free stats

හාහා පුරා කියලා පුංචි දරු පැටියෙක් එක්ක ගෙදරට ආවම අම්මලාට ඇති වෙන බොහොමයක් ගැටලු අතරට දරු පැටියාගේ පෙකෙණිය පරිස්සමට පිරිසිදු කරගන්නේ කොහොමද කියන එකත් ඇතුළත්. මව්වරුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් පෙකණිය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්ව රැසකට මුහුණ දීමට සිදුවන අවස්ථාත් ඕනෑ තරම්. අන්න ඒ නිසාම අලුත උපන් දරු පැටියෙකුගේ පෙකෙණි සාත්තුව වගේම මේ ආශ්‍රිතව මව්වරුන් දැනුවත් විය යුතු තවත් කරුණු කිහිපයක්ම පිළිබඳව සාකච්ඡා කිරීමටයි මේ සූදානම.

මව් කුස තුළ වැඩෙන දරුවෙකුට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් රැගෙන යන  අපරාව/වැදෑමහ ගර්භාෂයේ ඇතුළු බිත්තියට සවි වී ඇති අතර වැදෑමහ දරුවාට සම්බන්ධ වන්නේ පෙකණිවැල හරහායි. එය දරුවාගේ උදරය තුළට විවෘතව පවතී. උපතත් සමගම මෙම පෙකණිවැල කපා (කපා ඉවත් කරන විට දරුවාට වේදනාවක් ඇති නොවේ) ඉවත් කරන අතර එහි කුඩා කොටසක් උදරය මත ඉතිරි වේ. උදරය මත ඉතිරිවන පෙකණි වැලෙහි කුඩා කොටස වියළී වැටී යාමට දින 7-21 ක අතර කාලයක් ගත වන අතරම එසේ වියළී වැටෙන විට උදරය මත ඇති වන ඉතා කුඩා තුවාලය දින කිහිපයකින් සුව අතට හැරේ. මේ අවස්ථාවේදී ළදරුවාට අන්දවා ඇති ඩයපර හෝ ඇඳුමෙහි රුධිර බිංදු කිහිපයක් දැකිය හැකි අතර එය සාමාන්‍ය තත්ත්වයක් නිසා බියට පත්විය යුතු නොවේ.

පෙකණි සාත්තුවේදී මේ කරුණු ගැන සැළකිලිමත් වෙන්න

පෙකණිවැල පිරිසිදුව හා වියළිව තබාගන්න. දරුවාට නැපි හෝ ඩයපර ඇන්ද වීමේදී පෙකණිය ආශ්‍රිත පෙදෙස විවෘතව තැබීමට වගබලාගත යුත්තේ කපා ඉතිරි වූ පෙකණිවැල කොටස වාතයට නිරාවරණය විය යුතු නිසයි. එසේම  මුත්‍රා තැවරී අපිරිසිදු වීමටද ඉඩ නොතැබිය යුතුය. එසේම පෙකණිවැල වැටෙන තුරු දරුවා ජල බේසමක තබා නැහැවීමට වඩා තෙත් රෙදි කඩකින් පිස දැමීම :ීචදබටැ ඉ්එය* වඩාත් සුදුසු වන අතරම එමගින් පෙකණිවැල තෙත් වීම වළක්වා ගත හැක. දරුවාගේ පෙකණිවැල මත කිසිවක් නොගැල්වීමට වගබලාගත යුතු අතරම සැරහුම් (ගෝස් කැබැල්ලකින් තුවාලය වැසීම වැනි දේ) යෙදීමද නොකළ යුතුය.

නාභිය පිරිසිදු කිරිීමේදී පුළුන් කැබැල්ලක් උණුසුම් වතුරේ ගිල්වා එහි කෙළවර මිරිකා හැර නාභියේ පහළ කොටස (සමට සම්බන්ධව ඇති) වටා මෘදු ලෙස පිස දමා තෙතමනය උරාගන්නා පිරිසුදු රෙදි කැබැල්ලකින් හොඳින් තෙත මාත්තු කරන්න.

පෙකෙණිය ස්වභාවිකව වැටී යන තුරු එය ඇද ඉවත් කිරීමට උත්සහ නොකළ යුතු අතරම  සම්පූර්ණයෙන් වියළි වැටී යන තුරු පිරිසිදුව හා වියළිව තබාගත යුතුය.

පෙකණිවැල කොටසෙහි ආසාධනයක් ඇති වූ විට පෙන්නුම් කරන ලක්‍ෂණ

■             පෙකණිවැල කොටස හෝ ඒ අවට සම ඇල්ලීමේදී දරුවා හැඬීම

■             පෙකණිවැල සමට සම්බන්ධව ඇති කොටස වටා ඇති සම රතුවී ඉදිමුණු ස්වභාවයක් ගැනීම

■             පෙකණිවැලෙන් සැරව හෝ දුර්ගන්ධයක් සහිත ශ්‍රාවයක් පිටවීම

■             අඛණ්ඩව රුධිර වහනයක් තිබීම

■             ශරීර උෂ්ණත්වය ඉහළ යාම, දරුවාගේ ක්‍රියාකාරී බව අඩුවීම. කිරි උරාබීමේ  අඩුකම

ඉහත ලක්‍ෂණ එකක් හෝ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ. මෙහිදී ඇතිවන ආසාධනවලට බොහෝ විට හේතු වන්නේ සමේ සිටින බැක්ටීරියාවන්ය. සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය ළදරු මරණවලට හේතුවක් වීමට තරම් ප්‍රබල තත්ත්වයක් වන බැවින් සෑම මවක්ම දරුවාගේ පෙකෙණි සාත්තුව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමය.

වෛද්‍ය E.T.S ඒකනායක
ශික්‍ෂණ රෝහල
කරාපිටිය