free stats

මල් කියන්නෙ කාට කාට – ළමයින්ටයි පාට පාට ඒ අපි පුංචි කලේ ඉදලම හරි ආසාවෙන් අහන ගීතයක් ඉතින් ළමයි කියන්නෙ මල් තමයි. පාට සුවඳ එක්ක දෙමාපියන්ගේ මුළු ජීවිත උයනම ලස්සන කරන සුගන්ධවත් කරන මල් තමයි. හැබැයි ඉතින් මල් කියන්නෙ හරිම සියුමැලි, මෘදු, පොඩ්ඩ බැරි වෙද්දී තැලෙන පොඩිවෙන යන්තම් අවුරස්නේ වැදුනත් වියලෙන මැලවෙන ජාතියක්.

අද ලිපිය ලියන්න හේතුව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමාරෝග වාට්ටුවේ වෛද්‍යවරියක් විදිහට කටයුතු කරන කොට මට නිතරම දනින්නට ලැබෙන හරිම අවාසනාවන්ත සිදුවීම් රාශියක් නැවත නැවත සිදුවෙනවා දකින්නට නුවමනා නිසා.

පුංචි දරුවෝ වැඩෙද්දී අලුත් අලුත් දේවල් අත්හදා බලන්නට කැමතීයි. ඔවුන් ලෝකය හඳුනාගන්නේ, අත්දැකීම් තුළින් ඉගෙන ගන්නේ එහෙම. නමුත් ඒ අත්හදා බැලීම් හින්දා මේ මල් වගේ දරුවන් බොහෝ අනපේක්‍ෂිත අනතුරු වලට මුහුණ දෙනවා. ඉතින් වැඩිහිටියෝ විදිහට අපි කරන්න ඕනා ලෝකය දකින්නට උත්සාහ කරන අපේ දරුවගේ අත පය බැඳලා කාමරේකට දාලා දොර අඟුළු දාන එක නෙවේ. ඔහුට නිදහසේ ජීවත් වෙන්නට පුළුවන් ආරක්‍ෂිත පරිසරයක් ගොඩනගා දෙන එක.

පුංචි දරුවන් වැඩි වශයෙන් මුහුණ දෙන අනතුරු කිහිපයක් පිළිබඳ මම අපේ ආදරණීය අම්මලාව දැනුවත් කරන්නම්.

1 ආහාරයට ගන්න බැරි දේ ආහාරයට ගැනීම ඒ කියන්නේ මොනවාද ?

පුංචි දරුවන්ට වසවිස ආහාර පාන වෙන්කර හඳුනාගන්නට අපට වගේ අවබෝධයක් නෑ. ගෙදර මේසය උඩ තියෙන පැරසිටමෝල් පෙති, අත්තම්මාගේ සීනි පෙති, තාත්තාගේ ප්‍රෙෂර් පෙති මේ වගේ බෙහෙත් වර්ග බීපු කුඩා දරුවෝ අපේ වාට්ටුවේ ඕනෑ තරම් ප්‍රතිකාර ලබලා තියෙනවා.

ඒ විතරක් නෙවේ ගොයම් තෙල්, මල් පොහොර, කෘමිනාශක, මදුරු කොයිල්, රෙදි සෝදන දියර, භූමිතෙල්, ඩීසල්, බැටි්‍ර ඇසිඩ්, තිනර් බීපු අසාධ්‍ය වුණු, දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබපු, ජීවිතය පවා අහිමි වුණු අහිංසක දරු පැටව් මම දැකලා තියෙනවා.

ඒ වගේම ඔළිඳ, කනේරු ගෙඩි, විෂ ශාක පත්‍ර මුල් ආහාරයට ගන්නත් කුඩා දරුවෝ පෙළබෙනවා. හැකරුල්ලන් කුරුමිණියන් හපා ප්‍රතිකාර සඳහා යොමු වුණු දරුවනුත් බොහෝමයි.

එහෙම වෙන එකේ වරද මේ හය හතර නොතේරෙන දරුවන්ගේ නෙවෙයි. ඔවුන්ට ජීවත් වන්නට සුදුසු වටපිටාවක් තනා නුදුන්, ඔවුන් ගැටෙන පරිසරය ගැන අවධානය නුදුන් වැඩිහිටියන්ගේයි. විශේෂයෙන්ම බෙහෙත් කෘමිනාශක යනාදිය වෙනම ගබඩාවක අඟුළු දමා කුඩා දරුවන්ගෙන් වෙන්කර තැබීම ඉතා වැදගත්..

2 තියුණු ආයුධ, පුපුරණ ද්‍රව්‍ය සහ උණුසුම් ජලය / වාෂ්ප

පිහි කැති උදලු, පොල් උල්, යකඩ මිරිස් ගල්, දරුවන්ගේ අත ගැටෙන දුරින් තැබීම මහා අනතුරකට අත වැනීමක්. වැඩිහිටියන් තියුණු ආම්පන්න භාවිතා කරන අයුරු නිරීක්‍ෂණය කරන දරුවන් ඒවා අනුකරණය කරන්නට ගොස් ඇඟිලි පුරුක් අහිමි වුණු දරුණු තුවාල සිදුකරගන්න අවස්ථා බහුලයි. මේස රෙද්දේ එල්ලී ඔන්චිලි පදින්නට ගොස් ඇද වැටුණු, බුබුළු දමන උණුවතුර බඳුනක් හිස මත හලාගත් අහිංසක දරු පැටවුන් භයානක පිළිස්සුම් තුවාල සහිතව වේදනා විදින හැටි මා දැකලා තියෙනවා.

එසේම ගිණිකෙලි සෙල්ලම්, රතිඤ්ඤා වලින් ලබන තාවකාලික සතුට සදාකාලික ආබාධිත දරුවන් ඉතිරි කරන අයුරුද මා දැක තියෙනවා. තියුණු ආයුධ පුපුරන ද්‍රව්‍ය උණුසුම් ද්‍රව්‍ය කුඩා දරුවන්ට ළඟා විය නොහැකි තැන්වල තැබීමට වැඩිහිටියන් වග බලා ගත යුතුයි.

3 උස් ස්ථාන අනාරක්‍ෂිත මාර්ග, අනාරක්‍ෂිත ළිං, වැව්, කාණු

නාගරික පරිසර වල වැඩෙන බොහෝ දරුවන්ගේ නිවහන මහල් නිවාසයි. ඉතින් විවෘත වූ ජනේල කොරිඩෝව පඩිපෙලවල් ඔස්සේ පෙරළී ගොස් විවිධ අනතුරු වලට මුහුණ දුන් හන්දි බිඳී ගිය මොළයට පවා හානි වූ අහිංසක දරු පැටව් ඕනෑතරම් මෙහි ප්‍රථිකාර ලබනවා.

පාට පාට බෝලයක් පස්සේ මහා මාර්ගයට දිව ගොස් සිදු වූ රිය අනතුරු, අනාරක්‍ෂිත ළිං, නිවෙස් අසල පිහිටි වැවි කාණු තුළ ගිලී කුඩා දරුවන් මාස ගණන් සිහිසුන්ව සිටි අවස්ථා, මියගිය අවස්ථා පවා මා දැක තියෙනවා. ඉතින් එවන් පරිසර වල ජීවත් වන ඔබ ඔබේ දරුවා ගැන නිරන්තරයෙන් අවධානය දීමත් අනාරක්‍ෂිත ළිං කාණු ආදිය ආවරණය කරමින් දොර ජනෙල් අඟුළු ලෑමත් වැඩිහිටියන්ගේ වගකීම්.

4 විදුලි උපකරණ අනාරක්‍ෂිත විදුලි රැහැන

කුඩා දරුවන් විදුලි පේනු වලට ඇඟිලි ඔබා, එළිමහනේ වූ විදුලිය ගෙන යන වයර් අල්ලා බොහෝ අනතුරු වනු මා දැක තියෙනවා. විදුලියෙන් ක්‍ෂණිකව ඇතිවන කම්පනයෙන් දරුවකුගේ හෘද වස්තුව පවා අක්‍රිය විය හැකි නිසා විදුලි පරිපථයේ අවාරණය කර දරුවන්ට විදුලි උපකරණ භාවිතා කිරීමට නොදී ඔවුන් රැක ගැනීම වැඩිහිටියන්ගේ වගකීමක්.

5 සර්ප දෂ්ඨන, බල්ලන් පූසන්, මුගටියන්, කැලෑ සතුන් සපා කෑම, යකඩ ඇණ කම්බි කූරු ඇනීම.

මා සේවය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ සර්ප දශ්ඨන ඉතා සුලබයි. ඔබේ දරුවා බිම පැදුරක නිදි කරවන්නේ නම් ඔහු කැලෑ වල සෙල්ලම් කරන්නේ නම්, බිම ඇති ගඩොල් කොළ රොඩු සමඟ සෙල්ලම් කරන්නේ නම් ඔහු/ඇය ඉන්නේ සර්ප දෂ්ඨන වලට ලක් වීමේ බොහෝ අවධානමක ඇතැම් විට සර්පයකු දෂ්ඨ කළ පසු (උදා – කරවලා) දරුවාට කිසිම වේදනාවක් නොමැතිව දෂ්ඨ කළ ලකුණක්වත් නැතිව විෂ ශරීරගත වෙලා තිබෙන්නට පුළුවන්. අධික බඩේ කැක්කුම වමනය නිදිමත ගතිය වැනි රෝග ලක්‍ෂණ හදිස්සියේ ඇති වුවහොත් ඒ සර්ප දෂ්ඨනයක් වන්නට පුළුවන්. ඉතින් ගෙදර වටපිටාව හෙලි පෙහෙලි කොට තබා ගැනීම කුඩා රුවන් රාත්‍රී කාලෙයේ කැලෑ පෙදෙස්වලට යාමෙන් වැළැක්වීම . හැකි සෑම විටකම දරුවන් උස් ස්ථානයක නිදි කරවීම සර්ප දෂ්ඨන වලක්වා ගැනීමට ඉතාමත් වැදගත්.

එමෙන්ම ජලභීතිකාව සඳහා සූදානම් වීම වැදගත්.

නිසි ආකාරව එන්නත් නොකළ බල්ලන්, පූසන්, කැලෑ සතුන් ඕනෑම ආකාරයකින් දරුවා සපා කෑවොත්, සීරුවහොත්, දරුවාගේ තුවාලයක් ලෙවකෑවොත් ඔබේ දරුවා ජල භීතිකා රෝගය වැලදීමේ අවධානමකට ලක් වෙනවා. ජලභීතිකාව යනු වැළඳුනහොත් මරණ ප්‍රතිශතය සියයට සීයක් වූ දරුණු ගණයේ වෛරසයක් නිසා එවැනි අවධානම් අවස්ථාවකදී තුවාලය වහාම සබන් යොදා ගලා යන පිරිසිදු ජලයෙන් සෝදා හැර හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලට ගොස් එන්නත් කරවා ගැනීම ඉතා වැදගත්.

එමෙන්ම යකඩ ඇණ කම්බිකූරු යනාදියෙන් දරුවා තුවාල වුවහොත් පිටගැස්ම රෝගය වැළදීමේ අවධානමක් ඇති නිසා එන්නත් කරවා ගැනීම වැදගත්. අවසාන පිටගැස්ම එන්නත පසුගිය අවුරුදු පහ ඇතුළත විද නැතිනම් එයද ලබා ගැනීම දරුවා මාරාන්තික පිටගැස්ම රෝගයෙන් ගලවා ගැනීමට උපකාරී වනු ඇති.

ඉතින් මා එලෙස සටහන් කලේ එදිනෙදා ජීවිතයේ ඔබේ දරුවා මුහුණදිය හැකි අනතුරු සිය ගණනකින් සුලබව සහ වලක්වා ගත හැකි අනතුරු කිහිපයක්. මීට අමතරව අපි එකිනෙකා ජීවත් වන විවිධ පරිසර තත්ත්ව හමුවේ බොහෝ අනතුරු ඔබේ දරුවා වටා පිරී තිබෙන්නට පුළුවන්. ආදරණීය අම්මේ තාත්තේ අපේ අහිංසක දරු පැටවුන් වැඩී දිනෙක තමන්වම රැක ගන්නට හැකිවන තුරු ඔවුන්ව තම දෑස සේ මහත් වූ සෙනෙහසින් අවධානයෙන් සහ ආදරයෙන් රැක බලා ගැනීමට වග වෙමු කැපවෙමු.