free stats

දසමාසයක් කුස දරාගෙන මුණ දකිනකල් ඇගිලි ගැන ගැන හිටියත් දරු පැටියා අතට ගත්ත ගමන් හැම අම්මා කෙනෙකුගෙම හිතේ පුංචි බයක් ඇතිවෙනවා. අම්මලාට හිතෙනවා මං මෙයාව බලා ගන්නේ මොනවද මං මගේ දරුවා වෙනුවෙන් කරන්න ඕන, කොහොමද මං මගේ පුංචි පැටියව ආරක්ෂා කරන්නේ කියලා. ඔහොම හිතලා හරිම දේ හොයාගන්න අපේ අම්මලා තාත්තලා වෙහෙසෙනවා.
ඉතින් ඔන්න ඒ නිසා අපි හිතුවා අන්න ඒ මුලික කරුණු පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඕන කියලා.

බබා ඉපදුනාට පස්සේ මොනවත් ප්‍රශ්නයක් නැත්නම් දින දෙක තුනක් යනකොට රෝහලෙන් ගෙදර එනවා නේ. ඊට පස්සේ තමයි හැමදේම දන්න කෙනෙකුගෙන් අහලා කරන්න වෙන්නේ. බලන්න මේ කාරණා හරියටම දැනගෙන ඉන්නවා නම් එය ඔබට වගේම ගෙදර අයටත් මොනතරම් ප්‍රයෝනවත් ද කියලා.

පුංචි බබාගේ ප්‍රධෘනම රාජකාරිය වෙන්නේ අම්මාගෙන් කිරි උරලා බොන එක. එයා බොහෝම ක්‍රියාශිලීව කිරි බොන හැටි බලන්න ලස්සනයි.

  • මෙහෙම හොඳට කිරි උරා බීපු බබා හිටි හැටියේම කිරි බීම ප්‍රතික්ෂේප කලා නම්, කිරි බීමට මැලිකමක් දක්වනවා නම් කිරි බොන්නෙම නැත්නම් ඒක ප්‍රශ්නයක්. අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
  • දරුවෙක් හැඬීම සාමාන්‍ය දෙයක්. එයාගේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය හැඩීම. මේ හැඩීමේ හේතුව හඳුනාගැනීමේ අපුරු හැකියාවක් අම්මලාට තියෙනවා. ඒත් බබා අසාමාන්‍ය ලෙස හැඬීමක් හෝ කෙදිරි ගෑමක් එහෙමත් නැත්නම් හුස්ම ගැනීමේ වේගය අඩුවීම හෝ වැඩි වීමක් තියෙනවා නම් ඒක අවධානම් තත්ත්වයක්.
  • අලුත උපන් බබා හරි ක්‍රියාශිලී කෙනෙක්. ඒත් හිටි හැටියෙම දරුවා අප්‍රාණිකව ඉන්නවා නම් අත පය අසාමාන්‍ය ලෙස ගැස්සිමක් හෝ දරදඬු වීමක් වෙනවා නම් අපි ඉක්මන් පියවර ගන්න ඕන.
  • ගෙදරදි බබා ගේ උණ බලන්න උණ කටුවක් භාවිතා කරන එක හරිම වැදගත්. ඒක හරිම ආරක්ෂිතයි. ශරිර උශ්ණත්වය අංශක 38 ට වැඩි හෝ ෆැරන්හයිටි අංශක 100 ට වැඩි නම් එයා ඉන්නේ අවධානම් තත්ත්වයක.
  • අපේ පුංචි බබාගේ ඇස් හරි දීප්තිමත්. සමේ වර්ණ රෝස පාටට හුරුයි. ඒත් අපේ බබා නිල් පාට වීමක් සුදුමැලි වීමක් හෝ කහ පාට වීමක් තියෙනවා නම් ඒ තත්ත්වය අවධානම්.
  • මව් කුස තුළ උණුසුම්ව හිටපු අපේ දරුවා බාහිර පරිසරයෙ උණුසුම නුහුරුයි. ඒ නිසා තොප්පි මේස් දාලා හොදට ඔතලා එයාලව සිතලෙන් ආරක්ෂා කරගන්න ඕන. එහෙම උණුසුම් කරලා තියෙද්දි අත පය සීතල වෙනවා නම් ඒක අවධානම්.
  • බබාගේ හම හරිම සියුම්. ඇගේ රතුපාට බිබිලි මතුවෙන ඒකට නම් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඒත් කහපාට සැරව බිබිලි මතුවෙලා තියෙනවා නම් ඒක ආසාධනයක් වෙන්න පුලුවන්.
  • බබාගේ පෙකනිය කියන්නේ අම්මලාට ප්‍රශ්න පත්තරයක්. පෙකනියට සාත්තු කරන හැටි ගෙදර හැමෝම දැනගෙන ඉන්න ඕන. එයාගේ පෙකනිය හැම වෙලාවෙම වියලිව විවෘතව පිරිසිදුව තියාගන්න ඕන. බබාලගේ පෙකනිවැල දවස් 5-6 ක් යද්දි ගැලවිලා වැටෙනවා. පෙකණියට කිසිම බෙහෙතක් දාන්නේ නැහැ. උතුරවලා නිවාගත්ත වතුරෙන් බබාව පිරිසිදු කරලා පෙකනිය තෙත මාත්තු කරලා වියලිව තියාගන්න ඕන. කෝදුරුවන්ගෙන් මැස්සන්ගෙන් ආරක්ෂා කරලා තියන එක හරිම වැදගත්.

පෙකනියේ දුර්ගන්ධයක් එනවා නම් ඒ වටා ඉදිමීමක් රතු වීමක් සැරව ගැලීමක් තියෙනවා නම් ඒක ඉක්මනින් තීරණ ගතයුතු අවස්ථාවක්. මේ විදියට කිව්ව ඕනම අවස්ථාවකදි දරුවා ලඟම පිහිටි රෝහල වෙත ඉක්මනින් රැගෙන යා යුතුයි. මේ වගේ වෙලාවට වෛද්‍ය උපදෙස් ගන්නවා වගේම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දැනුම් දීමත් ඉතා වැදගත් වෙනවා.

නිලුක්ෂි තිලකසිරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි.
ශික්ෂණ රෝහල
අනුරාධපුර.