free stats

ගර්භණී සමය කියන්නේ සුවිශේෂි කාල පරිච්ඡේදයක්. ඇත්තටම ඔබ දැන් එක්කෙනෙක් නෙවෙයි. තවත් ජීවිතයක් පිළිබඳ වගකීම ඔබට තිබෙනවා. මේ කාලයේ දී ඔබ ගන්නා ආහාර වේලේ සිට වතුර උගුරේ සිට ඔබ ජිවත්වන ආකාරය ඇතුළු සියල්ල කුස තුළ සිටින පැටියාටත් බලපානවා. ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් වඩාත් සැලකිලිමත් වියයුත්තේ ඒ නිසයි. ගර්භණි කාලයේ ඇතිවන ප්‍රතිශක්තිය දුර්වල විම හා හෝර්මෝන වෙනස්වීම හේතුවෙන් ඇතිවන දන්ත ව්‍යසනය පිළිබඳව ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේත් එයින් පැටියාට සිදුවන හානිය ඔබ සිතනවාටත් වඩා බරපතල නිසායි. පැටියාගේ අනාගත නිරෝගීමත් බවට ඔබ මේ මොහොතේ ගන්නා තීරණ ඉතාමත් වැදගත්. විවාහයට පෙර, දරුවෙක් පිළිබඳ සැලසුම් කිරීමට පෙර සහ සැලසුම් කිරීමෙන් පසුව යන අවස්ථා තුනේදීම දන්ත වෛද්‍යවරයෙක් වෙත ගොස් දන්ත සෞඛ්‍ය පිළිබඳව නිසි පරීක්‍ෂාවක් කරගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසාම ආදරණිය අම්මාවරුන්ගේ දන්ත සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙමින් මෙවර ආදරණීය අම්මි සඟරාව තූළින් දන්ත විශේෂඥ වෛද්‍ය අසේල විජේසුන්දර මහතා සමඟ කළ සාකච්ඡාව ඇසුරින් සකස් කළ මේ ලිපියත් හොඳින් කියවන්න.

  1. ගර්භණී කාලයට පමණක් ආවේණික දන්ත රෝග තිබෙනවාද?

මේ කාලයේ දන්ත රෝග ඇතිවීමේ සම්භාවිතාව ඉතාම ඉහලයි. එයට ප්‍රධාන හේතු කිහිපයක්ම තිබෙනවා. එයින් හෝර්මෝන වෙනස් වීම ප්‍රධානයි. සමහර වෙලාවට දත් මදින්න බැහැ. වමනයට එනවා. ලේ වගේ ගතියක් මතුවෙනවා. මෙවැනි හේතු නිසා මුඛය පිරිසුදු කරන්න අමාරුයි. අන්න ඒ හේතුව නිසා ඇතිවෙන මුඛ රෝග තිබෙනවා. විදුරුමස් රෝග, දත් දිරායාම, වමනය හේතුවෙන් ශ්‍රාවය වන අම්ල නිසා ඇතිවන දත් දිරායාම, විදුරුමස් වල ගෙඩි මතුවීම බහුලව සිදුවෙනවා. ඒ වගේම ගර්භණී සමයේ දී පමණක් මතුවන දියවැඩියාව නිසාත් දත්වලට හානි සිදුවෙන්න පුළුවන්. මේ කාලයේදී ප්‍රතිශක්තිය අවම වීම නිසා දත්වල ඇතිවන අධික වේදනාව, දත් සෙලවීම වැනි තත්ත්වයන්ද ඇතිවනවා.

  1. මුල් මාස තුනේ ඇතිවන වමනය නිසා දත් මැදීම අපහසුයි. මේ සඳහා යම් පිළියමක් තිබෙනවාද?

වමනය ඇතිවෙන්නේ උදෑසනට නිසා ටිකක් දවල් වෙලා දත් මැදීම වඩාත් සුදුසුයි. එයින් වමනය වලක්වාගන්න පුළුවන්. ඒ වගේම මින්ට් රසයෙන් යුතු දත් පිරිසුදු කරන දියර (මවුත් වොෂ්) මඟින් වමනය ඇතිවීම වළක්වනවා. විටමින් සී පෙත්තක් කටට දමාගෙන සිටීමත් වඩාත් සුදුසුයි. නිතර වමනය ඇතිවන මවක් නම් වමනය කිරීමෙන් අනතුරුව කට සෝදාගැනීමට මතක තබාගත යුතුයි. නැත්නම් ආම්ලික ගතිය නිසා දත් දිරායාම සිදුවනවා.

  1. නිතර මුඛය පිරිසුදුව තබාගන්න දිනකට දෙවරක් දත් මදින මවකට දන්ත රෝගවලින් ආරක්‍ෂා වෙන්න පුළුවන්ද?

එහෙම හිතන්න අමාරුයි. අපි මොනතරම් පරිස්සම් වුණත් සමහර විට නොදන්න මුඛ රෝග තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම දිරා ගිය කැඩුණු දත් කොටස් ගර්භණී සමයේ දී අධික වේදනාවට හේතු වෙනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අපිට තීරණය කරන්න බැහැ. ඒ සඳහා දන්ත වෛද්‍ය උපදෙස් උවමනා වෙනවා. සමහර අවස්ථාවලදී අපි නොහිතන විදියේ දන්ත රෝග වෛද්‍යවරයා හඳුනාගන්නවා. මේ නිසා මාස හයකට වරක් සහ විශේෂයෙන්ම ගර්භණී වීමට පෙර දත් පරීක්‍ෂාවක් සිදුකරගැනීම ඉතාම වැදගත් වනවා.

  1. ගර්භණී කාන්තාවක් දන්ත රෝග ප්‍රතිකාර සඳහා යොමුවිය යුත්තේ මොනවිදියටද?

ගර්භණී කාන්තාවකට සෞඛ්‍්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් පෝරමයක් ලබා දෙනවා. එහි දන්ත වෛද්‍ය ගැටළු සම්බන්ධ කොටස සම්පූර්ණ කිරීම සඳහා දන්ත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. ඒ වගේම රජයේ පිළිගත් වෛද්‍ය සභාවේ ලියාපදිංචි දන්ත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත පමණක් යාමට මව්වරුන් සැලකිලිමත් වියයුතුයි. සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට මේ සඳහා ප්‍රතිකාර කරන්න අපහසුයි. ඒ සඳහා දන්ත වෛද්‍ය දැනුම සහිත වෛද්‍යවරයෙක් වඩාත් සුදුසු වෙනවා.

  1. “දත් සුද්ධ කිරීම” ගර්භණී සමයේ සුදුසු ප්‍රතිකාරයක්ද?

දත් සුද්ධ කිරීම මඟින් සිදුවෙන්නේ දත් සහ විදුරු මස් කොටස අතර ඉඩ ප්‍රමාණයේ ඇතිවන මැලියම් ඉවත් කිරීමයි. ඕනම කෙනෙකුට තමන්ගේ දෙතොල් ඈත් කරලා බැලුවොත් එවැනි කහ පැහැති මැලියම් බැඳිලා තියෙනවා බලාගන්න පුළුවන්. මේ තත්ත්වය ගර්භණී සමයේ දී වැඩිවෙනවා. ඒ නිසා දත් සුද්ධ කිරිම අනිවාර්යයෙන්ම කළ යුතුයි. සමහර අවස්ථාවලදී දත් සුද්ධ කිරීමෙන් පසුව දත් බුරුල් වෙනවා. දත් බැදිලා තිබිලා තියෙන්නේ මැලියම්වලින් නිසයි එහෙම වෙන්නේ. හුඟක් මව්වරු මේ නිසා දත් සුද්ධ කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් දත් සුද්ධ කිරිම අනිවාර්යයෙන්ම කළ යුතු කාර්යයක්. නැත්නම් මැලියම් නිසා විශබීජ ක්‍රියාකාරිත්වය වැඩි වීමෙන් විදුරුමස් ආශ්‍රිත රෝග මතුවනවා.

  1. ගර්භණී සමයේ සිදුවන “මුඛ සෞඛ්‍ය දුර්වල වීම” දරු ගැබට බලපාන්නේ කොහොමද?

මවගේ මුඛ සෞඛ්‍ය හුඟක් දුර්වල නම් කටේ විශබීජ එකතු වෙලා ඒවා බඩට ගිහින් පෙකණිවැල හරහා බැක්ටීරියා ලෙස ඇතුලට යනවා. මේ නිසා පෙකණිවැල අවහිර වෙලා දරුවාට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවෙන්න පුළුවන්. එය බර අඩු දරුවන් බිහිවීමට හේතුවක්. අඩුමාසයෙන් දරුවන් ඉපදෙන්නත් මෙය හේතුවක්. ඒ වගේම දරුවාට හෘද රෝග ඇතිවිමටත් මේ තත්ත්වය බලපානවා.

  1. උපතින් පසු මවගේ මුඛ රෝග දරුවාට ආසාදනය වෙනවාද?

අම්මා නිතරම දරුවා සිපගන්න නිසා දරුවාට මේ රෝග බෝ වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. මේ නිසාම දත් එන කාලෙදි දරුවාට එන්නේ නරක් වුණු දත් විතරයි. ඒ වගේම අම්මා කන දෙයක් එයා බාගෙට කාලා දරුවාට කවන විටත් විශබීජ හුවමාරු වෙනවා. දරුවාට පොවන තේ එකට නිවන්න කියලා කටින් පිබින විටත් විශබීජ හුවමාරු වෙනවා. දරුවාට කෑම කවන විටත් අත් හොඳින් සෝදලා පිරිසුදු රෙදි කෑල්ලකින් සේදුවාට පස්සේ කෑම කවන්න උවමනායි. නැත්නම් අතේ තිබෙන විශබීජ නිසාත් දරුවාට දන්ත රෝග ඇතිවෙනවා.

  1. සමහර මව්වරුන්ට මුඛයේ කොටසක් සැපීමේ රෝගයක් තිබෙනවා. ඒ තත්ත්වය
    මොනවගේද?

මේ තත්ත්වය ඇතිවෙන්නේ මානසික ආතතිය නිසා වෙන්නත් පුළුවන්. හිතලා හපනවා නෙවෙයි. හැපෙනවා වෙන්නත් පුළුවන්. මේ තත්ත්වය ආතතිය නිසා එන එකක් නම් ඒ සඳහා ප්‍රතිකාර ගත යුතුයි. ඒ වගේ සිරුර ඇතුලෙන් එන වෙනත් රෝගයක් නම් ඒවාටත් පිළියම් තියෙනවා. ගර්භණී සමයේදී වැඩියෙන් කොළ වර්ග, එළවළු, පළතුරු ආහාරයට ගැනීම වඩාත් හොඳයි. එයින් මෙවැනි තත්ත්වයන් සමනය කරගන්න පුළුවන්. ඒ වගේ මේ විදියට මුඛය හැපෙන්න කැඩුණු දත් කෑලි හේතුවන අවස්ථා තියෙනවා. එවැනි තුවාල සති දෙකින් පමණ සුව වෙනවා. නමුත් එහෙම නොවෙනවා නම් තුවාලය පරීක්‍ෂා කරවාගෙන ප්‍රතිකාර ලබාගත යුතුයි.

  1. දන්ත රෝගවලට නිවසේදී ප්‍රතිකාර කිරීම සුදුසු ද?

නිවසේදී කරන ප්‍රතිකාර වලදී බොහෝ විට යොදා ගන්නේ කරාබු නැටි වගේ දේවල්. මෙවැනි දේශීය පැලෑටි මඟින් නිපදවන ඖෂධ බටහිර වෛද්‍ය විද්‍යාවෙදිත් භාවිත වෙනවා. නමුත් නිවසේදී ප්‍රතිකාර කිරිම අනුමත කරන්න බැහැ. රාත්‍රියේ දී වගේ දැඩි වේදනාවක් දැනුනොත් වෛද්‍ය උපදෙස් ගන්නා තුරු වේදනාව සමනය කරගන්න පැරසිටමෝල් භාවිතා කලාට කමක් නැහැ. නමුත් සමහර අය වේදනාව දැනෙන දතට ඇස්ප්‍රින් තියනවා. එයින් මුඛ ආස්තරනයට දැඩි හානි සිදුවෙනවා. අනෙක් අතට මෙවැනි ක්‍ෂණික දත් රෝග එන්නේ ඇයි කියලා අපිට හරියටම කියන්න බැහැ. ඒ නිසා වෛද්‍ය උපදෙස් සඳහා යොමුවීම වඩාත් වැදගත් වෙනවා.

  1. ගර්භණි වීමට පෙර දත් පරීක්‍ෂා කරවා ගැනීමේ වාසි මොනවාද?

ගර්භණි සමයේ දන්ත රෝගවලට ප්‍රතිකාර කිරීම ඉතාම අවධානම්. එයින් දරු ගැබට පවා හානි සිදුවෙනවා. විශේෂයෙන්ම දරු ගැබේ මුල්ම මාස තුනක කාලයේ දී තමයි අත් පා සහ මොළයේ වර්ධනය සිදුවෙන්නේ. වේදනා නාශක හේතුවෙන් දරු කලලයේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. නමුත් මවට වැඩි හානියක් සිදුවෙනවා නම් මවගේ ආරක්‍ෂාව වෙනුවෙන් අවධානමක් ගන්නට සිදුවෙනවා. මේ නිසා වඩාත්ම සුදුසු වෙන්නේ පිළිසිඳ ගැනීම සැලසුම් කිරීමටත් පෙර සිටම දත් පරීක්‍ෂා කරගැනීමට යොමු වීමයි. සැත්කමක් සිදුකලොත් මවගේ ප්‍රතිශක්තිය දුර්වල නිසා තුවාලය සුව නොවෙන්නත් ඉඩ තිබෙනවා. එවැනි අවස්ථාවකදී මවට සැර ඖෂධ ලබා දෙන්න සිදුවෙනවා. එය දරු ගැබට හානිකරයි. ඒ නිසා ගර්භණී වීමට ප්‍රථම මුඛ්‍ය පරීක්‍ෂා කරවාගෙන දත් පිරවීම, ගැලවීම වැනි කාර්යයන් කරගැනීම මඟින් ඔබට ඉහත ගැටළුවලින් මිදිලා නිරෝගි දරු සම්පතක් ලබාගන්න පුළුවන්.

දන්ත විශේෂඥ වෛද්‍ය
අසේල විජේසුන්දර මහතා.

සටහන චාපා හංසිනි ආටිගල