු
■ ඇට වර්ග (රටකජු /කජු)
■ බිත්තර
යන ආහාර කාණ්ඩයන්ගෙන් ආහාර ලබාදීමේදී ගොඩක් ගරු ප්‍රවේශම් වෙන්න ඕන. අහාර මඟින් ඇතිවිය හැකි ආසාත්මිකතා වල මූලික ලක්ෂණය වන්නේ සිරුරෙහි පලු මතුවීම සහ එම පලු කැසීමයි. එමෙන්ම එළකිරි වැනි දියරමය ආහාර මගින් පුංචි පැටියට ඇතිවන ආසාත්මිකතා නිසා ආහාර වර්ධනයට ද විවිධ බලපෑම් එල්ලවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් බඩවැල්වලට බලපෑම් සිදුවෙනවා. වමනය ඇතිවීම, බඩ ඉදිමීම වැනි රෝග ලක්ෂණයන් මෙහිදී පෙන්නුම් කරනවා. මෙවැනි අවස්ථාවකදී හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කිරීම සිදු කළ යුතුය.
ආහාර මඟින් ඇතිවන ආසාත්මිකතා හේතුවෙන් දරුවාට විවිධ අපහසුතා ඇතිවෙන්න පුළුවන්. එම නිසා පැටියාට ආහාර ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ආහාර මඟින් ඇතිවන ආසාත්මිකතා මගහරවා ගැනීම සඳහා හොඳම පියවර වෙන්නෙ වසර දෙකක් ගතවන තුරු දරුවන් සඳහා මවුකිරි ලබා දීමයි. මව් කිරි දරුවාගේ බොහෝ ගැටළු සඳහා පිළිතුරකි. පැටියාගේ නිරෝගීකම සුරකින ප්‍රධාන සාධකයක් වන්නේ මෙයයි.
කුඩා දරුවකුට ආහාර නිසා ඇතිවන ආසාත්මිකතාවයන්ට අමතරව තවත් හේතූන් මත ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. එනම් දරුවන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ඇතුළු වෙනත් රෝගයන් සඳහා ලබාදෙන ඖෂධ. ඇතැම් දරුවන් ඇමොක්සලීන්, පෙනිසිලින් වැනි ඖෂධ සඳහා ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කරනවා. එවැනි අවස්තාවකදී සාමාන්‍ය අසාත්මිකතාවයක් පෙන්නුම් කරන සිරුරෙහි පලු ඇතිවීම වැනි ලක්ෂණ ඇතිවෙනවා.
ඇතැම් විට මෙය අධි ආසාත්මිකතාවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. ආසාත්මිකතාවයක් ඇති වුවහොත් මුඛය වටා රතු පැහැ ගැන්වීම, ඉදිමීම සිදුවිය හැකියි. මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය වශයෙන් ඇතිවිය හැකි ආසාත්මිකතාවයන් ඇතැම් විට ඇතැම් විට කෙටි කලකින් සුව විය හැකියි. යම් හේතු මත ප්‍රබල ලෙස දරුවෙකු ආසාත්මිකතාවයක් ඇති වුවහොත් එමගින් අනිසි බලපෑම් ඇති වීමේ හැකියාව ඇති අංශ කිහිපයක් පවතිනවා.
■ හෘද වස්තුව හා රුධිරවාහිනී පද්ධතිය.
■ ස්වසන ස්වසන පද්ධතිය
■ ආහාර මාර්ගය
හෘද වස්තුවට ආසාත්මිකතාවයක් නිසා බලපෑමක් ඇති වුවහොත් කුඩා දරුවාගේ රුධිර වාහිනී ගමනාගමනය දුර්වල වෙන්න පුළුවන්. එසේ සිදු වෙන්නේ අධි ආසාත්මිකතාවයන් නිසා ඇතිවන රසායනික ද්‍රව්‍යයන් හි බලපෑම නිසා රුධිර වාහිනී ඉපිල් වීමෙනි.ඒ මත රුධිරය ගමන් කිරීමේ වේගය අවම වෙනවා. මෙවැනි අවස්ථාවන්හි බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණය වෙන්නේ සිරුර සුදුමැලි වීම හා ක්ලාන්ත ගතියක් ඇති වීමයි. මොළයට සිදුවන ලේ ගමනා ගමනය අවම වීම නිසා පැටියට සිහිසුන් ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක දී මව වඩාත් අවධානයෙන් යුක්තව කටයුතු කිරීම හරිම වැදගත්.
ස්වසන මාර්ගය ආශ්‍රිතව මෙවැනි ගැටලු තත්ත්වයක් ඇති වුවහොත් ස්වසන මාර්ගයේ අවහිරතා ඇති වෙන්න ඉඩ තිබෙනවා. එම හේතුව නිසා ස්වසන මාර්ගයේ සෙම පිරී හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම දරුවා හුස්ම ගැනීමේදී යම් හඬක් පිට වීම පවා සිදුවිය හැකියි. ඇතැම් වෛරස් රෝගයන් සඳහා දරුවන් ආසාත්මිකතාවයන් පෙන්නුම් කරන්න පුළුවන්. වෛරස් රෝගයක් දරුවාට වැළඳුණු අවස්ථාවකදී සමහර අවස්ථාවක ශරීරයේ පලු මතුවීම ආදියදැකිය හැකියි.
දෙබරුන් සහ බඹරුන් බඹරුන් ආදී සතුන් දෂ්ඨ කිරීම මගින් ඇතිවන ආසාත්මිකතා වැඩිහිටියන්ට මෙන් පුංචි පැටවුන්ට දරාගැනීමේ ශක්තිය ටිකක් අඩුයි. හරි ඉක්මනින් ලෙඩ රෝග ඇති වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඉතින් අපි ගොඩක් අපේ පැටියා ගැන සැලකිලිමත් වෙන්න ඕන ආසාත්මිකතාවයන් අධි ආසාත්මිකතාවයන් බවට පත් වුවහොත් ඇතිවන ප්‍රතිඵලය භයානකයි.
සටහන ඔමාලි නිසංසලා මුණසිංහ
උපදෙස් වෛද්‍ය අරුණ පිරිස්