ඔබේ දරුවාව “ඔබ” හෝ “වෙනත්” පාර්ශවයක් අතින් අපහසුතාවට පත්වන්නට ඉඩ දෙන්න එපා.”මාපියකරණය” (Parenting) කියන්නෙ දරුවා සම්බන්ධව වගකීම් ගොන්නක්. දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඒ අතුරින් විශේෂයි. සෑම දරුවෙකුටම ආරක්ෂාකාරී බව, ගෞරවනීය බව හා වටිනාකමක් සහිත බව පිළිබඳ හැඟීමට අයිතියක් තිබෙනවා. ඇතැම් විටෙක බාහිර පාර්ශවයක් නිසා (ඔබේ පවුලේ සමීපතමයෙකු නිසා පවා), දැනුවත්ව හෝ නොදැනුවත්ව, දරුවාව යම් අපහසුතාවකට ලක් වන්නට පුලුවන්. එවන් අවස්ථාවක දරුවා වෙනුවෙන් නැගීසිටීම හා ඔහුගේ/ඇයගේ යහපැවැත්ම තහවුරු කිරීම, මාපියන් මත පැවරෙන ප්‍රබල වගකීමක්. මේ සටහන ඒ සඳහා මගපෙන්වීමක්.
1. දරුවා අපහසුතාවයකින් පෙළෙන බව හඳුනාගැනීම.
දරුවන් බොහෝවිට තමන් අපහසුතාවකට ලක්වන විට ඒ පිළිබඳව ප්‍රකාශ කරන්නෙ නැහැ. ඒ නිසා මාපියන්, තම දරුවන් කෙරෙහි අවධානයෙන් සිටීම වැදගත්. ඔවුන් චර්‍යාවන්ගේ වෙනස්කම් තුළින් අදාළ දරුවා යම් අපහසුතාවකට පත්වෙනවාද යනවග නිරීක්ෂණය කළ හැකියි. දරුවන් මෙතෙක් වෙලා යෙදී සිටි සංවාද හෝ ක්‍රියාකාරකම් වලින් ඉවත් වී යනු දැකිය හැකියි. චංචලවීම හෝ නොසන්සුන්කම, ඔබේ ඇස් දෙස (මුහුණට-මුහුණ) බැලීම මගහැරීම වැනි කාංසාවේ ලක්ෂණ පෙන්විය හැකියි. නිදහසේ දුවපනිමින් සිටි දරුවා, දිගින් දිගටම ඔබේ ඇඟේ දැවටෙමින් ඔබ අසලටම වී සිටිනු දැකිය හැකියි. යම් පුද්ගලයෙක් හා ආශ්‍රය කිරීමෙන් පසුව, හැසිරීමේ හෝ මුහුණේ ස්වරූපයේ ක්ෂණික වෙනස්වීමක් නිරීක්ෂණය වන්නේ නම් වඩාත් සැලකිලිමත් වන්න.
2. දරුවාගේ අපහසුතාවන් කෙරෙහි සංවේදී වීම අනිවාර්‍ය වන්නේ ඇයි?
දරුවා සම්බන්ධ කුඩා මට්ටමේ අපහසුතාවලට පවා දෙමාපියන් ලෙස ඔබ සංවේදී විය යුතුයි. ඒවා නැවැත්වීමට හෝ දරුවා ඉන් මුදාගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුයි. ඔබේ කෝණයෙන් එකී සිදුවීම ඉතා කුඩා හෝ නොසැලකිය හැකි සිදුවීමක් වන්නට පුළුවන්. නමුත්, මතක තබා ගන්න. දරුවාට එය එසේ නොවෙයි. ආගන්තුක පුද්ගලයෙක් ඔබේ දරුවා වැළඳ ගැනීමට උත්සහ කරන්නේ යැයි සිතන්න. බැලූ බැල්මට සරල සිද්ධියක්. සුරතල් දරුවෙකු දුටු සැණින් බොහෝ වැඩිහිටියන් ආදරය ප්‍රකාශ කරන්නට පෙළඹෙනවා. නමුත්, එම වැළඳගැනීමට දරුවා අකමැති නම්, දරුවා එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, කිසිවිටෙක ඊට ඉඩදෙන ලෙස ඔබ, දරුවාට බලකරන්නට එපා. අදාළ වැඩිහිටියා ඔබ සමග උරණ වනු ඇතැයි සිතා දරුවාව අපහසුතාවට පත්වීම ඉඩ නොදෙන්න. දරුවාගේ අපහසුතාවන් නොසලකා හැරීම තුළ දිගුකාලීන ප්‍රතිවිපාක ගණනාවක් තිබෙනවා. දරුවා “ආරක්ෂකයා” ලෙස ඔබ වෙත තබා ඇති විශ්වාසය අවතක්සේරු වීම, තමාගේ පෞද්ගලික සීමාවන් එතරම් වලංගු නොවන බව දරුවා සිතන්නට වීම, තමා මුහුණ දෙන අපහසුතාවන් හා කරදර සියල්ල නිහඬව විඳදරාගත යුතු යැයි වැරදි අවබෝධයක් දරුවා තුළ හටගැනීම ආදිය ඒ අතුරින් සමහරක්. එහෙයින්, ඔබ දරුවාගේ අපහසුතාවන් වලකාලීමට කටයුතු කිරීම තුළ, තමාගේ පෞද්ගලික සීමාවන් වලංගුවන්නේ යැයි බරපතළ පණිවිඩයක් දරුවාට සන්නිවේදනය වෙයි.
3. අපහසුතාවන්හිදී දරුවා වෙනුවෙන් නැගී සිටීම කළ යුත්තේ කෙසේද?
මූලිකවම, දරුවා අපහසුතාවට ලක් වීම සඳහා ඍජුව හෝ වක්‍රව ඔබ දායක නොවීමට වගබලා ගන්න. පිරිසක් ඉදිරියේ දරුවා ලැජ්ජාවට පත් කිරීම, බැණ වැදීම හෝ හාස්‍යයට ලක් කිරීම කිසිසේත් නොකරන්න. වෙනකෙකු දරුවා සම්බන්ධයෙන් කළ විහිලුවකට (එමගින් දරුවා අපහසුතාවකට ලක්වූ බව පෙනීයන්නේ නම්) ඔවුන් හා එක්ව සිනාසීමෙන් වලකින්න. මීට අමතරව අපහසුතාවන්ට නිසි පරිදි සූදානම් කරවීමද වැදගත්. ඒ සඳහා භවිතා කළ හැකි ප්‍රායෝගික උපක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා.
3.1. දරුවාව, අපහසුතාවන්ට එරෙහි වීම සඳහා දිරිමත් කරන්න.
යම්දෙයකින් තමා පීඩාවට හෝ අපහසුතාවට පත්වෙනවා නම් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ධෛර්යය දරුවාට ලබාදෙන්න. එසේ එරෙහිවීමේ කිසිදු වරදක් නැති බවත්, අනෙකාගේ සිත් රිදේවි යැයි සිතා හෝ වෙනත් හේතුවක් නිසා තමා අකමැති දේ විඳදරාගෙන සිටීම අනවශ්‍ය බවත්, දරුවාට පෙන්වාදෙන්න. “කවුරුහරි ඔයා කැමති නැති දෙයක් ඔයාට කරනවා නම්, “එපා” කියන්න. එහෙම කියන එකේ කිසි වැරැද්දක් නැහැ.” මෙලෙස දරුවාට කියන්න. තවද, “කවුරුහරි ඔයා අකමැති දෙයක් කරනව නම්, මට කියන්න.” ලෙස පවසා දරුවා තුළ සුරක්ෂාකාරී හැඟීමක් ඇති කරවන්න පුළුවන්.
3.2. දරුවා යම්කිසිවෙක් නිසා අපහසුවකින් පෙළෙන බව නිරීක්ෂණ වන්නේ නම්, නොපමාව මැදිහත්වෙන්න.
බාහිර පාර්ශවයක් ඔබේ දරුවාගේ පෞද්ගලික සීමාවන් නොතකමින්, කරදරකාරී හැසිරීමක යෙදෙන බව නිරීක්ෂණය වන්නේ නම් දරුවා වෙනුවෙන් ඔබ, මැදිහත්වෙන්න. එය මුල් අවස්ථාවේ, ගෞරවනීය, සාමකාමී නමුත් ස්ථාවර එකක් බවට වගබලා ගන්න. නිදසුනක් ලෙස ඔබේ දරුවාගේ විරුද්ධත්වය නොසලකා, කිසිවෙක් නැවත නැවතත් දරුවාව වැළඳගැනීමට උත්සහ දරන්නේ යැයි සිතන්න. ඔබ, “අපි මෙයාට කියල තියෙන්නෙ එයාව අල්ලන්නවට කැමති නැත්නම්, එපා කියන්න කියල. කරුණාකරල, එයාගෙ කැමැත්තට ගරු කරන්න.” ලෙස අදාළ සිදුවීමට මැදිහත් වෙන්න. තවත් අවස්ථාවක් සලකන්න. ඔබේ දරුවාට, තවත් දරුවෙක් සැර පරුෂ ආකාරයට හැසිරෙන්නේ යැයි සිතන්න. “හැමෝම එක්ක පරෙස්සමට සෙල්ලම් කරන්න. එතකොට කාටවත් හානියක් වෙන්නේ නැහැ” ලෙස එකී හැසිරීමට විරෝධය පළ කරන්නට ඔබට පුළුවන්.
3.3. දරුවාගේ පෞද්ගලික රුචි-අරුචිකම්, සීමාවන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් තබාගන්න.
දරුවාගේ හැසිරීම් ස්වභාවය පිළිබඳ අවබෝධයක් මාපියන් ලෙස ඔබට පැවතීම, දරුවාගේ අපහසුතාවකින් පෙළෙන්නේ දැයි හඳුනාගැනීම පහසුකරවනු ඇති. එකී හැසිරීම් හා දරුවා අකමැති දේ පිළිබඳව පවුලේ නෑහිතමිතුරන් වේලාසන දැනුවත් කර තබන්න. එවිට, පවුලේ සමීපතමයින් නොදැනුවත්ව හෝ දරුවා අකමැති හැසිරීමක් ප්‍රකට කිරීමට නොපෙළඹෙනු ඇති. නිදසුනක් ලෙස, ඔබේ දරුවා අනවශ්‍ය අතපත ගෑම්, වැළඳගැනිම් සඳහා අකමැති බව වේලාසන, දරුවා හා ගැටෙන, බාහිර පාර්ශවයන්ව දැනුවත් කරන්න.
3.4. කතන්දර මගින් පුද්ගලිකත්වය පිළිබඳ අදහස දරුවාට උගන්වන්න.
වයසට සරිලන කතන්දර, පොතපත මගින් පෞද්ගලිකත්වයේ සීමා පිළිබඳ දරුවාට අවබෝධ කරවන්න. ඇතැම් සංකීර්ණ මාතෘකා, සරලව හා අවබෝධ කරගත හැකි ආකාරයෙන් දරුවාට ඉගෙනීමට අවස්ථාව සැලසීම සඳහා මෙය ඉතා වැදගත් ප්‍රවේශයක්. මීට අමතරව යම් පුද්ගලයෙක් හෝ සංසිද්ධියක් නුසුදුසු බව හැඟේ නම්, නොපමාව දරුවා ඉන් ඉවත් කරන්න. සමාජීය වශයෙන් “හොඳ හිත” පවත්වා ගැනීමට වඩා ඔබේ දරුවා සුවපහසුවෙන් තැබීම ප්‍රමුඛ බව සිහිතබා ගන්න. එවැනි අවස්ථාවක් සඳහා මැදිහත්වී, එකී තත්වය පාලනය කළ හැකි මට්ටමක පෞරුෂයක් හා ධෛර්යය සම්පන්න බවක් ඔබ තුළ ගොඩනගා ගැනීමට වගබලා ගන්න.3.5 බාහිර පාර්ශවයන්ගේ සහය අවශ්‍ය තැන්හිදී ඉල්ලා සිටින්න.ඇතැම් තත්වයන් පාලනය කිරීම හෝ මැදිහත්වීම ඔබට කළ නොහැකි වන්නට පුළුවන්. දරුවා පාසලේ වෙනත් ළමයෙකු නිසා පීඩාවට පත්වන්නේ නම්, එය පාලනය කිරීම සඳහා පන්තිභාර ගුරුවරයාගේ හෝ විදුහල්පතිවරයාගේ සහය අවශ්‍ය විය හැකියි. එවිට, අවශ්‍ය සහය ඉල්ලා සිටින්න. දරුවා යම් අපචාරයකට දැනටමත් ගොදුරු වී ඇති බව හැඟෙන්නේ නම් බළධාරීන් දැනුවත් කරන්න. භ්‍රාන්තිය, කාංසාව වැනි තත්ව දරුවා තුළින් ප්‍රදර්ශනය වන්නේ නම් සුදුසු මනෝඋපදේශන ප්‍රතිකාර වෙත යොමුවෙන්න.වඩාත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, සමාජයට යම් කරුණු නිරාවරණය වේ යැයි ලැජ්ජාවෙන් හෝ අනෙකා සමග සිත් අමනාපයකම් ඇති වේ යැයි බියෙන්, දරුවාගේ අපහසුතාවන්ට මැදිහත් නොවී සිටීම නොකළ යුතු බවයි. කුමන හෝ දරුවෙකු කවර හෝ ආකාරයකින් අපහසුතාවට පත් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. සමාජයක් ලෙස අප එවැනි දේ සඳහා විරුද්ධ විය යුතුය. එකී ප්‍රවේශයේ පෙරගමන්කරුවන් විය යුත්තේ “මාපියන්” ය.
වෛද්‍ය අරුණි ලියනමාන.