free stats

පියයුරු පිළිකාව, ගැබ්ගෙල පිළිකාව, තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ්‍රිත, ගුද මාර්ගය මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකාව මෙන්ම, ගලනාලය හා ගර්භාෂය ආශ්‍රිත පිළිකාව ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුල ලෙසම දැක ගත හැකිය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් 2014 වර්ෂයේ සිට මේ දක්වා කරන ලද ගණනය කිරීම් වලට අනුව කාන්තා පිළිකා රෝගීන් සංඛ්‍යාව 12251 ක් පමණ වෙනවා. පිළිකාව නම ඇසූ පමණින් බොහෝ දෙනෙකු බියට පත් වුවත් වෛi මතය වන්නේ නිදන්ගත රෝගයක් වන මෙය වයස අවුරුදු 70 – 80 පමණ වයසේ පසුවන්නන් වෙතින් බහුල ලෙස දැක්විය හැකි බවයි. එසේ වුවත් වයස් ගත නොවී මෙවැනි රෝගී තත්ත්වයට පත්වන කාන්තාවන්ද දැක ගත හැකිය. ගැබ් ගැනීමට සුදුසු වයසේ පසුවන යුවතියකට, ගැබ්ගෙන ඇති මවකට හෝ මෙවැනි රෝගයක් තමාට පවතින බව නොදැන ගැබ් ගැනීමක් සිදු වූ අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද ? මෙය බොහෝ කාන්තාවන්ට ඇතිවන ගැටළුකාරී තත්ත්වයක් නිසා “ආදරණීය අම්මි” අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිකා වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරෙරා මහතාගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමු.

වර්ථමාන සමාජය තුළ ගැබිනි සමයේ පිළිකා රෝගී තත්ත්වයට පත්වීම පිළිබඳව කතා බහ ඇතිවන්නේ අප පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වන ඉන්දිරා ජයසූරිය මහත්මියගේ මරණයත් සමගයි. එහෙත් කාන්තාවක් ගර්භණී භාවයට පත්වන්නේ වයස අවුරුදු 20 ත් 45 ත් අතර කාලයේදීය. කාන්තාවකට මෙම කාලය තුළදී පිළිකා රෝගය වැළදී ඇති බවට වාර්ථා වෙන්නේ 3/2 කටත් අඩු ප්‍රමාණයකි. එසේම කාන්තාවන්ට වැළදෙන ගැබ්ගෙල පිළිකා හෝ ඩිම්භ කෝෂ පිළිකා ඇති වන්නේ වයස අවුරුදු 50 ඉක්මවූවාට පසුවයි. ඒ අනුව ගැබි ගැනීමට සුදුසු වයසේදී එම පිළිකා රෝගී තත්ත්වය බෙහෙවින්ම අඩු නිසා ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ.

කාන්තාවන් වෙතින් බහුල ලෙස දැකිය හැකි තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වයක්ද වයස අවුරුදු 20 ත් 30 ත් අතර කාලයේදී වැඩි වශයෙන් දැකිය හැකි වුවත්. එම වයසේදී එම තත්ත්වය උත්සන්න වී ඉන්පසු අඩුවී ගෙන යන අතර නැවත එම තත්ත්වය උත්සන්න වන්නේ වයස අවුරුදු 40 – 60 අතර වයසේදීය. ඒ අනුව ගැබ් ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන් හට තයිරොයිඞ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවධානම සියයට 45ටත් වඩා අඩු ප්‍රතිශතයකි.

එහෙත් ගර්භණී සමයේ දී කිරි දීම සඳහා වර්ධනය වීම නිසා පියයුරු මෘදු ස්වභාවයකින් යුක්ත වෙනවා. එසේ වීම නිසා ගැබිනි සමයේදී පියයුරු පිළිකාව හඳුනා ගැනීමට අපහසු විය හැකියි. පියුයරු සෑදී තිබෙන්නේ නාල ග්‍රන්ථි සහ මේද සහිත ස්තරයකිනි. මෙහි ප්‍රධානතම කාර්ය වන මව්කිරි වර්ධනය වීම ප්‍රසූතිය ආසන්නයේදී දැකගත හැකිවෙනවා. මෙම කාලයේදී පියයුරු වල ගැටිති වැනි ස්වභායක් දැකිය හැකි නිසා ක්‍ෂණිකව කරනු ලබන පියයුරු පරීක්‍ෂාවකින් නම් පියයුරු පිළිකාවක් ඇතිදැයි තහවුරු කර ගැනීම අසීරුය. එවැනි අවස්ථාවකදී ගැබිනි මවට අල්ට්‍රා සවුන්ඞ් පරීක්‍ෂණය වෙත යොමු විය යුතුය. එම නිසා වයස අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවක්ම වසර තුනකට වරක් සායනික පියයුරු පරීක්‍ෂා කිරීම සඳහා යොමු වීමේ යහපත් පුරුද්දක් ඇති කර ගැනීම වැදගත්.

බොහෝවිට ගැබ් ගැනීමක් සිදු වන්නේ සැලසුම් සහගතවය. එවැනි අවස්ථාවකදී ගැබි ගැනීම සඳහා අවශ්‍ය වන අනෙකුත් සාධක පිළිබඳ විමසිලිමත් වන අයුරින් පියයුරු පරීක්‍ෂාවක් වෙත යොමු විය යුතුය. මන්ද ළදරුවාගේ වර්ධනය සඳහා මව්කිරි ලබා දීම අත්‍යාවශ්‍යය. නිරෝගී දරුවකු තැනීම සඳහා මව්කිරි ලබා දීමට මවගේ පියයුරු සූදානම් වී ඇති ආකාරය පරීක්‍ෂණයක් මගින් තහවුරු කර ගැනීම බෙහෙවින්ම වැදගත්ය.

ගැබිනි සමයේදී පිළිකාව පිළිබඳව සැක සහිත අවස්ථාවක් ඇතිවුවහොත් එය අවධානම් ගැබි ගැනීමකි. එහිදී එම අවධානම සඳහා ගතයුතු පියවර තීරණය කරනු ලබන්නෙ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක්, පිළිකා ශල්‍ය වෛද්‍යවරයෙක් හා පිළිකා පිළිබඳ විශේෂය වෛද්‍ය කණ්ඩායම් විසින්ය. එහිදි රෝගියාට ඖෂධ ලබා දීම පිළිබඳව, දරු ප්‍රසූතියට පෙර සැත්කමක් කරනවාද ? දරු ප්‍රසූතියෙන් පසු සැත්කමක් කරනවාද යන්න පිළිබඳව තිරණය කිරීම සිදු වෙනවා. එසේම කාන්තාවක් ගර්භණී භාවයට පත්වී ඇති අවස්ථාවකදී විකීරණ ප්‍රතිකාර ලබා නොදෙයි. විකීරණ ප්‍රතිකාර ලබා දීම කුස තුළ සිටින දරුවාට හානිදායක වීම එයට හේතුවයි.

කාන්තාවකට වැළදිය හැකි ගැබ්ගෙල පිළිකාවට හේතු වන්නේ


HPV වෛරසය දීර්ඝකාලීනව ගර්භාෂ ගත විමය. මේ වෛරසය ශරීර ගත වීමට කාන්තාවක් අධික ලෙස ලිංගික සංසර්ගයේ යෙදීම, පුරුෂයින් කිහිප දෙනෙකු සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම, බහු ස්ත්‍රි සේවනයේ යෙදෙන පුරුෂයෙකු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම ආදී කරුණු නිසාය.

මෙවැනි අවධානමක් පවතින සෑම අවස්ථාවකදීම අවුරුදු 30ට වැඩි සෑම විවාහක කාන්තාවක්ම පැප් පරීක්‍ෂණය වෙත යොමු වෙනවා නම් ඇති විය හැකි අවධානම අවම කර ගත හැකිය. මෙම පරීක්‍ෂණය මගින් සිදු කරන්නේ සරල උපකරණයක් ශරීරය තුළට ඇතුල් කර ගැබ් ගෙල ප්‍රදේශයෙන් පටකයක් ගෙන පරීක්‍ෂා කර බැලීමයි. එම නිසා ගර්භණී භාවයට පත්වීමට පෙර දිවයින පුරා පිහිටා ඇති සුවනාරී සායනය මගින් මෙම පරීක්‍ෂණය කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා. පාසැල් කාලය තුළදී මේ පිළිබඳව දරුවන් දැනුවත් කිරීම මගින්
HPV වෛරසය සියයට 10 කින් පමණ අවම කිරීමටත් බොහෝ විට හැකියාව පවතී. ගැබ්ගෙල පිළිකාව පිළිබඳව වැඩි අවධානමක් ඇති වුවාහොත් දරු ප්‍රසූතිය අවසන් වන තුරු අවශ්‍ය ප්‍රතිකාර ප්‍රමාද කිරීම සඳහා මැදිගත් වීමට පවා වෛද්‍ය සිදු වේ.

ඉහත සඳහන් කළ අනෙක් පිළිකා වර්ග වර්ගය ඉතාමත් අඩුවෙන්ය. වැඩිපුර අසන්නට ලැබෙන පියයුරු, ඩිම්බ හා ගර්භාෂ පිළිකා වලින් ආරක්‍ෂා වීමට හොඳම විසඳුම ගැබ් ගැනීම හා මව්කිරි ලබාදීම බව මෙහිදී සඳහන් කළ යුතුය. එම නිසා වයස අවුරුදු 45 ට පෙර විවාහ වී අනෙක් අරමුණු කෙතරම් තිබුණත් දරුවකු බිහි කිරීමට ප්‍රමාද කරන්න එපා මන්ද, ගැබි ගැනීම මෙන්ම දරු පැටියාට මව්කිරි ලබා දීම තුළින් පිළිකා රෝගය ඇති වීම මර්ධනය කර ගැනීමේ හැකියාව ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ
ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ
ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
සුරාජ් පෙරේරා මහතා

අරුණි ජයසේකර.