free stats

සමේ තෙතමනය රැකෙන අනවශ්‍ය වියළි ගතිය ඉවත් වන ආහාර වර්ග ද අපේ ආහාර සංස්කෘතියේ තියෙනවා. මේ අතරින් දියබත් ප්‍රධානයි. ඉස්සර කාලේ දියබත් හදන්න හේතු වුණු කාරණා ගොඩක් තියෙනවා. රෑට උයන බත් ටිකක් වැඩි උනහම අහක දානවා වෙනුවට උදේට කන්න පහසු වෙන්න තමයි ගොඩක් වෙලාවට දියබත් හැදුවේ.

දීයබත් කෑවාම ඇඟ ඇතුලෙ තියෙන උෂ්ණය අඩු වෙනවා. අද කාලේ බඩේ දැවිල්ල එහෙම නැත්නම් ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් නිතර දකින්න ලැබෙන නිසා සම වියලීම තොල් පැලිම් වගේ තත්ත්වයන් අඩු කරන්න පුළුවන් නිසාත් රෑට උයන බත් අහක දාන එක මේ තියන ආර්ථික තත්ත්වය හැටියට එතරම් හොඳ නැති නිසාත් මේ ඔක්කොම ප්‍රශ්න වලට විසඳුමක් විදිහට දිය බත් හදන හැටි ඔබට කියලා දෙන්න අපි හිතුවා.

අවශ්‍ය ද්‍රව්‍ය

පෙරදින රාත්‍රියේ උයාගෙන ඉතිරි වූ බත්. මැටි මුට්ටියක් නම් දිය බතේ රස තවත් වැඩි වෙනවා. බත් ටික මුට්ටියේම තියලා ප්‍රමාණවත් තරම් වතුර චුට්ටක් දාලා වහලා තියන්න. වතුර තියෙන්න ඕන බත් ටික වැහෙන්න විතරයි. පහුවෙනිදා උදේ වෙද්දි වතුර ටික හිඳිලා ගිහිල්ලා බත්ටික හොදට පිම්බිල තියෙන්නේ. උදේට මිටිකිරි පොඩ්ඩක් හදාගන්න. මිටිකිරි හදද්දි උණුවතුරෙන් හැදුවත් කමක් නැහැ.

රතුළුණු ගෙඩි පහක් හයක් සිහින්ව ලියාගෙන වේලිච්ච මිරිස් කරලක් විතර එකතු කරල අර මිටි කිරි ටිකත් එක්ක කලවම් කරලා බත් එකට දාන්න. මිරිස් නම් ගොඩක් දාන්න අවශ්‍ය නෑ ඒකෙන් කට දැවිල්ල ඇති වෙන්න ඉඩ තියනවා. දාන්න ඕනේ බත්ටික වැහෙන්න ගානට විතරයි. ඊට පස්සේ බත් එක පොඩ්ඩක් රත් කරගන්න අවශ්‍ය පමණට ලුණු දාලා නිවුනාට පස්සේ කන්න කලින් දෙහි බින්දු දෙක තුනක් එකතු කරගන්න.