free stats

විදෙස් රටවල ක-ුඩා දරුවන්ට ළමා කතා කියාදීම සාමාන්‍ය ජීවිතයේ තිබෙන්නක්. රාත්‍රි කාලයේ ළමයා සමඟ අම්මා සහ තාත්තා එක්ව කතා කීම ඒ රටවල දෛනික කාර්යයන්වලින් එකක්. නමුත් අපේ රටේ මව්වරුන් අතර එවැනි තත්ත්වයක් දකින්න නැහැ. ඒ වගේම අපේ ළමා කාලයේදි පරිසරය හා සොබාදහම ඇසුරින් ඉගෙන ගත් බොහෝ දේ තිබෙනවා. ඒ වගේම සීයා සහ ආත්තම්මා ඇසුරෙන් අපිට ලැබුණු දේ අතිවිශාලයි. විශේෂයෙන්ම ළමා කතන්දර සුරංගනා කථා තුළින් අපි ලබාගත් පරිකල්පන දැනුම මෙපමණයි කියා තක්සේරු කරන්නට බැහැ.

ඒ කාලේ දරුවන්ට තිබුණු ඉතාම සීමිත වට ප්‍රමාණයක පරිසරයක් පමණයි. අදට වඩා නගරය සහ ගම කියන සාධක අතර විශාල පරතරයක් තිබුණා. මේ නිසාම දරුවන්ට සුරංගනා කථාවල වැඩි අගයක් තිබුණා. නමුත් අද දරුවන්ට ලෝකය පුළුල්ව විදින්නට අවස්ථාව තිබෙනවා. මේ නිසාම ඔවුන්ගේ පරිකල්පණ ශක්තිය එදා දරුවන්ට වඩා ඉහළ මට්ටමක පවතිනවා. ස්මාර්ට් ජංගම දුරකථන, පරිගණකය, ආදී විවිධ මාදිලියේ තාක්‍ෂණික මෙවලම් තුළින් දරුවා තුළ එක්තරා විදියකින් වෙනස්ම ජීවියෙක් නිර්මාණය කරනවා. මේ නිසාම අද දරුවාට කතන්දර තුළින් ලබා දෙන්නට පුළුවන් දේ ඉතාම අල්පයි. මේ යුගයේ දරුවන්ට එවැනි සුරංගනා කථා තුළින් රස ස්පර්ශයක් ලබාගත නොහැක්කේ ඒ නිසයි.

දරුවාට කියවීම හුරකරවීමට හොඳම ක්‍රමය වන්නේ කතන්දර කියාදීම වුවත් වර්ථමාන ළමයාගේ භූමිකාව තරමක් සංකීර්ණ නිසා ඒ පිළිබඳව දෙවරක් සිතන්නට
වැඩිහිටියන්ට සිදුවෙනවා. මෙවැනි දරුවන්ට සුරංගනා කථා ගැලපෙන්නේ නැහැ. මේ දරුවන්ට ගැලපෙන්නේ වීර කථායි. වර්ථමාන අධ්‍යාපන රටාව ඉතාමත් සංකීර්ණ නිසා දරුවා එයින් අපහසුතාවයට පත් වනවා. දරුවාට අධ්‍යාපනයේ අගය, අධ්‍යාපනය තුළින් ජීවිතය ජයගත හැකි ආකාරය පිළිබඳව කතාන්දර කියාදීම වඩාත් වටිනවා. එයින් දරුවා තුළ ඉගෙනීම පිළිබඳව අලුත් හැඟීමක් ඇතිවන්නට තිබෙන ඉඩකඩ ඉහළයි. පින්තූර සහිත කථා පොත් තුළින් දරුවාට පොත් කියවීම පිළිබඳව කැමැත්තක් ඇති කරවන්නට හැකියි.

නමුත් විදේශීය උරුවක් සහිත කතා අපට එතරම් ගැලපෙන්නේ නැහැ. එයට හේතුව එවැනි රටවල තිබෙන සමාජ පාරිසරික කාරණා සහ සංස්කෘතික කාරණා අපේ ක්‍රමයට නොගැලපීමයි. අප තවමත් ගත කරන්නේ සංස්කෘතික වශයෙන් සීමා වුණු සංවෘත ක්‍රමයක නිසා දරුවාට සුදුසු වන්නේ අපේ ඉතිහාස කතා හෝ අපේ වීර කතා පිළිබඳව දැනුවත් වීමයි. නැතිනම් දරුවා සමාජය තුළ අතරමං වනවා. ඒ වගේම සත්‍ය කතා කියාදිමත් ඉතාම වැදගත්. සමාජයේ කටුක බව, ජීවිතය ජයගැනීම කියන කාරණයේදි ඇතිවන ගැටළු පිළිබඳව දරුවා මුල සිටම දැනුවත් කරතැබීම වඩාත් සුදුසු වනවා. ඒ සඳහාද ළමා කතා උපයෝගි කරගන්නට පුළුවන්. ලෝකයේ බිහි වු සාර්ථක පුද්ගලයන්ගේ ජීවිත තුළින් දරුවාට මෙවැනි පාඩම් කියා දෙන්නට හැකියාව තිබෙනවා. “එබ්‍රහම් ලින්කන්, අබ්දුල් කලාම්, තෝමස් අල්වා එඩිසන්, ඇල්බට් අයින්ස්ටයින්” වැනි චරිත දුක්ඛිත ලෙස ජීවිතය ආරම්භ කර සාර්ථකත්වයට පත් වූ අය අතර ඉදිරියෙන්ම සිටිනවා. එවැනි චරිත තුළින් දරුවාට ගත හැකි ආදර්ශ බොහෝමයි.

ඒ වගේම පුංචි පැටවුන්ට කතා කියාදෙන විට ඔවුන්ගේ වයස පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ ඒ වයස් ප්‍රමාණ අනුව දරුවන්ගේ අවබෝධයේ මට්ටම වෙනස් වනවා. මේ නිසා වයස අවුරුදු පහට අඩු
දරුවන්ට කියාදෙන ළමා කතා හෝ වීර කතා ඉතාම සරල මට්ටමේ ඒවා වීම වැදගත් කරුණක්. ඒ වගේම මව පියා අහිමි වු දරුවන් හෝ මව්පියන් විදෙස්ගත වු දරුවන්ට ළමා කතා කියාදෙන විට වඩාත් සැලකිලිමත් විය යුතුයි. කිසිම විටෙක එවැනි දරුවන්ට අම්මා හෝ තාත්තා නැති දරුවන් පිළිබඳව කතා කියා දෙන්නට සුදුසු නැහැ. ඒ වගේ කතා කියනවා නම් අම්මා තාත්තා නොමැතිව වුවත් ජීවිතය ජයගත් දරුවන්ගේ කතා කියාදීම සුදුසු වනවා. එයින් දරුවා මානසික වශයෙන් කම්පනයට පත්වීම වළක්වා ගන්නට පුළුවන්.

සෑම කතන්දරයක්ම දරුවාට සමීප වීම වැදගත් වනවා. ඒ කතා තුළින් දරුවාගේ කුතුහලය අවදි වීම මෙන්ම ප්‍රශ්න ඇසීම ද සිදුවිය යුතුයි. එයින් දරුවාගේ බුද්ධිය වැඩෙනවා. දරුවා කතාව තුළට පිවිසීම සිදුවන්නේ එවිටයි. ඒ වගේම කතාව අවසානයේ දරුවාගෙන් ප්‍රශ්න ඇසීමත් සුදුසු වනවා. එවිට ඔහු තුළ යම් දෙයක් පිළිබඳව ඇති අවධානය සහ අවබෝධ කරගැනීමට ඇති හැකියාව ආදි කාරණා පිළිබඳව මවට මෙන්ම පියාට අවබෝධ කරගන්නට පුළුවන්. දරුවාට ගැලපෙන අධ්‍යාපන රටාව, මතක ශක්තියේ ප්‍රමාණය, දරුවා දැනට සිටින අධ්‍යාපන මට්ටම ආදිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මෙම ක්‍රමය වඩාත් ගැලපෙනවා.

සටහන
චාපා හංසිනි ආටිගල

මනෝ ප්‍රවර්ධන උපදේශිකා
රත්නා පුෂ්පකුමාරි