වර්තමානයේ දරුවන්ගේ ජීවිත බරපතළ අනාරක්ෂිත තත්වයකට පත්ව තිබේ . අපගේ ඇස් මායිමෙන් මොහොතකදු ඉවත් කර තැබිය නොහැකි තරම් දරුවාට බාහිර සතුරන් වැඩිය. එහෙත් ඒවා අවබෝධ කරගන්නට තරම් ඔවුන් මේරූ පුදගලයන් නොවේ. එමනිසා දරුවන්ට ආදරය කරන මව්පිය ගුරුවරු සහ වැඩිහිටියන් ඔහුට කායික මානසික වශයෙන් හානිවිය හැකි ස්ථාන, පුද්ගලයන්, සහ අරමුණු පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය.
මව්පියන් කරන ලොකුම වරද නම් දරුවාට ලෝකය ගැන කියා නොදී මව්පියන් විසින් රැකවල් දා දරුවන් රකින්නට යෑමයි. කිසිම දරුවකු කැමැත්තෙන් සිරකරුවකු වන්නට කැමති නැත. ඔහුට අවශ්‍ය කුරුල්ලකු සේ නිදහස්ව සිටීමටයි. එහෙත් අප විසින් දරුවා ආදරයේ මුවාවෙන් සිරකර තබන්නට යෑමෙන් දරුවා කංසාවට පත්විය හැකිය. එසේම දරුවාගේ සහය නොමැතිව ඔහු ආරක්ෂා කිරීම ලෙහෙසි නැත. එමනිසා මව්පියන් දරුවා ආරක්ෂා කිරීමට ගත හැකි සුදුසු ක්‍රියා මාර්ගයන් ගැනීමට පෙර දරුවාට මේ පියවරයන් ගැනීමට හේතුවී ඇති කාරණා ඔහුගේ වයසට, බුද්ධියට සරිලන ආකාරයෙන් කියාදිය යුතුය.
හොඳම දෙය නම් දරුවා ඉතා කුඩා අවදියේ සිටම තමන්ගේ ආරක්ෂාව ගැන ඔහුගේ ප්‍රමාණයෙන් කියාදීමයි. නාඳුනන අය සමග අම්මා තාත්තා නොමැතිව කතා නොකිරීම, නාඳුනන අය ගෙනැත් දෙන දේ ආහාරයට නොගැනීම. නිවසේ දොරට තට්ටු කරනු ඇසුනහොත් මව්පියන් නැතිව තනිව ගොස් දොර නොහැරීම ආදිය කියාදීම වැදගත්ය. මේවා ඉතා ආදරයෙන් තරවටු සහ බැණවැදීම් වලින් තොරව කියාදෙන්න. ආදරයෙන් කියාදෙන දේ දරුවා ගන්නේ අභිමානයකිනි. “ මං දැන් ලොකු ළමයෙක් ඒ නිසා අම්ම මට හැමදේම කියා දෙන්නේ. මාත් මගේ ජීවිතය පරස්සම් කර ගන්න ඕන“ යන හැඟීම දරුවකුට ඇති වූ පසු මෙය පහසුය. හොඳින් හඳුනන අසල්වැසියන් මිතුරන් සහ ඥාතීන්ගේ නිවෙස් වලදී පවා දරුවා පිළිබඳව අවධානයෙන් පසුවීම මව්පියන්ගේ වගකීමකි. මන්ද දරුවකු බොහෝවිට අපයෝජනයට ලක්වෙන්නේ දන්නා හඳුනනා අය අතින් බැවිනි.
අපට හිතාගන්නටවත් බැරි තරම් වේගයකින් මේ රට තුල අපරාධ, අපයෝජන, අපචාර ඉස්මතුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එසේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ පිරිසක් අතර සන්සුන් බවක්, සංහිඳියාවක් දක්නට නැත. අධ්‍යාපනයේ බර සහ පාරිසරික විකෘති වලින් කරන බලපෑම්ද ඔවුන් වෙහෙසට පත් කරයි. ගෙදර දොර අසමගිය, මව්පියන් අතර ගෞරවයක් නැතිකම අඟහිඟ ආදිය නිසා අපගේ දරුවෝ විශාල පීඩාවකින් කල් ගෙවති. මව්පියෝ මේ පිළිබදව සැලකිලිමත් වීම මගින් දරුවාට රැඳී සිටීමට ප්‍රිය උපදවන ආකාරයෙන් නිවස සකස් කර ගත හැකිය. මෑතකදී මා වෙත පැමිණි තරුණියන් දෙදෙනකු පැවසුවේ මව්පියන්ගේ අඩදබර නිසා ඔවුන් පාසැල් යෑම අසනීපයක් නිසාවත් නතර නොකළ බවයි. එසේම පාසැල ඇරුණූ පසු නිවසට ඒමට කිසිම ආශාවක් නොවූ බවයි.
සහෝදරියන් වු ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල් තරුණිය පැවසු දෙයින් මා පුදුමයට පත්වීමි. ඇයට නිවස කෙතරම් පීඩාකාරීද වූයේ යත් ඇය කොළඹ සිට යක්කල දක්වා යන බසයක නැගී ගොස් ආපසු කොළඔ කරා පැමිණ නිවසට යන බවයි. මේ ගමන් වලදී ඇයට විවිධ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දීමට විටෙක සිදූවූ බවයි. මේ අනාරක්ෂිත පියවරයන්ට දරුවන් යොමු වීමේ මුල් වරද ඇත්තේ වැඩිහිටියන් ළඟය. වැඩිදුරටත් අදහස් දැක්වූ මොවුන් දෙදෙනා කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයට මාස පහක් පමණ තිබියදී පංති භාර ගුරුතුමිය ප්‍රසූත නිවාඩු ගිය අතර පැමිණි නව ගුරුතුමිය දරුවන්ට ඉතාම කාරුණික වූ බැවින් දරුවෝ ඇය සමග ඔවුන්ගේ විවිධ ප්‍රශ්න කතා කර ඇත. එම ගුරුතුමිය දරුවන්ගේ අරමුණු නව මානයකට යොමු කරමින් මේ සියලු පීඩාවන් අධ්‍යාපන ජයග්‍රහණයන්ගෙන් යටපත් කරගත හැකි බවට සිසුවියන්ට අවබෝධ කරදී තිබේ.
අද උසස් රැකියාවන්හි නියුතු මේ තරුණියන් දෙදෙනා මවටත් වඩා එම ගුරුතුමියට ආදරය කරති. අයාලේ ගොස් විනාශවීමට බොහෝ ඉඩකඩ තිබූ තම ජීවිත සාර්ථක කරගන්නට මං පෙත් විවර කරන ගුරුවරු තවමත් අප අතර හිඳිති. ඔවුන් ඇසුරෙන් දරුවෝ ජීවිතය යළි උපදවා ගනිති.
ආදරණිය මව්වරුනි
අපේ දරුවන්ට ලෝකය නරක බව කියා දී බයට පත්කරනවාට වඩා ඒ ලෝකය තුළදී ස්ථානෝචිත නුවණින් කටයුතු කරන ආකාරය කියාදීම වැදගත්ය.හදිසි ඇමතුම් අංක කියාදී තිබීම වැදගත්ය. විශේෂයෙන් 1929 දරුවන් සදහා වෙන්වූ හදිසි ඇමතුම් අංකයයි. එය සෑම දරුවකුම දැනසිටීම වැදගත්ය. එයට අමතරව ළමාරක්ෂක අධිකාරිය, පොලිස් මූලස්ථානය යන ආයතනවල දුරකථන අංක දැන සීටීමද පොලිස් හදිසි ඇමතුම් අංක දැන සිටීමද වැදගත්ය. ඔබේ දරුවාට මේවා කියාදෙන්න.ඔබ එනතුරු දරුවාට පාසැල තුළට වී සිටින ලෙස පවසන්න. ගේට්ටුවෙන් පිටත නොසිටින ලෙස පවසන්න.විවිධ පුද්ගලයන් (සමහර විට ඔවුන් පවුලේ ඥාති මිත්‍රාදීන් විය හැකියි) පෙන්වන අනිසි සැලකිලි ආදර සංග්‍රහ පිළිබඳව දරුවාට අවබෝධයෙන් බලන ආකාරය කියා දෙන්න. ඔවුන්ගෙන් අනිසි බලපෑම් යෝජනා ලැබුණහොත් ඒවා මගහරින අන්දම කියා දෙන්න. එසේම දරුවන්ට ඒ සෑම තොරතුරක්ම මවට පැවසිය හැකි වන තරමට මව්වරුනි ඔබ ඔබේ දරුවන්ට සමීප වන්න.
විවිධාකාරයේ විලාසිතා ,ඕපාදූප, සංදර්ශන වෙනුවෙන් මව්පියන් එකතු වන අවස්ථා ඇතිවා සේම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මව්පියවරුන් සංවිධානය වන්න. විවිධ අවස්ථාවන් සඳහා දරුවන්ගේ භාරකාරිත්වය වෙනුවෙන් කාලය බෙදාගෙන කටයුතු කරන්න. කිසියම් දරුවකුට සිදුවන අවසනාවන්ත සිදුවීමකදී දරුවා කොන් නොකර වරදකරුට එරෙහි වන්න. එය සිදුවූයේ අපේ දරුවාට නොවේ කියා මග නොහරින්න. ඊළඟ ගොදුර ඔබගේ දරුවා විය හැකි බැවිනි. මේ අපරාධ මේ තරමට අතු ඉති ලා වැඩෙන්නේ මව්පියන් වශයෙන් අප ඊට එරෙහිවීමට සංවිධානය වී නොමැති නිසාය. අප එය කිසිදා අපේ දරුවකුට සිදු නොවනු ඇතැයිද, එයට එරෙහි වීම අපගේ කාර්යයක් නොවේ යැයිද සිතන නිසාය. කිනම් හෝ දරුවකුට අපරාධයක් සිදුවුවහොත් එයට එරෙහි වීමට ඔබට ඒ දරුවා ඔබේ වීම අවශ්‍යම නැත. අවශ්‍ය වන්නේ මේ සමාජයේ වෙසෙන දරුවන්ගේ ආරක්ෂාව , සැපත, දියුණුව ප්‍රාර්ථනා කරන උතුම් සිතක් ඔබ සතුවීම පමණි. මව්පියන් සංවිධානය වන තරමට මේ අපරාධකරුවන් දුර්මුඛ වන්නේය. එහෙත් අපගේ ආත්මාර්ථකාමී සිතුවිලි ඊට වඩා බලවත්ය. හෙට දිනයේ අපට සිදුවන කරදරයකදී අන්‍යයන් අප අතහැර සිටින විට අපට දැනෙන හුදකලාව පිළිබඳව සිතන්න.
පුංචි උදාහරණයක් දක්වමි. ත්‍රස්තවාදී යුද්ධයෙන් අප තදින්ම බැට කෑ අවධියේ දෙහිවල දුම්රියේදී පුපුරා ගිය බෝම්බය ඔබට මතක ඇතැයි සිතමි. එහිදී හානි වූ මිනිස් ජීවිතවලට වගකිව යුත්තේ එහි ගමන් ගත් සමහර මගීන්ය. බෝම්බ තවත් තිබේදැයි පරීක්ෂා කිරීමට ඉඩ නොදුන් සමහරු “අපට නිවෙස්වලට යෑමට පමා වෙනවා“ කියමින් කළහ කරන්නට ගත්විට තවදුරටත් දුම්රිය පරීක්ෂා කිරීම අතහරින්නට සිදුවිය. අවසානයේ සිදුවූයේ සොයාගත් බෝම්බයට අමතරව තිබූ තවත් බෝම්බයක් පිපිරී ගොස් විශාල විනාශයක් සිදුවීමයි. අප විසින් වහා වෙනස් කර ගතයුතුව ඇත්තේ මේ ආකල්ප බව අප වටහා ගන්නා තුරු අපයෝජකයෝ මේ සමාජයේ නිදැල්ලේ වෙසෙති. අවශ්‍ය වූ විට ගොදුරු ඩැහැ ගනිති.
එම නිසා දරුවාටත් ආත්ම ආරක්ෂක සටන් ක්‍රමයක් උගන්වන්න. සමූහ වශයෙන් මිසක තනි තනිව හුදකලා ගමන්බිමන් යෑමෙන් හැකි තරම් වළකින ලෙස ඔවුන්ට කියා දෙන්න. දරුවාගේ යහළු යෙහෙළියන් පිළිබඳවත් ඔවුන්ගේ දෙමව්පියන් සහ නිවෙස් පිළිබඳවත් මව්පියෝ දැනුවත් වන්න.
මගේ මව මා උසස් පෙළ පංතියේ උගනිද්දී කිසියම් නිදහසක් ඇතිව ගමන් බිමන් යෑමට මට ඉඩ දුන්නාය. සැමවිටම අප ඇසුරු කරන යහළු යෙහෙළියන් පිළිබඳව සොයා බැලුවාය. ඔවුන්ටද මවක්ම වූවාය. ඇය පවුලේ දරුවන්ට දැමූ කොන්දේසිය අද මම මගේ දරුවන් වෙනුවෙන්ද භාවිතා කරමි. අත්හදා බලන්න.
එය මෙසේය.
“යන තැන කියන්න ඕන
කියන තැනට යන්න ඕන
එන වෙලාව කියන්න ඕන
කියන වෙලාවට එන්න ඕන“
මේ නීතිය කඩ කළ පසු එම නිදහස අහිමි වන බව ඇය දැන්වූවාය. අප අපගේ යොවුන් වියේදී අන් ළමුන්ට වඩා නිදහස් ප්‍රීතිමත් කාලයක් ගත කළෙමු. මගේ අම්මාට මගේ යෙහෙළියෝ අද ද දුරු රටවල සිට පවා ආදරයෙන් කතා බහ කරති. තෑගි බෝග එවති. අපට බොරු කියා යෑමට කිසිදු ගමනක් නොතිබිණි. මගේ මවට අද ද මම ඒ ගැන පින් දෙමි.
සටහන එශාමා කාරියකරවන