free stats

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා..!
පුතුන් රජුන් කරන්ටා..!

වෛද්‍ය අරුණි ලියනමාන

ඔව්. තමන්ගෙ දරුවා රජ කරවන්න අම්මලා නොවිඳිනා දුකක් නැහැ. මෙතෙන්දි “පුතුන්” කියල අදහස් කරන්නෙ “පිරිමි දරුවො” විතරක් නෙමෙයි; පුතාල, දුවල දෙගොල්ලම. අම්මලා තමන්ගෙ මුලු ජීවිත කාලයම දරුවො, පවුල වෙනුවෙන් කැප කරනවා බොහොම සතුටින්. එයාල ඒ වෙනුවෙන්  කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. කෙනෙකුට මේ ලොකෙ ලබන්න පුළුවන් උත්තරීතරම පදවිය “මව් පදවිය” කියල කියන්නෙත් ඒ නිසාමයි.

දරුවා ගොඩක් පොඩියි නම් අම්මලට කරන්න වෙන කැප කිරීම ගොඩක් වැඩියි. චූටි බබෙක් ඉන්න අම්මෙක්ට වෙලාවට කන්න නැහැ. නිදියන්න නැහැ. කොටින්ම පොඩිම හරි විවේකයක් නැහැ. මාත් අම්ම කෙනෙක්. මටත් තුන් වතාවකදි ඔය අත්දැකීම ඔය විදිහටම ලැබුණා. ඒ වගේම “මාතෘඅපේක්ෂා” තුළින් කිරි සිහින සැබෑ කරගත් හැම අම්මෙක්ගෙම අත්දැකීමත් මීට ගොඩක් දුරට සමානයි. පශ්චාත් උපදේශන සේවා වලට එන අම්මලා කියන කතාවලින් ඒ බව තහවුරු වෙනවා. කොච්චර අසීරු වුණත් මේ හැමදෙයක්ම දරුවන්ට තියෙන අසීමිත ආදරය නිසාම අම්මලා විදියට අපි බාර ගන්නෙ හරිම සතුටින්. ඒ වගේම පස්සෙ කාලෙක ඒ කාලෙ ගැන හිතලා අපූරු සැනසිල්ලක් ලබන්න පුළුවන්. මගේ දරුවො නම් දැන් ලොකුයි. ඒත් ඒ මතක තාම රහයි.

මගේ දරුවො මං නැලෙව්වෙ මීට අවුරුදු විස්සකට විතර කලින්. ඒ කාලෙට වඩා අද සමාජ වටපිටාව, සංස්කෘතික වටිනාකම් ගොඩක් වෙනස්. අම්මලා ගොඩක් කාර්‍ය්බහුල වෙලා. රැකියාව ඒකට ප්‍රධාන හේතුවක්. දරුවො එක්ක ගැවසෙන්න, එයාලව හුරතල් කරන්න ප්‍රමාණවත් තරම් කාලයක් අම්මලට තියෙනවද කියන එක ගැටලුවක්.

ඔබේ දරුවා චූටි බබෙක් විදියට ඉන්නෙ ඉතාම කෙටි කාලයයි. ඔබට කවන්න, පොවන්න, හුරතල් කරන්න, නලවන්න… මේ හැමදෙයක්ම කරන්න පුළුවන් මේ කාලය ඇතුළත විතරයි. ඔබේ දරුවාටත්, ඔබටත් ඉතිරි ජීවිත කාලයටම ආදරණීය මතක ගොන්නක් එක්කරන්නෙත් මේ ඉතාම කෙටි කාලය තමයි. අම්මෙක් විදියට ඔබට මේවා මග හැරුණොත් ඒක කියන්න බැරි තරම් ලොකු අඩුපාඩුවක් වේවි. ඒ බව හොඳින් මතක තියා ගන්න..!

https://www.facebook.com/100494988672257/posts/100543955334027/

#MathruApeksha