free stats

“මට නම් හිටියේ මිලී කියලා බෝනික්කෙක්….

ඔයාගේ බොනික්කාගේ නම මොකද්ද ?”

පුංචිම පුංචි කාලේ කවදාහරි දවසක ලස්සන බෝනික්කෙක් තෑගි ලැබුණු මොහොත මතක ද? ඒ තරම් සතුටක් වටිනාකමක් එතනින් පස්සේ කවදාහරි දැනිලා තියෙනවද?

බොනික්කෙක් සහ පුංචි දරුවෙක් අතර තියෙන බැඳීම හරි අපූරුයි. සමහර විට ඔයත් මම වගේම හිතේ තියෙන සේරම රහස්, පුංචි පුංචි අවනඩු බෝනික්කට කියන්න ඇති. ඇත්තටම බෝනික්කෙක් කියන්නේ හොඳ ඇහුම්කන් දෙන්නෙක්. අදහසක් ප්‍රකාශ කරන්න බැරි වුණත් අපි කියන දේ අහගෙන ඉන්න එයාට පුළුවන්කම තිබුණා. ඔයාගේ ජීවිතේ හොඳම දවස් වගේම දඟ වැඩ නිසා ගෙදරින් ගුටි කන්න සිදුවුණු නරක දවස්වල දුක කියන්න හිටියේ බෝනික්කා විතරක් වෙන්න ඇති.

අපි හිතනවටත් වඩා අපූරු විදියට දරුවෙක්ට බෝනික්කෙක් වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි.

බෝනික්කෙක් කියන්නේ හැම දරුවෙක්ම අපූරු ලෝකෙකට අරගෙන යන්න පුළුවන් විදියේ සෙල්ලම් බඩුවකට. සමහර වෙලාවට පුංචි දරුවො මේ අයගෙන් අපූරු අත්දැකීම් ලබනවා. ආදරය දක්වන්න, පරිස්සම් කරන්න වගේම තමන්ගේ කියන

හැඟීම ඇති කරවන්න බෝනික්කෙකුට පුළුවන්. ඒ විතරක් නෙවෙයි දරුවෙක් තුළ බුද්ධිමය හැඟීම් ඇති කරන්නත්, තමාටම උදව්වක් කරගැනීමේ ශක්තිය වර්ධනය කරවන්නත් මේ අයට හැකියාව තිබෙනවා. ඒ වගේම බෝනික්කන්ට ඇඳුම් ඇන්දවීම වගේම වෙනත් විලාසිතා කිරීමට යොමුවන නිසා ගැහැණු දරුවන් තුළ වර්ණ ගැලපීමේ හැකියාව, විලාසිතා නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බව සඳහන් වනවා. එය වඩාත් වැදගත් වන්නේ අනාගතයේ දි කාන්තාවක් ලෙස සිය වෘත්තිය තෝරාගන්නා විට සහ සිය පුද්ගලික විලාසිතා කෙරෙහි දක්වන හැකියාවටයි.

දරුවන් සහ බෝනික්කන් අතර බැඳීම මෙසේ අපූර්ව ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. බෝනික්කා තුරුළට ගෙන කිරි පෙවීම, ආහාර කැවීම, නැහැවීම වැනි කාර්යයන්හි නිරත වනවා දකින්න පුළුවන්. ඕනෑම දරුවෙක් සිය ළමා කාලයේ මෙවැනි හැසිරීමක් පෙන්වනවා. ඒ වගේම බෝනික්කා නිදි කරවීම සහ ඒ සඳහා තමා අසා ඇති ගීත හෝ කවි ගායනා කිරීම වැනි අවස්ථා තුළින් දරුවාගේ ඥානය වර්ධනය වන බව විශේෂඥයන් සඳහන් කරනවා.

මෙයින් දියණියකට ප්‍රථම වතාවට මාතෘත්වය පිළිබඳව අපූරු හැගීමක් ඇතිකරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට තමන් වෙත අම්මා දක්වන සෙනෙහස ඒ කියන්නනේ අම්මා කෑම කවන එක, නාවන එක, කතන්දර කියන එක වගේ දේවල් මේ දරුවො තමන්ගේ බෝනික්කාටත් කරනවා. මෙයින් කෙලින්ම හෝ අනියම් විදියට අනාගතයේ දවසක මව්පදවිය සඳහා බලපානවා. මවක් වුණාට පස්සේ දරුවන්ට ආදරය කරන විදිය, කරුණාව දක්වන හැටි, මවක් විදියට ඇයගේ චරිතය මොනවගේ වෙන්න ඕනද කියන කාරණා ඉගෙන ගන්නවා. මෙය මවක් බිරිඳක් විදියට ඇය අනාගතයේ රඟ දක්වන්න නියමිත භූමිකාවට පෙරහුරුවක්.

ඇඳුම් ගැලවිය හැකි වෙනත් ඇඳුම් ඇන්විය හැකි ආකාරයේ බෝනික්කන් මිළ දී ගැනීම මඟින් දරුවන්ගේ අත් ඇඟිලිවලට විවිධ ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව ලැබෙනවා. සපත්තු ගැලවිය හැකි, තොප්පි ආදිය ගැලවිය හැකි ආකාරයේ බෝනික්කන් ඕනෑතරම් මිලට ගන්නට පුළුවන්. එසේම එවැනි බෝනික්කන් සඳහා ඇඳුම් නිර්මාණය කරන්නට දරුවන්ට අවකාශය සලසා දීම මඟින් විලාසිතා නිර්මාණකරනය කෙරෙහි දරුවා තුළ උනන්දුවක් මෙන්ම අලුත් අදහස් ද මතු වනවා.

සමහර බෝනික්කන්ට ආහාර කැවිය හැකි පිඟන් කෝප්ප ආදියත් තිබෙනවා. ඒ වගේම අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය උපකරණ නිර්මාණය සඳහා දරුවා උනන්දු කරවිය හැකියි. එයින් දරුවා තුළ අවශ්‍යතාවය අනුව තිබෙන දේ ගලපා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම සැලසුම් කිරීම, සුදුසු පරිදි ගලපා ගැනීම ආදිය ඉගෙන ගන්නේ මේ හරහායි.

බෝනික්කෙක් තුළින් දරුවාට ඉගෙනගත හැකි මෙන්ම ඉගැන්විය හැකි ක්‍රම බොහෝමයක් තිබෙනවා. මිනිස් සිරුරේ ඇති අවයව පිළිබඳව උගන්වන්ට බෝනික්කෙක් තරම් තවත් සුදුසු උපකරණයක් නැහැ. සැබැවින්ම මිනිස් අවයව මෙන්ම මිනිස් සිරුරට සමාන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන නිසා දරුවාට අවබෝධ කරගන්නටත් පහසුයි.

ඒ වගේම බෝනික්කන්ට අන්දවා ඇති ඇඳුම් වලින් විවිධ ඇඳුම් පිළිබඳව දැනුම ලබාගන්නට දරුවාට අවස්ථාව තිබෙනවා.

“මේ තියෙන්නේ ගවුම, මේකට කියන්නේ ටී ෂර්ටය කියලා. මේ ඇඳලා ඉන්නේ ජීන්ස් එකක්”

ආදි වශයෙන් ඇඳුම් පිළිබඳව දරුවාට කියාදෙන්නට පුළුවන්.

ඒ වගේම වර්ණ හා ප්‍රමාණ ඉගෙන ගන්නටත් මේ අයුරින්ම උත්සහ කළ හැකියි. විවිධ මිනුම්

ඉගෙන ගන්නටත් දරුවාට එමඟින් අවස්ථාව ලැබෙනවා. බෝනික්කාගේ හැසිරිම් අනුව විවිධ ක්‍රියාවන් ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා.

“ඔන්න දැන් බබා නිදි, බෝනික්කි බබා කෑම කන්නේ මෙහෙමයි,

ඔන්න බෝනික්කි බබා නැඟිටලා ඉන්නේ”

ආදි වශයෙන් දරුවා තුළ විවිධ ජීවන ක්‍රියාකාරකම් පිළිබඳ චිත්‍ර මවන්නට හැකියි. ඒ වගේම බෝනික්කා තුළින් දරුවන් තුළ ප්‍රවේශම, රැක බලාගැනීම, ආදරය දැක්වීම, ආදි ගුණාංග ද වර්ධනය වනවා. තමාගේ කියන හැඟීම වර්ධනය කරගන්නටත් එය අවස්ථාවක්. පවුලක් වශයෙන් සංවිධානය වීමේ පළමු පියවර ගොඩනැගෙන්නේ මේ හරහායි. සමහර විට තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ට ආදරයෙන් සලකන්නට තරම් පෙළබවීමක් මේ තුළින් ලැබෙන්නට ඉඩ තිබෙනවා. සහෝදර සහෝදරියන් නොමැති තනි දරුවෙක් නම් අනෙක් අය කෙරෙහි සහෝදරත්වයෙන් සැලකීම, ආදරය දැක්වීමට ඉගෙන ගන්නේ බෝනික්කෙකු සමඟ ඇතිවන සම්බන්ධයෙන් වන්නට පුළුවන්. එසේම සෙල්ලම් කිරීමට කෙනෙක් නොමැති වීමේ පාළුව මකාගන්නටත් බෝනික්කෙක් හොඳම පිළිතුරක් වනවා.

තවත් දරුවෙක් නිවසට ගෙන එන්නට බලාපොරොත්තු වන මවකට පියෙකුට බෝනික්කා මඟින් අලුත් අමුත්තා කෙරෙහි ආදරය සෙනෙහස දක්වන අයුරු උගන්වන්නට පුළුවන්. එයින් දරුවා තූල සහෝදර හැඟීම් වර්ධනය වනවා මෙන්ම දරුවා රැක ගැනීමට ඇති අවශ්‍යතාවය මතු වනවා. නොරිදෙන අයුරින් සිය සහෝදරයා ස්පර්ශ කිරීමට මෙන්ම වඩා ගැනීමට පවා දරුවාට උගන්වන්නට පුළුවන්. දරුවා හා බෝනික්කා තුළ පවතින බැඳීම විවිධ අවස්ථා සඳහා යොදාගත හැක්කේ ඒ ආකාරයෙනි.

ඒ වගේම බෝනික්කන්ට කැමති නැති දරුවනුත් ඉන්නවා. මේ වගේ දූලා ගොඩක් වෙලාවට සීයා, තාත්තා, අයියා වගේ අයට ගොඩක් සමීප අයයි. පිරිමි පාර්ශවයෙන් වැඩි ආදරයක් ලැබෙන නිසා මේ අය බෝනික්කන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම ආදරය කරුණාව අඩුවෙන් ලැබෙන දරුවනුත් සමහර වෙලාවට බෝනික්කන්ට තිබෙන කැමැත්ත අඩු බව පෙන්වනවා. තවත් දරුවන් පිරිසක් බෝනික්කන්ට බියක් දක්වනවා. එයට හේතුව වෙන්නේ විවිධ හොලිවුඞ් චිත්‍රපටි නැරඹිමයි. ඒ නිසා කුඩා දරුවන්ට බිහිසුණු චිත්‍රපට බැලීමට අවස්ථාවක් ලබා නොදීම ඉතාම වැදගත් කරුණක්. එහෙම නොවුණොත් ඒ තත්ත්වය බෝනික්කන්ට බිය වීමෙන් පමණක් නතර නොවෙන්න පුළුවන්.

ගොඩක් දෙනෙක් පිරිමි දරුවන්ට බෝනික්කන් ලබා දීම පිළිබඳව අවධානය යොමු කරනවා. එහි ගැටළුවක් නැහැ. සමහර පිරිමි දරුවන් අක්කලා නංගිලා එක්ක හැදෙනවා. ඒ නිසා ඒ අය කරන දේවල් බලාගෙන බෝනික්කන්ට ආදරය වෙන්න පුළුවන්. පුංචි කාලෙදි අපි දරුවන්ටගේ ලිංගිකත්වය ගැන අවධානය යොමු කරන්නේ නැහැ. අපි ඒ සියලු දෙනාම පොදුවේ සලකන්නේ දරුවො විදියට. ඒ අයට සෙල්ලම්බඩු තේරිමකින් තොරව ලබා දෙන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී පිරිමි දරුවන්ගේ පෞර්ශය වර්ධනයට බාධාවක් වීමට එය බලපාන්න ඉඩ තිබෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.

පුංචි දරුවො කියන්නේ කුතුහලයෙන් ඉන්න පිරිසක්. මේ නිසාම එයාලා ඕනම සෙල්ලම් බඩුවක් කඩලා කෑලි ගලවලා බලනවා. බෝනික්කා කොහොමද අත් ඉහලට උස්සන්නේ, කතා කරන්නේ කොහොමද, සිංදු කියන්නේ කොහොමද කියලා පැටවුන්ට තියෙන්නේ කුතුහලයක්. මේ නිසාම එයාලා සෙල්ලම් බඩු කඩනවා. නමුත් සමහර දරුවන් අධි ක්‍රියාකාරි මානසික මට්ටම්වල ඉන්න නිසාත් බෝනික්කන්ව කඩනවා. නමුත් ඒ අය සෙල්ලම් බඩු කැඩීම විතරක් නෙවෙයි අනිත් දරුවන්ට ගැසීම, කෑ ගැසීම, රණ්ඩු වීම වගේ දේවල්වලට පවා පෙළබෙනවා. ඒ අයගේ ලක්‍ෂණ වෙනස්. ඒ බව වෙනම හඳුනාගන්න පුළුවන්. සමහර විට දෙමව්පියන් නිතර ලඟ නැතිවිට, පියා නිතර ළඟ නැති විටත් දරුවා දඟකාරයෙක් වන්නට පුළුවන්. දරුවාට හොඳ ආදරයක් වගේම අවධානයක් දුන්නාමත් මේ තත්ත්වය මඟහරවා ගන්න පුළුවන්.

බොනික්කන් වගේ ම අනෙක් විවිධ සෙල්ලම් බඩු තුළින් දරුවාගේ මානසික මට්ටම හොඳින් හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔටිසම් දරුවන් හඳුනාගැනීමේදි සෙල්ලම් බඩු වඩාත් දරුවාට සහය වනවා. එවැනි දරුවන් අනෙක් අය සමඟ හෝ සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කිරීමෙන් තොරව මුළු ගැන්වීමට උත්සහ කරනවා. ඒ වගේම තවත් අවස්ථාවකදී නිවසේ ඇතිවන කලහාකාරි තත්ත්වයන් නිසා කේන්තියට පත්වන දරුවන් ද සෙල්ලම් බඩු සමඟ කරන ගණුදෙනුව අනිත් දරුවන්ට වඩා වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා දෙමව්පියන් නිතර දරුවා පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය
පුණ්‍යානි බන්දුතිලක
ශික්‍ෂණ රෝහල
කළුබෝවිල


සටහන චාපා හංසිනි ආටිගල