free stats

අලුත ඉපදුනු කිරිකැටියා ගෙදර ගෙනාවට පස්සේ එයාව පරිස්සම් කරන එක අම්මාගේ විශේෂම රාජකාරියක්. අපි නිතරම ඔබට මතක් කරනවා වගේ පැටියා තවම ඉන්නේ අලුත් පරිසරයට හුරුවෙන ගමන්. ඒ නිසා විෂබීජවලට එරෙහිව සටන් කරන්න වගේම ඒවායින් ආරක්‍ෂා වෙන්න තරම් පැටියා තවම සූදානම් නැහැ. සමහර විට ගෙදර කෙනෙකුට ඇතිවෙන සෙම්ප්‍රතිශ්‍යාවක්, අසනීපයක්, හෝ වෙනත් ආසාදන තත්ත්වයක් දරුවාගේ අසනීපයකට හේතු වෙන්න පුළුවන්. අලුත උපන් දරුවන්ට ඇතිවන උණ කියන්නෙත් අන්න ඒ වගේ රෝගී තත්ත්වයක්.

නිසි පරිදි මව්කිරි දීම

පුංචි දරුවෙක් තමන්ගේ මුල් මාස හය ගෙවන්නේ මව්කිරිවලින් පමණයි. මේ කාලේදි මවගෙන් දරුවාට ප්‍රතිදේහ ගමන් කිරීමත් සිදුවන නිසා පැටියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙමින් පවතිනවා. නමුත් යම් හේතුවක් නිසා මව්කිරි දෙන ප්‍රමාණය අඩුවුණොත් ඒ නිසා ඇතිවන විජලනය හේතුවෙන් දරුවා රෝගාතුර වෙන්න පුළුවන්. එතනදි උණ ඇතිවීමේ ඉඩක් පවතිනවා. මෙවැනි අවස්ථාවලදී මව කලබලයට පත්වුණත් එයින් දරුවාගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන්නේ නැහැ. ඒ නිසා කළ යුතු සුදුසුම දේ වන්නේ පැටියාට මව්කිරි ලබා දෙමින් රජයේ රෝහලක් වෙත ප්‍රතිකාර සඳහා රැගෙන යාමයි. එහිදී මව්කිරි මදිවීම නිසා මේ තත්ත්වය ඇති වුයේ නම් මව්කිරි ලබා දීම මඟින් විජලනය පාලනය කරන්නට හැකියාව තිබෙනවා.

පැටියා උණුසුම් කරන නිවැරදි ක්‍රමය

දරුවාගේ ශරීර උශ්ණත්වය පිළිබඳව අවධානය යොමු කළයුතු බව වෛද්‍යවරුන් නිතරම පවසනවා. නමුත් එය සාපේක්‍ෂව සිදුකළ යුතු කාර්යයක්. සීත පළාතකදී නම් දරුවාගේ උශ්ණත්වය හොඳින් පවත්වාගෙන යාම සඳහා දරුවා එතීම කළයුතුයි. හිසේ සිට මුහුණ ආවරණය නොවන පරිදි සිරුර සම්පූර්ණයෙන්ම එතීම සහ දෙපාවලට මේස් පැළඳවීමත්, හිස හොඳින් ආවරණය කිරීමත් කළ යුතුයි. උණුසුම් පළාතකදී නම් දරුවා මෙලෙස එතීම අවශ්‍ය වන්නේ නැහැ. එයින් දරුවා තවත් අධික ලෙස උණුසුමට නිරාවරණය වනවා. එවැනි අවස්ථාවක අධික උණුසුම නිසා දරුවාගේ සිරුර රත්වන්නට පුළුවන්. සමහර විට එය උණ වැනි තත්ත්වයට පත් වෙන්නත් ඉඩ තිබෙනවා. එහිදී දරුවාගේ හිසට, කොණ්ඩයට දහදිය දමා ඇත්නම් එයින් ඇගවෙන්නේ දරුවා අධික උශ්ණත්වයට නිරාවරණය වී ඇති බව නිසා ඇඳුම් ඉවත් කර සිසිල් පරිසරයට ඉඩ දීමෙන් තත්ත්වයට සාමාන්‍ය වනවා.

මවට උණ ඇති වීම

මවට උණ ඇති වීමත් දරුවා උණ රෝගයට ගොඳුරු වීමට හේතුවක්. විශේෂයෙන්ම මවට දරුවා ලැබෙන මොහොතේ දරුවා උපදින්නේ සාමාන්‍ය ප්‍රසූතියකින් වුවත් සිසේරියන් සැත්කමකින් වුවත් මවගෙන් දරුවාට උණ රෝගය ඇතුළු වීමට ඉඩ තිබෙනවා. මේ නිසා උපතින් අනතුරුව දෙදෙනාම දැඩි පරික්‍ෂාවට ලක්වන අතර රෝහලෙන් පිටව යාමට පෙර දරුවාට උණ රෝගය ඇත්දැයි පරීක්‍ෂා කෙරෙනවා. සමහර අවස්ථාවලදි දරුවා බිහිවීමට ප්‍රථම ගර්භාෂයේ ඇති වතුර බෑගයෙන් වතුර ඉක්මනින් ඉවත්ව යාමෙන් පසු යෝනි මාර්ගය හරහා දරුවාට විෂබීජ ඇතුළු වීමෙන් ආසාදනය වීමෙන් උණ රෝගය ඇතිවන්නට පුළුවන්. රෝහලෙන් පිටව යාමට පෙර දැඩි පරීක්‍ෂාවට ලක්වන්නේ මේ නිසයි. මෙවැනි අවස්ථාවකදී දරුවාට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබා දීම මඟින් තත්ත්වය පාලන කරන්නට හැකි නිසා මව්වරුන් බියවන්නට අවශ්‍ය නැහැ.

දරුවා නිරාවරණය වන පරිසරය

සමහර අවස්ථාවල දී දරුවා නිරාවරණය වන පරිසරය නිසාත් උණ ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම දරුවාට පෙර පාසල් හෝ පාසල් යන වයසේ වැඩිමල් සහෝදර සහෝදරියන් සිටිනවා නම් ඒ අය හරහාත් උණ ඇතිවනවා. ඔවුන් නිතර කුඩා දරුවා ඇල්ලීම, සිප ගැනීම, ආදිය සිදුකරන නිසා එයින් දරුවාට පහසුවෙන් උණ රෝගය බෝ විය හැකියි. පැටියා බලන්නට නිවසට එන අය වඩා ගැනීම, සුරතල් කිරීම නිසාත් දරුවා උණ රෝගය පමණක් නොව වෙනත් රෝගවලට හේතුවන විෂබීජ සඳහා ගොඳුරු වීමටත් වැඩි හැකියාවක් පවතිනවා.

හුස්ම ගැනීමේ අපහසුව

පැටියා කටින් හුස්ම ගන්නවාට වඩා නාසයෙන් හුස්ම ගන්න වඩාත් කැමතියි. ඒ වගේම එයාට නාසයෙන් හුස්ම ගැනීම ගැන ඒ තරම් අවබෝධයක් නැහැ. උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයක් නිසා දරුවාගේ නාසය සිර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙනවා. ඒ වගේම මේ නිසා කිරි බීමේ ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. නිසි පරිදි මව්කිරි පෙවීමක් සිදුවෙන්නේ නැත්නම් එයින් දරුවාගේ බර අඩුවීම සිදුවන්නේ මී ළඟටයි. බර අඩුවීම නිසා දරුවා දුර්වල වීමෙන් තවදුරටත් විෂබීජවලට නිරාවරණය වනවා. එය දිගින් දිගටම සිදුවන විට දරුවා විවිධ ආසාදන වල ගොඳුරක් වන්නට තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි.

උණ ඇති වු විට හඳුනාගන්න හැටි

උණ ඇතිවුනු අවස්ථාවලදි හොඳින්ම හඳුනාගත හැකි ලක්‍ෂණය වන්නේ දරුවාගේ ක්‍රියාකාරකම්වල ඇතිවන වෙනසයි. නිතරම නිද්‍රාශීලී වීම, කිරී බීම අඩුවීම, සමහර අවස්ථාවල සිරුර කහ පැහැයට හැරීම, අධික ලෙස හැඬීම වැනි ලක්‍ෂණ දෙකක් හෝ සියල්ලම තිබෙනවා නම් දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යා යුතුයි.

උශ්ණත්ව මැනගන්න

උණ තිබෙන අවස්ථාවක දී දරුවාගේ උශ්ණත්වය මැන ගැනීම වඩාත් වැදගත්ම කාරණයක්. ප්‍රමිතියක් සහිත උණ කටුවකින් උණ ප්‍රමාණය මැන ගැනීම කළ හැකියි. කිසිල්ල යට තබා උණ බැලීමෙන් අනතුරුව 99% කට වඩා උණ පවතී නම් දරුවා අධික ලෙස අඬනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම කළ යුතුයි. පැනල් කැබැල්ලක් උණු වතුරින් තෙත් කර මුහුණ පිසදැමීම මඟින් සිරුරේ උණුසුම අඩුකරගැනීමේ හැකියාව තිබෙනවා.

සටහන චාපා හංසිනි ආටිගල

වෛද්‍ය හේෂාන් ජයවීර
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
කතිකාචාර්ය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය