free stats

බබාගේ කිරි සුවඳ කියලා මේ තමයි හුඟක් දෙනා බිළිඳුගේ සුවඳ හඳුන් වන්නේ. ඇත්තෙන් ම අළුත උපන් බබෙක්ගේ කිරි සුවඳ හරිම අපූරු සුවඳක්. එය මව්වරුන්ට ආදරණීය සුවඳක්. වඩා ගන්න ඕනෑම කෙනෙකුට දැනෙන මිහිරි සුවඳක්. මතක හිතෙන සුවඳක්. මේ සුවඳ එන්නේ කොහෙන් ද? මේ සුවඳ අනෙක් අයට දැනෙන්නේ කොහොමද?

මෑතක දී සුප්‍රකට Frontiers and Psychology සඟරාව දරුවන්ගේ කිරි සුවඳ පිළිබඳ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළා. මේ වාර්තාවට අනුව බිළිඳු කිරි සුවඳ යනු මවකගේ මොළයේ සමහර කොටස්වලට බලපාන සාධකයක්.

මේ පිළිබඳ මව්වරුන් කණ්ඩායමක් යොදාගෙන කරන ලද පරික්ෂණයක දී හෙළිදරව් වුණේ ඔවුන් සියලු දෙනාම කිරි සුවඳට මොළයේ බුද්ධිමය අංශවල ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවයි. ඒ අතරින් අළුත උපන් දරුවන් සිටින මව්වරුන් තම බිළිඳුගේ කිරි සුවඳ ආඝ්‍රාණය කළ විට, ඔවුන්ගේ මොළයේ ප්‍රීතිය ගෙන දෙන කොටස් වල හදිසි උත්තේජනයන් ඇතිවූ බවත් දැකගන්නට පුළුවන් වුනා.
පර්යේෂකයන් විශ්වාස කරන්නේ කිරි සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් මවකට ප්‍රීතියක් ඇතිවන බවය. ඒ අනුව බිළිඳා කෙරෙහි මවගේ දයාව තව දුරටත් උද්දීපනය වන බවය.

මවගේ දෛනික වෙහෙස නිවන්නට මේ උද්දීපනය දායකත්වයක් ලබාදෙන බවත්, ඔවුන්ට නිරීක්ෂණය කරන්නට හැකිවුණා.


ඔබ ප්‍රබෝධමත් කරවන මේ සුවඳ සමහර පර්යේෂකයන් විසින් හඳුන්වා දී ඇත්තේ, Intoxicating smell (මන්මත් කරවන සුවඳ) ලෙසයි.
ඇත්තෙන්ම එය ස්වභාවික සුවඳක් බව විශේෂඥවරුන්ගේ මතයයි.

සමහර විට එය, අළුත උපන් දරුවෙකුගේ බිළිඳු සිරුරේ තවමත් දැවටී ඇති කළලාවාරික දියරයේ සුවඳ විය හැකි බව ද ඔවුන් කල්පනා කරනවා. එහෙත් තවමත් විද්‍යාඥයින්ට බබෙකුගේ කිරි සුවඳ බිහිවන්නේ කෙසේදැයි ස්ථිරවම කියන්න බැහැ. එයටත් හේතුවක් තිබෙනවා. කිරි සුවඳ ගැන ගැඹුරු පර්යේෂණ කළ නොහැක්කේ අලුත උපන් දරුවෙකුගේ කිරි සුවඳ සති හයකින් පමණ වියැකී යන නිසයි. ඉන්පසු දරුවාගේ සුවඳ අපට ගෙන එන්නේ, සබන්, පුයර හා සුවඳ විලවුන්ය.