free stats

“ මට තියෙන්නේ බොහොම සුමුදු සමක්. ඒ වගේම මගේ සම පැහැපත්. සමේ කොහෙවත්ම උපන් ලපයක් හෝ වෙන කිසිම ලපයක් දකින්නවත් නැහැ. ඒත් මගේ දුවලා දෙන්නාම ඉපදුනේ උපන් ලප එක්ක. ඇත්තමට මම ඒ ගැන දුක්වුණා. පළවෙනි දුව ඉපදුනේ ඔළුව පුරාම විහිදුණු ලොකු රතු පාට ලපයක් එක්ක. මේ රතු ලපය පිටුපස පැත්තෙන් බෙල්ල දක්වාම විහිදිලා තිබුණා. හරියට තීන්ත පැල්ලමක් වගේ. මම එහි ඡායාරූපයකුත් ගත්තා. ලොකු වුණු කාලෙක දුවට පෙන්වන්න කියලා.”

මේ පුංචි කතාව උපුටා ගත්තේ විදෙස් පුවත්පතක පළවුණු ලිපියකින්. සුදු සමක් තිබෙන බොහෝ දෙනෙක් මෙවැනි ලප හෝ උපන් ලප නිසා පීඩා විදිනවා. එයට ප්‍රධාන හේතුවක් වෙන්නේ ලප හොඳින් කැපී පෙනීම සහ එවැනි රටවල ජීවත් වන උපතින්ම සුදු ජාතිකයින් එවැනි ලපවලට දක්වන අකමැත්තයි. මේ තරම් නොවුනත් බොහෝ වෙලාවට අපේ රටේත් අම්මලා තමන්ගේ පැටියාගේ සිරුරේ තිබෙන උපන් ලප පිළිබඳව වෙහෙසට පත්වෙනවා. දරුවාගේ මුහුණේ හිසේ හෝ සිරුරේ හොඳින් නිරාවරණය වන තැනක ඇතිවන මෙවන් උපන් ලපයක් පිළිබඳව අම්මලා කණස්සල්ලට පත්වෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසාම අපි මේ ලිපියෙන් සිරුරේ මතුවන උපන් ලප පිළිබඳව කතා කරන්නට තීරණය කළා.

පුංචි පැටවුන්ට ඇතිවන මේ උපන් ලප මොනවාද?

මෙය සම මතුපිට ඇතිවන සාමාන්‍ය ලපයක්. ආසියාවේ වගේම කළු හමක් තිබෙන අප්‍රිකානුවන් අතරත් උපන් ලප බහුලයි. නමුත් සුදු හමක් ඇති අය අතර අනෙක් අයට වඩා උපන් ලප කැපී පෙනිමේ ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. ආසියානු කලාපයේ අය අතර දකින්න ලැබෙන උපන් ලප විශේෂයෙන්ම නිල් පැහැයට හුරුයි. බොහෝ විට පිට ප්‍රදේශයේ වැඩිපුරම දකින්න පුළුවන්. මෙවැනි ලප දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ. බොහොම ඉක්මනින් අඩුවෙලා යනවා. අම්මලා හුඟක් වෙලාවට මෙවැනි ලප ගැන කණස්සල්ලට පත්වුණත් ඇත්තමට මේ ලප තියෙන්නේ දරුවාට අවුරුදු දෙකක් තුනක් වගේ කාලයක් වෙනකල් විතරයි. කරදරයක් වගේ පෙනුනට විශේෂ ගැටළුවක් මෙයින් ඇතිවෙන්නේ නැහැ. ඇඟ ඇතුළට හානියක් වෙන්නෙත් නැහැ. මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දියානා විශ්ව විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ වෛi එමලි ස්කොට් පවසන්නේ ඇය වෙත පැමිණෙන දරුවන්ගෙන් වැඩි පිරිසකට වඩාත් පහසුවෙන් හඳුනාගත හැකි පරිදි උපන් ලප පිහිටා ඇති බවයි. ඒ වගේ ම ඇමරිකාවේ මිනසොටා විශ්ව විද්‍යාලයේ උප කුලපති සහ ළමා සමේ රෝග පිළිබඳ පර්යේෂණ සංගමයේ සභාපතිනිය වන වෛi ශෛයිලා මැග්නිස් පවසන්නේ දරුවෙක් ඉපදී සතියක් පමණ වන විට මෙවැනි දුර්වර්ණ උපන් ලප එකක් හෝ කිහිපයක් සම ආක්‍රමණය කර ඇති බව හඳුනාගත හැකිබවයි.

මෙවැනි ලප ඇතිවෙන්න හේතුව කුමක් ද?

සමේ මෙලනින් වර්ණක එකතු වීම හෝ පිටතට ඒමක් නිසා තමයි මෙවැනි ලප ඇතිවෙන්නේ. එකක් හෝ කිහිපයක් මතුවෙන්නත් පුළුවන්. සමහර විට උපතින් කාලයකට පස්සේ වුණත් මතුවෙන්න පුළුවන්. සමහර අවස්ථාවල මේ ලප ආශ්‍රිතව, ලපය අවට හෝ මැද ප්‍රදේශයේ කෙස් වැවිලා තියෙනවා. කෙනෙකුට මේ තත්ත්වය ටිකක් අප්‍රසන්න විදියටත් දැනෙන්න පුළුවන්. එවැනි ලප තරමක් ලොකු ප්‍රදේශයක පැතිරිලා තියෙන්නත් හැකියි. මේවා නම් සුව වෙන්න කාලයක් ගත වෙනවා. සමහර විට සුව නොවෙන්නත් පුළුවන්. මෙවැනි උපන් ලප වලට විශේෂ හැඩයක් නැහැ. බොහෝ විට රවුම් හැඩයක් ඇතිව හඳුනාගන්න පුළුවන්.

උපන් ලප පිළිබඳව බිය වියයුතු නැද්ද?

සමහර දරුවනගේ උපන් ලප එන්නේ දුඹුරු පැහැති ලප විදියටයි. මේ ලපවල පැහැය වඩාත් තදින් දකින්න ලැබෙනවා නම් ඒ පිළිබඳව තරමක් සැලකිලිමත් වුණාට කමක් නැහැ. සමහර විට ලපත් සමඟ එයට ආවේණික රෝග ඇතිවෙන්න පුළුවන්. මේ ලප මඟින් පෙන්වන්නේ යම් රෝගයක පෙර නිමිත්තක් කියලා ඔබට සැකයක් ඇතිවෙනවා නම් සාමාන්‍ය වෛi ප්‍රතිකාර මඟින් ඒ තත්ත්වය හඳුනාගන්න හැකියාව තිබෙනවා. කැසීමක් හෝ දැවිල්ලක් තියෙනවා නම්, රුධිරය පිටවීමක් තිබෙනවා නම් හෝ වේගයෙන් වර්ධනය වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් වැදගත් වෙනවා. මේ තත්ත්වය දදයක් ද ලපයක් ද කියා හඳුනාගත නොහැකි අවස්ථාවලදිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් වැදගත්.

මෙවැනි ලප සැත්කම් මඟින් ඉවත් කළ හැකිද?

ඉතාම පහසුවෙන් ඉවත් කළ හැකියි. නමුත් සමහර අයට මෙවැනි ලප නිසා ලස්සන පෙනුමක් ලැබෙන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා කිසිම කරදරයක් නැත්නම් ලපයක් තිබුණාට කමක් නැහැ. ලපය පිහිටා තිබෙන ආකාරය හා එය පිහිටා ඇති පුද්ගලයාගේ කැමැත්ත හා අකමැත්ත මත සැත්කම් සඳහා යොමු වීම වෙනස් වෙනවා. තමන්ට හානිකර නොවේ නම් අනිවාර්යයයෙන් සැත්කම් සඳහා යොමුවෙන්න අවශ්‍ය නැහැ.

වෛද්‍ය හේෂාන් ජයවීර
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
පෙරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල

සටහන චාපා හංසිනි ආටිගල