දරුවෙකු මෙලොවට බිහි වූ දා සිට මුළු ළමා කාලය පුරාවටම විවිධ පාරිසරික වෙනස්කම් වලට භාජනය වීම සිදුවෙනවා. මේ අයුරින් පරිසරය සමගින් ගැටෙමින් ශාරීරිකව සහ මානසික වර්ධනය සිදුවන දරු පැටියාට ජීවන මගේ විශේෂිත අවස්ථාවන් පසු කිරීමට සිදු වන්නේද ළමා කාලය තුළදීය එසේ විවිධ අවස්ථාවන් පසු කරන දරුවා ඒ ඒ කාලානුරූපව සකස් කිරීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හැදින්වෙන්නේ බාල සංස්කාර ලෙසටය. එම බාල සංස්කාර යටතේ එනු ලබන එක් සංස්කාරයක් ලෙස කර්ණවේදන සංස්කාරය හෙවත් කන් විදීම හැදින්විට හැකිය.
මෙම කර්ණවේදන සංස්කාරය හෙවත් කන් විදීම දරුවා වෙත කෙරෙන රක්ෂා කර්මයක් එනම්, ළදරුවාගේ ආරක්ෂාව සඳහා කරනු ලබන චිකිත්සා කර්මයක් (ප්‍රතිකාර ක්‍රමයක්) ලෙස සිදු කරනු ලබන බව ඉපැරණි. ආයුර්වේද ග්රන්ථයක් වන සුශ්රෑත සංහිතාවේ සඳහන් කර ඇත.
කන් විදීම හා කන් වලට කර්ණාභරණ පැළදීම අතීතයේ සිටම පැවත එනු ලබන චාරිත්‍රයක් බව මට්ටකුණ්ඩලී කථා පුවතින් පැහැදිලි වේ. එසේම වර්තමානයේ කර්ණාභරණ පැළදීම සිදු කරනු ලබන්නේ ගැහැණු දරුවන්ගේ ගැහැණු දරුවන්ගේ පමණක් වුවත් අතීතයේදී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම දරුවන්ගේ කන් විදීම සිදු කර ඇත.
ළදරුවකුගේ කන් විදීම සිදු කළ යුතු අකාරය පිළිබඳව පැරණි ආයුර්වේද ග්‍රන්ත වල සඳහන්ව ඇත්තේ මෙසේය එහිදී සුශ්රෑත සංහිතාවට අනුව හයවන මාසයේ හෝ හත්වන මාසයේදීත් අෂ්ඨාංග හෘදය සංහිතාවට අනුව හයවෙනි, හත්වෙනි හෝ අටවෙනි මාස වලදී කර්ණ වේදය සිදු කර යුතුය.
ඒ අනුව සුභ දිනයක්, දසහ සුභ හෝරාවක් යොදාගෙන ආගමිකවතාවත් සිදුකොට දරුවා මවගේ ඇකයේ හිදුවා දරුවාගේ අතට ක්‍රීඩා භාණ්ඩයක් දී අස්වසා ගෙන හිස නොසෙල්වෙන සේ අල්ලා ගත යුතුය. ඉන් අනතුරුව කන් පෙත්ත අල්ලා එහි මැද තුනී ස්ථානය (දෛවකෘත ජිද්‍රය) සළකුණු කිරීමෙන් අනතුරුව දකුණු අතින් නිපුනිකරණය කරන ලද (විෂබීජහරණය කළ) ඉදිකටුවෙන් කන විඳිය යුතුය. තුනී කන ඉදිකටුවෙන්ද, ඝනකම කන “ආරා” නම් උපකරණයෙන්ද එක්වරම විදිය යුතු බව පොත්පත්වල සඳහන් කර තිබෙනවා. පිරිමි දරුවන්ලේ පළමුව දකුණු කනද, ගැහැණු දරුවන්ගේ වම් කනද විදීමට සුදුසු වන අතර, නියමිත ස්ථානයට ඉහළින්, පහළින් හෝ පැත්තෙන් විදීමට නිර්දේශ කර ඇත.
කන විදීමෙන් පසු නූලක් සිදුර තුළින් දමා ගැට ගැසිය යුතුය. දෛවකෘත සිදුර හරහා නියමිත අයුරින් කන විදීම සිදුවූයේ නම් වේදනාව හෝ ලේ ගැලීම සිදුනොවෙයි. කන් සිදුර වැඩීම සඳහා කරල් ගෑම නම් චාරිත්‍රයක් සිදු කරන අතර, ඒ සඳහා කොහොඹ හෝ කපු යන ලී වර්ග දෙකින් එක වර්ගයකින් යොදා ගත් සිහින් කූරක් හෝ ඊයම් ආදිය යොදා සකස් කරගත් මලක් වැනි කූරක් (කරාබුවක්) කන් සිදුරට ඇතුල් කළ යුතු බව ඉපැරණි ආයුර්වේද ග්රන්ථයක් වන සුශ්රෑත සංහිතාවේ සඳහන් කර තිබෙනවා.
ආයුර්වේද ග්රන්ථයෙහි මෙසේ සටහන් වී තිබුණද, වර්තමාන සමාජයේ මා පියන් ගැහැණු දරුවන්ගේ හා වැඩිහිටි පිරිමින්ගේ කන විද කරාබු දමන්නේ අලංකාරය සඳහාය. අතීතයේදී කන් විදීමට ඉහත ක්‍රම උපයෝගී කර ගත්තද, වර්තමානයේදී දරුවන්ගේ කන් විදීම ඉතා පහසුවෙන් කළ හැකිය. එහිදී කනට යොදන කරාබුවේම කූර මදක් තියුණු කොට ගෙන එමගින් කන විදිමට පුළුවන්ය.
මේ සඳහා සුභ දිනයක් වේලාවක් යොදා ගන්නා අතර වෛද්වරයකු වෙත රැගෙන ගොස් කන් විදීමට වර්තමාන සමාජයේ මව්පියන් පුරුදු වී සිටිනවා. එහිදී මුළින්ම කන් පෙත්ත පසු පස සිට විදුලි පන්දමක් ඇල්ලීමේදී හොඳින් ආලෝකය විනිවිද න ස්ථානය කන් පෙත්ත මත ලකුණු කරයි. එය දෛවකෘත ජිද්රයයි. එම ස්ථානය කලින් උල් කොට සාදා ගත් කරාබුව යොදා ගෙන කන විද කරාබුව කනට දමනු ලබනවා.
මුහුණට අලංකාරයක් ලැබීම, දරුවාට ආරක්ෂාව සැලසීම (ලෝහ සහ මැණික් යොදාගෙන කරාබු සාදා පැළදවීමෙන් අහිතකර කිරණ දරුවාට ළඟා නොවීම.) ඇතැම් රෝගාබාධ වලදී ඇතැම් ලෝහ මැණික් වර්ග පැළදීම සුදුසු වන බැවින් රෝග ප්‍රතිකාරයක් ලෙසද කරාබු පැලදීම සිදු කෙරෙනවා.
කන් විද ආභරණ පැළදීම අතීතයේ පටන් පැවත එන චාරිත්‍රයක් මෙන්ම අතීතයේදී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම කන් විද කරාබු පැළදීම කර ඇති හෙයින් ද මෙම රක්ෂා කර්මය ළදරුවන්ගේ ආරක්සාව සඳහා වැදගත් වන බව දෙමාපියන් දැනගත යුතුය.
මංගලා ගුණරත්න
අරුණි ජයසේකර