free stats

ගැස්ට්‍රයිටිස් යනු තරුණ තරුණියන් සහ වැඩිහිටියන් අතර දැකිය හැකි රෝග තත්ත්වයකි. එය දරුවන්ගේ රෝගයක් නොවේ. නමුත් ආහාර පරිභෝජන රටාව වෙනස් වීම නිසා දරුවන් අතර ද ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වය බහුල බව වාර්තා වනවා. නියමිත වෙලාවට ආහාර නොගැනීම, අධික තෙල් සහිත ආහාර, අධික කුළුබඩු සහිත ආහාර, පිටි සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීම ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුවයි. එමෙන්ම ආහාර පරිභෝජන රටාවට අමතරව ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතු ගණනාවක් තිබෙනවා.

මේ රෝගය ඇතිවීමට හේතු මොනවාද?

ආමාශයේ ඇතුලත ආස්තරණය ප්‍රදාහයට ලක්වීම හේතු ගණනාවක් නිසා සිදු විය හැකියි.
ආමාශයේ ඇති අම්ල සාන්ද්‍රණය වැඩි වීම සහ ආමාශ බිත්තියේ ඇති ආස්තරණය දුර්වල වීම ප්‍රධානම හේතුවයි.

සමහර වේදනා නාශක ඖෂධ භාවිතය, වෛරස් ආසාදනයන්, ශාරීරික සහ මානසික ආතතිය, විිවිධ බැක්ටීරියා ආසාදන, ප්‍රතිශක්තිකරන පද්ධතිය විසින් ශරීරයේ අවයව හා පටක වලට අනිසි බලපෑම් සිදු කිරීම ආමාශ බිත්තියේ සමතුලිත තාවය නැතිවීම ප්‍රදාහයට ලක්වීමට හේතු විය හැකියි .

ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ මොනවාද?

උදරයේ පවතින වේදනාව, විශේෂයෙන් උදරයේ ඉහල කොටසේ ඇතිවන දැවිල්ලක් විය හැකියි. ඔක්කාරය සහ වමනය, පපුවේ දැවිල්ල සහ වේදනාව. අම්ල පිත උගුරට පැමිණීම, මූලික රෝග ලක්‍ෂණයි. රෝගය උත්සන්න වීම නිසා ආමාශයේ තුවාල වලින් රුධිර වහනය සිදු විය හැකියි. වමනය මගින් හෝ මලපහ මගින් රුධිරය පිටවීම රෝගය උත්සන්න අවස්ථාවේ දැකිය හැකි තත්ත්වයන්ය.

ආහාර ගැනීමෙන් පසු සමහර දරුවන්ගේ රෝග ලක්ෂණ උත්සන්න වීමක් දැකිය හැකියි.
ගැස්ට්‍රයිටිස් රෝගයේ දී බොහෝවිට අප දකින්නේ හේතුවක් නොමැතිව ඇතිවන උදරයේ වේදනාව සහ වමනයයි. නමුත් දරුවන්ගේ මෙම රෝග ලක්ෂණ උදරය ආශ්‍රිත වෙනත් රෝග වලදී දැකිය හැකි බව පෙන්වා දිය යුතුය. උදාහරණයක් ලෙස පිත්තාශයේ ගල්, අග්න්‍යාශයේ ඇතිවන ප්‍රදාහය මෙන්ම
වකුගඩු වල රෝග, අක්මාවේ ඇතිවන රෝග වලදී මෙවැනි රෝග ලක්ෂණ දැකිය හැකියි.

රෝග නිර්ණය සිදු කරන්නේ කෙසේද ?

මෙවැනි රෝග ලක්ෂණ පවතින අවස්ථාවලදී පරීක්ෂණ සිදු කිරීම මගින් වෙනත් රෝග මුලයන් තිබේදැයි පරික්ෂා කල යුතුය. ආමාශයේ අම්ල සාන්ද්‍රණය අඩු කරන ඖෂධ වර්ග මගින් මෙම රෝග ලක්ෂණ සමනය වීම දැකගන්නට පුළුවන්. නමුත් නැවත නැවත රෝග ලක්ෂණ ඇතිවීම ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා වන විශේෂිත පරීක්ෂණ සිදු කිරීමට හේතුවක් වනවා. එම පරීක්‍ෂණ නම් ආමාශය ඇතුලත කැමරාවක් මගින් පරික්ෂා කිරීම සහ ආමාශ ආස්තරණයෙන් කුඩා කොටසක් ගෙන පරික්ෂා කිරීමයි. හෙලිකොබැක්ටර් පයිලෝරායි බැක්ටීරියාව යනු ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට මුලික වන බැක්ටීරියා විශේෂයක් බව මෙම පරීක්‍ෂණ මඟින් දැනටමත් හඳුනාගෙන තිබෙනවා. මෙම බැක්ටීරියාව ලොව පුරා දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර, දරුවන්ගෙන් 10% ක් සහ වැඩිහිටියන්ගෙන් 80% කට H’ Pylori ආසාධනය ඇති බව පෙනෙන්නට තිබෙනවා.නමුත් ආසාදනය තිබෙන සෑම දරුවෙකුටම ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇතිවන්නේ නැහැ. රෝග ලක්ෂණ ඇති වූ දරුවන්ගේ එම තත්වය නිශ්චිතව නිර්ණය කොට ප්‍රතිකාර සිදු කල යුතු වනවා. බොහෝවිට මෙහි රෝග නිර්ණය සිදු කිරීමට එන්ඩොස්කොපි පරීක්ෂණයක් සිදු කල යුතු වනවා.

ආසාදනය තවත් කෙනෙකුට බෝවීමට අවදානමක් තිබෙනවා. මෙම විෂබීජය ශරීර ගතවන්නේ අපිරිසුදු ජලය සහ අපිරිසිදු වටපිටාවක් ඇති අවස්ථාවලයි. බොහෝවිට පවුලේ සාමාජිකයින් සියලු‍ දෙනාට රෝග විෂබීජය වැළදීමට ඉඩ තිබෙනවා. සනිපාරක්‍ෂිත වටපිටාවක් නොමැති වීම මෙම ආසාදන පැතිරීමට හේතුවක්.

ගැස්ට්‍රයිටිස් රෝගයේ සංකුලතා මොනවාද ?

රෝගය නිසා ආමාශයේ තුවාල සැදීමට දැඩි බලපෑමක් ඇතිකරනවා. අමාශයේ තුවාල කලාතුරකින් දරුවන්ගේ දකින්නට ලැබෙන සංකුලතාවයක්. මෙහිදී ආමාශයේ තුවාල වලින් ලේ වහනය වීම දැකිය හැකියි. වමනය සමග ලේ වහනය සහ මල පහ සමග තද කළු පහ ඇලෙනසුලු‍ වෙනස්වූ රුධිරය පිටවීම මෙහිදී දක්නට ලැබෙනවා. මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීම කළ යුතුය.

ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. බොහෝවිට මෙම ප්‍රතිකාර මගින් සිදුවන්නේ ආමාශයේ අම්ල ස්වභාවය අවම කිරීමයි. එමගින් ආමාශ ආස්තරණයට ඇති ප්‍රදාහය අවම වනවා. එසේම මෙම රෝගය ඇතිවීමට බලපෑ හේතු ඉවත් කිරීම හෝ අවම කිරීම මෙම රෝගය නැවත ඇතිවීම වැලක්වීමට රුකුලක් වනවා.

Helicobacter pylori ආසාදනය සඳහා වන ප්‍රතිකාර එම ආසාදනය සැදී ඇති බවට තහවුරු කිරීම මගින් පමණක් සිදු කල යුතු වනවා. මෙම ආසාදනය සඳහා ප්‍රතිජීවක ඖෂධ කිහිපයක
සංකලනයක් භාවිත කරනවා. බොහෝවිට මෙම ප්‍රතිකාරය දින 10 හෝ සති දෙකක කාලයක් සඳහා දෙනු ලබනවා.

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ
ජේෂ්ඨ කථිකාචාර්ය
පේරාදෙණිය
සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ
ළමා ශල්‍ය විශේෂඥ්‍ය වෛද්‍ය මාතුල හෙට්ටිආරච්චි