free stats

අද වන විට ලෙඩ රෝග ඇති වීමේ අවධානම වැඩිහිටියන්ට දරුවන්ට කියා වෙනසක් නොමැති තරම්ය. දියවැඩියාව වැනි රෝග තත්ත්වවලින් වැඩිහිටියන් හා සමානවම පුංචි දරුවනුත් පීඩාවට පත්ව සිටීම එයට එක් උදාහරණයකි. අද අපි කතා කරන්නට සැරසෙන මේ වකුගඩු ආශ‍්‍රිත ගල් ඇති වීමේ තත්ත්වයද එසේය. මේ තත්ත්වයද ලෝකයේ ඇතැම් රටවල මෙන්ම අපේ රටේ දරුවන් අතරද අද වන විට දකින්නට ලැබෙන තත්ත්වයක් බවට පත්ව ඇත.

වකුගඩු ආශ‍්‍රිත ගල් සෑදීම සඳහා නිශ්චිත හේතු කාරණයක් දැක්විය නොහැකි වුවත් සාමාන්‍යයෙන් එසේ ඇති වන්නේ සාමාන්‍ය තත්ත්වයේදී මුත‍්‍රාවල දියවී පිටතට යන ලවණ වර්ග සාන්ද්‍රණයන් වැඩිවීම නිසා ඒවා  දිය නොවී වකුගඩු ආශ‍්‍රිතව තැන්පත් වීම නිසා බවයි වෛද්‍යවරු පවසන්නේ. දීර්ග කාලයක් තිස්සේ මේ ආකාරයෙන් තැන්පත් වීම හේතුවෙන් ගල් ඇති වීම සිදු වන බවත් දීර්ග කාලීනව ලබාගන්නා ඖෂධ වර්ග හේතුවෙනුත් මෙසේ ගල් ඇති වන බව පැවසෙයි.

කුඩා දරුවන්ට ගල් සෑදීමට බලපාන සාධක කීපයකි. එනම්,

  •               අධික ලූණු භාවිතය
  •              නිතර නිතර මුත‍්‍රා ආසාදන ඇතිවීම
  •             නිදන්ගත රෝග තත්ත්ව

එසේම මේ තත්ත්වයේදී සෑදී ඇති ගල් හෝ ගල්වල ප‍්‍රමාණය හෝ ස්වභාවයට අනුව දරුවෙකු බඬේ වේදනාව, උණ, මුත‍්‍රා සමග රුධිරය පිටවීම විම, මුත‍්‍රා කිරීමේ අපහසුව වගේම මුත‍්‍රා දැවිල්ල වැනි අපහසුතා පිළිබදව පැමිණිලි කරනු ඇත. එසේම සිරුර ඇතුළත පෙන්නුම් කළ හැකි තත්ත්වයන් ලෙස වකුගඩු ඉදිමීම හෝ අකර්මණ්‍ය වීම, මුත‍්‍රා ආසාදන, වකුගඩු ගල් තවදුරටත් වර්ධනය වීම. වැනි තත්ත්වයන් පරීක්‍ෂවලදී සොයා ගත හැකි වනු ඇත. කුඩා ප‍්‍රමාණයේ ගල් මුත‍්‍රා පිටකිරීමේදී ඒ හා සමග පිටව යා හැකි අතරම ඒවා රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමක් නොමැති තරම් විය හැකිය.

සාමාන්‍යයෙන් දරුවෙකු ඉහත දැක්වූ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් සහ ඒ දරුවා මෙවැනි තත්ත්වයකට පත්විය හැකි නිදන්ගත රෝග තත්ත්වයන් සහිත දරුවෙක් විය හැකි අයෙක්ද යන්න නිරාකරණය කරගැනීම සදහා අනිවාර්යෙන්ම ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් රුධිර පරීක්‍ෂාණ වෙත යොමු කෙරේ. අන්න ඒ නිසාම රෝග ලක්‍ෂණ පෙන්නුම් කළ වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වනු ඇත.

ගල සෑදී ඇති ස්ථානය, ගලේ ප‍්‍රමාණය හෝ සෑදී ඇති ගල් ප‍්‍රමාණය හා රෝග ලක්‍ෂණවලට අනුව ප‍්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු තීරණය කරයි.

වකුගඩු ගල් සදහා පවතින ප‍්‍රතිකාර 

  •             විශේෂ එක්ස්රේ පරීක්ෂණ, සීටී ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු කර රෝග තත්ත්වයේ නිශ්චිතව හඳුනා ගැනීම
  •             ඉන්පසුව ගලේ ප‍්‍රමාණය/ගල් සංඛ්‍යාව, ස්ථානය, රෝග ලක්ෂණ අනුව එය ශල්‍ය කර්මය කර්මයක් හෝ තරංග යවා
    කුඩු කර මුත‍්‍රා සමග පිට කර යැවීමට සැලසුම් කරයි
  •             සෑදී ඇති ගල ඉතාම කුඩා ප‍්‍රමාණයේ එකක් නම් දියර පානය කරවා මුත‍්‍රා සමග පිට වීමට සලස්වයි

ඔබත් ඔබේ දරුවාත් නිවැරදි ආහාර රටාවක් යටතේ වස විසෙන් තොර ආහාර එක්කරගනිමින් ජීවිත් වෙනවා නම් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවනු ඇත. උදාහරණයක් ලෙස ගත් කළ ලූණු අධික ක්‍ෂණික ආහාර වර්ග ඔබේ ආහාර වට්ටෝරුවෙන් ඉවත් කිරමට අද සිටම අදිටන් කරගන්න. එසේම දිනකට වතුර වීදුරු අටක්වත් පානයට ඔබේ පවුලේ සැවොම උනන්දු කරවන්න. වස විසෙන් තොර මනා ආහාර රටාව, අලූත් එළවලූ පලතුරු පරිභෝජනය හා නිසා පුරුදු අනුගමනය කිරීම මගින් මෙවැනි තත්ත්වයන් බොහොමයක් වළක්වා ගත හැකි බව අවබෝධ කරගන්න.

වෛද්‍ය එම්.එන්. ජයවර්ධන,
ජ්‍යේෂ්ඨ ලේඛකාධිකාරී,
දිලීරවේදී අංශය, වෛද්‍ය පර්යේෂණායතනය,
කොළඹ