සෑම වැඩිහිටියකුම කලෙක දරුවකු වී සිටියේය. එසේම සෑම දරුවකුම දිනක වැඩිහිටියකු බවට පත්වේ. එය එසේ නම් වැඩිහිටියන්ට සිය ළමා කාලයේ විඳි අත්දැකීම්, ළමයකුව සිටි කාලයේ තිබූ සිතුම් පැතුම්, ගතකළ ජීවිතය පිළිබඳව අමතක වන්නට නොහැකිය. වැඩිහිටියන්ට ඇරයුම් කරන්නේ මොහොතකට තමාගේ ළමා කාලයට සිතින් යන ලෙසටය.
අප ගත කල ළමා දිවියේදී මේ තරම් වෛවර්ණ විච්චූර්ණ සෙල්ලම් බඩු අපට තිබුණේ නැත. මේ තරම් විසිතුරු පත පොත, පෑන් පැන්සල් තිබුණේද නැත. එපමණක් නොව මේ තරම් විශාල විෂය නිර්දේශ, ගෙදර වැඩ, ටියුෂන්, තිබුණේද නැත. අපට උදය වරුවේ පාසල් යන්නට නියමව තිබුණි. නිවසට ආ පසු අම්මා සකස් කළ දහවල් ආහාරය ගෙන අසල්වැසි ළමෝ සමග සෙල්ලම් කිරීම අඳුර වැටෙන තුරු කෙළි සෙල්ලම් කිරීම අපේ දිනචරියාවේ අනිවාර්ය අංග විය. සෑම දෙයම තිබුණේ සීමිතවය. ඒ සීමිත සම්පත් පවා පවුලේ සිටින අනෙකුත් සහෝදර සහෝදරියන් සමග බෙදා හදා ගත යුතු විය. ගමේ අති බහුතරයක් ළමයි ගමේ පාසැලටත්, දහම් පාසැලටත් ගිය නිසා ගමේ ළමෝ සියලු දෙනා එකිනෙකා හඳුනාගෙන සිටියහ. අපට තිබුණේ සරල ප්‍රීතිමත් ලෝකයකි. කුමන අඩුපාඩු තිබුණද ළමයකුට ළමයකු වී සිටීමේ නිදහස එහි උපරිමව තිබුණේය. අද අපේ දරුවන්ට එය නැති කළෝ කවුරුහුද?
මෙයට දියහැකි ඉතාම ඍජු සහ කෙටි පිළිතුර නම් “ අප“ බවය. අපේ දරුවෝ වැඩි ප්‍රතිශතයක් අද සමබර ජීවිතයක් ගත නොකරති. ඔවුන්ගේ දවසින් වැඩි ප්‍රමාණයක්
අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත. පාසැලෙන් ටියුෂන් පංතියටත් එතැනින් ගෙදරටත් එන දරුවා පාසැලෙන් සහ ටියුෂන් පංතියෙන් දෙන ගෙදර වැඩ කන්දක් විතර කල යුතුය. අධික වෙහෙස නිසා උගන්නා දේ නැවත ආවර්ජනය කර බැලීමටවත් ඔහුට වේලාවක් නැත. මේ තත්වයට මුහුණ පා ඇත්තේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හො සිසුන්ට පොදු වූ කාරණයක් නොවේ. අද බාලාංශයේ පටන් දරුවන්ගේ තත්ත්වය මේ ආකාරයේ එකකි.
එම නිසා මව්පියවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නට දෙයක් උපදේශකවරු ලෙස අප වෙත තිබේ. එනම් ඔබේ දරුවා අනාගතයේ ඔබ ප්‍රාර්ථනා කරන දරුවා බවට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුම දේ ඔහුට ලබාදෙන ලෙසය. අධ්‍යාපනය යනු ඒ සුදුසු දේ අතරින් එකක් පමණි. මේ සඳහා ඔබ විසින් පහත කරුණූ පිලිබඳව අවධානය යොමු කරන්නේ නම් ඔබටත්, දරුවාටත්, සමාජයටත් මහත් යහපතක් අර්ථයක් සිදු වෙයි.
– දරුවා යනු කුඩා වැඩිහිටියකු නොවන බව පළමුවෙන්ම මව්වරු තේරුම් ගැනීම වැදගත්ය.
– දරුවාගේ කායික මානසික ක්‍රියාවලිය සැකසී ඇත්තේ ඔහුගේ වයසට අනුරූපවය.
– ඔහුට යම් දෙයක් සම්බන්ධව මව්පියන් දකින ආකාරයෙන් සිතන ආකාරයෙන් දැකීමේ සිතීමේ හැකියාව නැත.
– ඒ දෙය ඔහු දකින්නේ ඔහුගේ වයස, අත්දැකීම් සහ බුද්ධි ප්‍රමාණය අනුවය. එසේම ඔහු එය විස්තර කරනු ලබන්නේ ඔහු සතුව ඇති සීමිත භාෂා ඥානය අනුවය.
– එම නිසා මව්පියන් ඔහුගේ අදහස් වලට ඉතා හොඳින් සවන් දිය යුතුය. ඔහු පවුලේ ඉතා වැදගත් සාමාජිකයකු බව නිතර ඇඟවෙන පරිදි පිළිගැනීම ලබා දිය යුතුය. දරුවාට ආමන්ත්‍රණය කරද්දී ආදරය පිරුණු හැඟීමකින් ඔහුගේ සිත පිනා යන අයුරින් ඔබට ඇමතිය හැකි නම් ඕනෑම දරුවකු ඔබට අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිය.
– දරුවාට දඬුවම් කිරීමේදී ඔහු කළ වරදේ ප්‍රමාණයට දඬුවම් දීමට වගබලා ගන්න. දරුවාට අපහාසාත්මක අයුරින් කතා කිරීම, පහරදීම, ප්‍රසිද්ධියේ අවමාන කිරීම, අන් අය සමග දරුවාගේ වැරදි කතා කිරීම සහ ඔවුන් සමග එකතුව දරුවා හෑල්ලුවට ලක්කිරීම මගින් කිසිදිනක දරුවකු උසස් පුරවැසියකු කළ නොහැකි බව වටහා ගන්න. එම නිසා කිසි දිනක එම වරද දරුවාට සිදු නොකරන්න.
– සෑම දරුවකුම එක සමාන බුද්ධියකින් කුසලතාවයකින් යුක්ත නොවන බැවින් තම දරුවාගේ බුද්ධියට කුසලතාවයන්ට ගැලපෙන ඉලක්ක වෙතට ඔහු යොමු කිරීමට මව්පියන් සැලකිලිමත්විය යුතුය.
– ක්‍රීඩා හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් දරුවාගේ ජීවිතය සමබර කිරීමට, ස්වසංකල්පය ධනාත්මක කර පෞරුෂවත් කිරීමට බලපෑම් කරන බැවින් දවසේ සැලකිය යුතු කාලයක් ඔහුට සම වයස් කණ්ඩායම් සමග ක්‍රීඩා කිරීමට ඉඩ සළසා දීම වැදගත්ය.
– කුඩා දරුවන් අනවශ්‍ය ලෙස අතිරේක පංතිවලට යොමු කිරීම ශිෂ්‍යත්ව විභාගය සඳහා වෙහෙස කිරීම නොකළ යුතු බව වටහා ගන්න. හැකි තරම් ක්‍රීඩා කිරීම, සාමූහික ක්‍රීඩා වල යෙදීම, පත පොත කියවීමට උනන්දු කිරීම වැදගත් බව වටහා ගන්න.
– වයස 10 ට අඩු දරුවන් සඳහා රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකථන සමග ගණුදෙනු කිරීම හැකි තරම් වළක්වන්න.
-නිතරම දරුවන්ගේ සියලු අඩුපාඩු ඉල්ලූ සැනින් කියු සැනින් දරුවා බලාපොරොත්තු වන ආකාරයටත් වඩා ඉහළින් වහාම ඉටුකිරීම නොකළ යුතුය. හොඳ දේවල් වෙනුවෙන් ඔහුට බලා සිටින්නට පුරුදු කළ යුතුය. එම ඉල්ලීම් වෙනුවෙන් මව්පියන් වැය කරන මුදල් ඉතා දුක් මහන්සියෙන් උපයාගත් දේ බව ඔහුට දැනෙන්නට ඉඩ හැරිය යුතුය.
-ඔහුගේ වයසට ගැලපෙන ප්‍රමාණයෙන් ඔහුගේ කටයුතු කරගැනීමට ඔහුව පුරුදු කළ යුතුය. නියමිත කාලසටහනකට වැඩ කිරීමට ඔහුව යොමු කළ යුතුය. නමුත් එම කාල සටහනේ ආකාරයෙන් සෑම දිනකම කටයුතු සිදුවේයැයි බලාපොරොත්තු නොවිය යුතුය. එසේම කාලසටහනෙන් පිට කාර්යයක් හදිසියේ යෙදුනහොත් ඒ වෙනුවෙන් යොමුවීමට දරුවා හා සාකච්ඡා කර තීරණය ගැනීම වැදගත්ය.
– බෙදා හදා ගැනීම, කරුණාවන්තකම, ත්‍යාගශීලිත්වය, අනෙක් අය කෙරෙහි ගෞරව සම්පන්න බව, ආචාරශීලී බව, ශික්ෂණය, ඔහුට ඉතාම මුදු මොළොක් ආකාරයෙන් කුඩා කළ සිටම පුරුදු පුහුණු කිරීමට අම්මාගේ කැපවීම ඉතා වැදගත්ය. මේ සඳහා මව්පිය වැඩිහිටියන්ගේ ආදර්ශ ඉතා වැදගත්ය.
– දරුවන් ආශ්‍රය කරන යහළුවන් පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් මව්පියන් සතුවිය යුතුය.
– ආගම දහම මෙම සමාජයේදී ඉතා වැදගත් බැවින් දරුවාට තම දහමේ දර්ශනය ඉගෙන ගැනීම සඳහා ඉඩපහසුකම් සපයා දීම වැදගත්ය.
– දරුවා කැමති ක්ෂේත්රයකින් ඔහුට අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබා දිය යුතුය.
– ඔහුගේ විනෝදාංශ වලට අවබෝධයකින් යුතුව ඉඩ ලබා දිය යුතුය. සැමවිටම ඔහුට වගකීම් සහ යුතුකම් පිළිබඳව වටහා දෙන්න. ඔබ වගකීම් යුතුකම් ඉටුකරන අන්දම ඔහුට දකින්නට ඉඩ හරින්න.
– දරුවන් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ සමවයස් කණ්ඩායම් සමග හැසිරීමටය. එය මව්පියන් ප්‍රතික්ෂේප කිරීමක් නොවන බව මව්පියන් අවබෝධ කරගත යුතුය.
– නව යොවුන් වියේ සිටින දරුවන් තම අනන්‍යතාවය සොයන රූපය පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් කුතුහලය පිරි ඒ නිසාම සෑම දෙයක්ම අත්හදා බැලීමට කැමති පිරිසක් බැවින් මේ කාලය තුළ ඔහුට නොදැනෙන්නට ඔහු පිළිබඳව සොයා බැලීම වැදගත්ය.
– සෑම තත්පරයකදීම පාඩම් කරන දරුවකු බලාපොරොත්තු නොවන්න. ජීවිතයේ අනෙකුත් අභියෝගයන්ට මුහුණු දෙන වෙනත් වෙනත් අංශ කෙරෙහිද උනන්දු වන නිවසේ කටයුතු වලට සහය දෙන සහයෝගී දරුවකුගේ මව්පියන්වීම වැදගත් බව සිතන්න.
දරුවා යනු අපගේ පමණක් නොව ලෝකයේ සිටින වටිනාම ජීවියා වේ. ඔහුගේ ළමා කාලය සුන්දර වූ තරමට, ප්‍රීතිමත් වූ තරමට, මිහිරි මතකයන්ගෙන් පිරුණු තරමට ඔහුගේ වැඩිහිටි විය ඉහළ පෞරුෂයකින් යුතු වේ. එමනිසා සෑම විටම දරුවා සතුටින් ක්‍රියාශීලීව තැබීමටත් වගකීම් සහ යුතුකම් අතරේ හැසිරවීමටත් උත්සහ කරන්න. දරුවකුට සතුටින් සිටීමට මව්පියන් ධනවත්වීම කිසිසේත් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ මව්පියන්ගේ නිසි ආදරය, ගෞරවය සහ ආරක්ෂාව පමණි. ඔබ එය ලබා දෙන තරමට ඔබේ දරුවා ලෝකය ජයගනු ඇත.
එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා