අම්මලා දරුවන් හදන්නට බොහෝ මහන්සි වෙති. දුක් පීඩා විඳිති. බුද්ධිමත්ව දරුවාගේ ආකල්ප, ක්‍රියාකාරකම් හසුරුවති. එහෙත් දරුවන්ට හැමදේම ඉක්මනට උගන්වන්න තතනන අම්මලා දරුවන් හදන්නට යන්නේ දඬුවම් දීමෙනි. බැණ වැදිමෙනි. දරුවාට අපහාස වන අයුරින් ඔහුගේ වරද ප්‍රසිද්ධියට පත්කර ලැජ්ජාවට පත් කිරීමෙනි. එහෙත් ඉවසිලිමත් අම්මා දරුවන් දෙස බලන්නේ දරුවාගේ ඇසිනි. දරුවාගේ රුචි අරුචි කම් අනුව යමිනි. දරුවාටම දරුවා තේරුම් ගන්නට නිදහස සහ අවස්ථාව දෙමිනි.
මේ අම්මාගෙ උපක්‍රමශීලී බව වටහා ගන්න බලන්න. සමහර විට ඔබත් මේ වගේ
විය හැකියි.
පුංචි පුතාල දෙන්නෙක් ඉන්න ගෙදරක අම්ම කෙනෙක් දවසක් පුතාලගේ කාමරය ළඟින් යද්දී හරිම මිහිරි සංගීත හඬක් ඇහෙනවා. ඇය හිමීන් පුතාගේ කාමරයට කර පොවලා බැලුවා. පුතා හිටියේ ඇයට පිටුපාලා ඇය හිමින් පුතා ළඟට ගිහින් එබී බැලුවම දැක්කේ ඔහු අතේ කුමක්දෝ සෙල්ලම් බඩුවක් තියනවා. ඒත් ඇයට මතකයක් නැහැ ඒ වගේ එකක් අරන් දුන්න බවක්. අම්මව දැකපු දරුවා ගැස්සිලා ගියා. ඔහු අතේ තියන එක හංගන්න වගේ ගිහින් ආපහු අම්මට පෙන්නුවා. හරිම ලස්සන ඉබ්බෙක්. ඒත් ඒක පැන්සල් උල් කරන කටර් එකක්. වයින් කරන්න පුළුවන් . වයින් කලාම ඉබ්බගේ කට ඇරෙනවා වැහෙනවා ඔළුව වනනවා සංගීතයකුත් පිටවෙනවා. හරියට ගීතය කියන්නේ ඉබ්බා වගේ.
කොහෙන්ද පුතා මේක“
මේක මට හම්බු උනා.“
ඒ කොහෙන්ද?“
නිවේන් මට දුන්නා“
අම්මාට සැකයක් ඇති උනා. එය පුතාගේ වයසේ දරුවකු තවත් දරුවකුට දෙයි කියා හිතන්න බැරි තරම් හුරුබුහුටි භාණ්ඩයක්. මුලදී දුන්නා කිව්වත් පස්සේ ඔහු කිව්වා ඔහු ඒකට ආසා වෙලා නිවේන්ට නොකියා ඒක ගත්තා කියලා. ආපහු ඒක දෙන්න ඔහු කැමති උනේම නැහැ.
මං මේකට ආසයි අම්මේ“
මේ වගේ ලස්සන කටර් එකක් මට නැහැ. මියුසික් එකකුත් යනවා“
මේ ඉබ්බා හරි ලස්සනයි. මට මේක ඕනමයි“
මෙහෙම කිය කියා පුතා මේක අයිතිකාරට දෙන්න බැහැම කියනවා.
අනේ පුතේ දැන් නිවේන් අඬනවා ඇති. එයාගේ අම්මා බණිනවා ඇති. පව්නේ ඔයා නිසා එයා දුක්වනවා බැණූම් අහනවා. එයත් ඕකට ආස ඇති. අනික ඕක එයාගෙනේ “
මේ මොනවා කිව්වත් දරුවා ඒක දෙන්න කැමති උනේ නැහැ. අන්තිමට අම්මා කිව්වා
හා එහෙනම් පුතා ඕක තියා ගන්නකො“ කියලා.
දවස් දෙක තුනකට විතර පස්සේ දවසක ගේ ඇතුලේ ලොකු ගාල ගෝට්ටියක්. පුංචි පුතා කෑ ගහනවා.
මොකද පුතා“
අම්මා මගෙ බයිසිකලේ හයි කරලා තිබ්බ සීනුව නැතිවෙලා“
ඒ කොහොමද?“
දන්නේ නැහැ මං හැමතැනම හෙව්වා“
පුතාගේ මූණ හරිම ඇඩුම්බරයි. අම්මා ඔහුව තව තවත් දුකට පත්කලා.
අනේ හරිම ලස්සන බෙල් එක. ඔයාට මාමා ගෙනත් දුන්න එකනේ. අපරාදේ කවුරු හරි අරගෙන වෙන්න ඇති“
අනේ අම්මේ ඒක මගේනේ. කවුරුත් ඒක ගන්නේ ඇයි?“ දැන් පුතාගේ ඇස් වලින් කඳුළු පෙරෙනවා
ඒක තමයි .අනේ මං හරි ආසයි ඒ බෙල් එකේ සද්දෙට. අර පාට පාට ලයිට් එළියකුත් වැටෙනවානේ කවුරු හරි ඒකට ආසා වෙලා අරගන්න ඇති. දැන් ඉතිං පුතා අඩන්න එපා. මොනවා කරන්නද?“
අම්මා පුංචි හිත තවත් රිද්දනවා.
අම්මා හරි නරකයි. මගේ බෙල් එක නැතිවෙලා. අම්මට දුක නැහැ. අම්මා කියනවා කමක් නැහැලු. මට ඒක ඕනමයි . ඒක මගේ. “
පුංචි පුතා අඬ අඬ පෙරළෙනවා බිම.
අම්මා නිහඬවම හිටියා. දරුවා ටික වේලාවක් ඇඬුවා. හිමින් හිමින් අම්මා ළඟට කිට්ටු උනා.
පුතාට දුකද?“ පුතා හිමින් ඔළුව වනනවා. තාමත් කඳුළු බේරෙනවා.
ඒක ඔයාගෙමයි නේද? වෙන කෙනෙක් ඒක ගන්න නරකයි නේද?“
පුතා ආපහු අඬන්න වගේ
ඒක ආපහු ලැබුණොත් ඔයාට සතුටුද? දරුවාගේ මුහුණට එළීයක් වැටුණා. “ඔව්“ හිස වනමින් අම්මාගේ උරහිස බදා ගත්තා. අම්මා ඔහුව උකුළට අරගත්තා.
පුතා එදා නිවේන්ගේ ඉබ්බා අරන් ආවාම නිවේනුත් ඔය වගේම අඬන්න ඇති නේද පුතේ. එයත් එයාගේ ලස්සන ඉබ්බට ආදරෙන් ඉන්න ඇතිනේ. එදා ඔයා නිවේන්ව ගොඬක් ඇඬෙව්වා නේද?“ දරුවා සද්ද නැහැ.
ඔයාගේ දෙයක් නැති උනාම ඔයාට දුක හිතුන වගේ තමා පුතේ අනිත් අයටත් එයාලගේ දේ නැති උනාම දුක හිතෙන්නේ. හැමෝම එයාලගේ දේවල්වලට ආදරෙයි. අනිත් අය කවුරුත් ඒවා හොරකම් කරනවාට කැමති නැහැ. ඔයත් කැමති නැහැනේ “
දරුවා කිසිවක්ම කිව්වේ නැහැ. මහා ගාලගෝටිය එකපාරටම නැතිවෙලා ගිහින් ගෙදරම නිහඬතාවයක ගිලීගියා. අම්මා අම්මාගේ වැඩවලට යොමු උනා. පැය දෙක තුනකට පස්සේ පුංචි පුතා අම්මාගෙ පිටි පස්සෙන් ඇවිත් අම්මව බදා ගත්තා.
ඇයි පුතේ“
අම්මා මම මේක නිවේන්ට දෙනවා“
ඔයා ඕක නිවේන්ට දෙනවා? (අම්මා පුදුමය හඟවයි) ඇයි ඒ මේක හරි ලස්සනයි. මේකට ඔයා කැමතියිනේ“
ඒ උනාට අම්මේ මේක මගේ නෙමෙයිනේ“
ඒ උනාට මේ වගේ එකක් ඔයාට නැහැනේ“
කමක් නැහැ මං මේක නිවේන්ට දීලා ආස උනාම ටිකක් ඉල්ල ගන්නවා“
ඔය ඇත්තමද?“
ඔව් අම්මේ මං මේකට හරිම ආසයි. ඒත් මේක නිවේන්ගෙනෙ. එයා හුඟක් අඩන්න ඇති. මං ආපහු දුන්නම එයාට සතුටු හිතෙයි“
හොඳයි පුතා අපි තාත්තා ආවාම නිවේන්ලගේ ගෙදරටම ගිහින් මේක දෙමු. ඔයා ගොඩක් හොඳ පුතෙක්. ඔයාට තේරුණා ආසා කරන දෙයක් නැති උනාම කොච්චර දුකද කියලා. අනිත් අයගේ දෙයක් අපි ගන්න හොඳ නැහැ කියලා. ඔයා අනිත් අය ආසාවෙන් තියං ඉන්න ඒවා ගත්තොත් ඒක පව්. එතකොට ඔයා ආස කරන ඔයාගේ දේවලුත් නැතිවෙලා ඔයාට දුක් විඳින්න වේවි .දැන් මේ බෙල් එක නැතිවෙලා ඔයාට කොච්චර දුකද? ඒ වගෙ වෙයි. ආපහු කවදාවත් ඔයා ඒවා කරන්නේ නැහැ නේද?
මං කවදාවත් කරන්නේ නැහැ අම්මේ. “
මා නොකී කතාව ඔබ දැනටමත් දන්නවා ඇතැයි සිතමි.
එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා