free stats

මනීෂා නිවෙසට පැමිණියේ බෙහෙවින් කෝපයෙන්ය. කුඩා පුතුගේ මුහුණේ තිබුණේ ද වරදකාරී දුක්බර බවකි

ඇයි මනිෂා දුව, පුතා දුකින් වගේ 

බලන්නකෝ අම්මා අදත් මෙයා ළමයෙකුට නරක වචන කියලා බැනලා’’

ඇත්තද මගෙ පැටියෝ ඇයි එහෙම කිව්වෙ’’

එයා මට කරදර කළා…  ඉතිං මට කේන්ති ගියා.. මම පලයන් යන්න මෝඩයා කියලා බැන්නා’’

ඒත් එහෙම කියන්න හොඳ නැහැනේ ’’

ඇයි ඉතින් ඔයාලත් කේන්ති ගියාම අපේ බව්වට බනින්නේ පල යන්න බල්ලා කියලා’’

අත්තම්මාගේත් පුතාගේ සංවාදයට කන්දුන් මනීෂාට සැබවින්ම තමන් පිළිබඳ ඇති වූයේ ලැජ්ජාවකි. වරද පෙර පාසල් යන තම පුතුගේ නොව වැඩිහිටි ඔවුන්ගේම නොවේ දැයි ඇයට ඒ මොහොතේ සිතුණා.

පෙර පාසල් යන කුඩා දරුවන් නොකිවයුතු වචන පැවසීම නිසා අසරණ වූ අවස්ථා සම්බන්ධ අත්දැකීම් ඔබටත් ඇති. ඇත්තටම දරුවෙකුගේ කථනයේ වැදගත්ම කාල පරාසය වන්නේ අවුරුදු දෙකත් පහත් අතර කාලයයි. ඊට හේතුව මේ වයස් සීමාවේදී දරුවෙක් තමන්ගේ කථනයට අවශ්‍ය වචන ග‍්‍රහණය කරගනිමින් ඒවා අත්හදා බැලීමයි. ඉතිං බොහෝවිට මේ හුරතල් පැටව් ඔබ නරක වචනයක් යැයි ලේබල් කර ඇති වචන ඉතා ඉක්මනින්ම ග‍්‍රහණය කර ගන්නට හපන්නුය. අලූත් දේ සොයන මේ පෙරපාසල් වයසේ ඉන්න ගවේෂකයන්ට අලූත් වචන ගැන තිබෙන්නේ කුතුහලයක්. නිතරම නොඇසෙන වැඩිහිටියන් විවිධ හැගීම් පිටකරන අවස්ථාවල කියන වචන ඔවුන් බොහොම ඉක්මනින් අවධාරණය කරගන්නවා. නමුත් පෙර පාසල් වයසේ පසු වන ඔවුන් දන්නෙ නැහැ මේ වචන තෝරා බේරාගන්න. වැඩිහිටියන් කෝපය පිට කිරීමට නරක වචන කියන විට දරුවා හිතන්නෙත් කෝපය පිට කළ යුත්තේ එවැනි වචන පිට කිරීමෙන් බවයි. ආදරය කරන විට ඔබ කියන වචන ඔවුන් ආදරය ප‍්‍රකාශ කිරීමට යොදයි.

අනේ අපේ ගෙදර නම් ඔය වගේ නරක වචන පාවිච්චි කරන්නේ නැහැ, එතකොට කොහොමද මෙයා ඒවා කියන්නේ ’’

අනුකරණය කියන්නේ පුංචි පැටව් කැමතිම දෙයක්. දරුවන් වචන එකතු කරගන්නේ තමන් ජීවත් වන පරිසරයෙන්මයි. නිවස, පෙර පාසල, පොදු ප‍්‍රවාහනයේදි, පොළේදී හෝ  ඕනෑම තැනකින් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය වචන උකහා ගැනීමට ඔවුන් දෙවරක් සිතන්නෙ නැහැ. දරුවාගේ ශ‍්‍රවණය ඔබට වඩා තියුණුයි. පෙර පාසලේ දී වුවද විවිධ සමාජ මට්ටම්වල දරුවන් සමග ගැටෙන විට ඔවුන් සතු වචන නිරායාසයෙන්ම හුවමාරු කරගැනීම නිසා නරක වචන දරුවාගේ වාග් මාලාවට එකතු විය හැකිය. එසේම ඔබේ සාලෙ වැජඹෙන රුපවාහනීි හිතවතාගෙන් දරුවාගේ වචන මාලාව පෝෂණය වන බව අමතක කරන්න එපා. කාටුන්, ටෙලි නාට්‍ය හෝ විවිධ වැඩසටහන් හරහා වගේම විවිධ අවස්ථාවලදී ඔවුන්ට ඇසෙන වචන එකතු කරගන්නා දරුවන් ඒ වචන පරිස්සමට මතකයේ රදවා ගන්නවා. එසේ ග‍්‍රහණය කරගත් වචන තැනක් නොතැනක් නොබලා දරුවන් ප‍්‍රකාශ කිරිමෙන් දෙමාපියන් අපහසුතාවයට පත්වේ.

දරුවා නරක වචන කියද්දි අපට හරිම ලජ්ජායි, කොහොමද මේක වලක්වා ගන්නේ ’’

දරුවෙක් නරක වචන කියූ පමණින් ඒ දරුවාගේ හෝ අනෙක් දරුවන්ගේ අසාමාන්‍යතාවයක් තිබෙනවා යැයි නිගමනයකට එළඹෙන්නට එපා. අපි ඉහතින් පැහැදිලි කළ ආකාරයට දරුවන්ගේ වචන මාලාව පෝෂණය වන ආකාරය ගැන දැන් ඔබ දන්නවනේ. දරුවෙක් එවැනි වචන භාවිත කළ විට ඔබ දරුවාට ධනාත්මක හෝ සෘණාත්මක ප‍්‍රතිචාරයක් නොදක්වන්න.

ධනාත්මක අවධානයක් කියන්නේ දරුවා කරන යම්කිසි ක‍්‍රියාවකට අනුබල දීමයි. මෙවැනි අවස්ථාවකදී ඔබ සිනාසුනා නම් දරුවා සිතන්නේ එම වචන ප‍්‍රකාශ කිරීමෙන් අන් අයගේ ප‍්‍රසාදය තමන්ට හිමි වූවා කියාය. එවිට දරුවා නැවත නැවතත් එම චවන පැකිලීමකින් තොරව ප‍්‍රකාශ කරයි.

සෘණාත්මක අවධානය කියන්නේ එම අවස්ථාවේදී දරුවාට තරවටු කිරීමයි. එවිට දරුවාට ඇති වන කුතුහලය නිසා නැවතත් එම වචන පාවිච්චියට පෙළඹේ. එනිසා මෙම අවස්ථා දෙකේදීම දරුවාට අවධානය යොමු නොකොට සිටීම වැදගත්ය. පසුව දරුවා සැහැල්ලූවෙන් සතුටින් සිටින විට දරුවාට නරක වචන පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. එම වචන පැවසූ විට අනිත් පුද්ගලයාගේ සිත රිදෙන බවත් එවැනි වචන පුංචි දරුවන් කියන එක නොගැලපෙන බවත් ආදරයෙන් හොඳින් වටහා දෙන්න.

වැඩි පිරිසක් සිටින ස්ථානයක දරුවකු නරක වචන කීමට පෙළඹෙන්නේත් උත්සාහ කරන්නේත් අන් අයගේ විශේෂ අවධානය තමන් වෙත යොමු කර ගැනීමටයි. නොනවත්වාම දරුවා නරක වචන පවසනවා නම් එම ස්ථානයෙන් දරුවාව ටික වේලාවකට පිටතට රැුගෙන යන්න. එවැනි වචන නිසා අන් අයගේ අප‍්‍රසාදයක් ඇති වන බව සරලව පහදා දෙන්න.

එසේම ඔබේ නිවසේ නිතරම මෙම වචන භාවිත කරනවා නම් එම වචන සාමාන්‍ය භාෂාවක් ලෙස සිතන දරුවා එය පාවිච්චි කරයි. මෙවැනි දරුවන් සමාජයේ දී ද නිවසේ භාවිත කරන මෙම වචන ප‍්‍රකාශයට පත් කරයි. කෙසේ වුවත් දරුවාට මූලිකවම තවත් පුද්ගලයෙකුට ගරු කරමින් කතා කිරීමට පුරුදු පුහුණු කිරීම ඉතා වැදගත්ය. එය ක‍්‍රියාවෙන්ද ආදර්ශයෙන්ද දරුවන්ට ඉගැන්විය යුතුය. උදාහරණයක් වශයෙන් නිවසේ මවත් පියාත් තවත් අයෙකුට ගෞරවනීයව අමතයි නම් තවත් පුද්ගලයෙකුට ගරු කළ යුතු කතා කළයුතු ආකාරය කුඩා කල සිටම දරුවාට ඉගැන්විය හැකිය. එසේම මවත් පියාත් කතා කරනවිට ඔවුන් දෙදෙනාට දෙදෙනා ගෞරවයෙන් කතා බහ කරයි නම් දරුවා ද අන් අයට ගෞරවයෙන් කතා කළ යුතු බව අවධාරණය කරගනියි.

ගෙදර වැඩිහිටියන් ද යම් තීරණයකට එළැඹිය යුතුය. දරුවා කොයි තරම් පැහැදිලි කිරීම් කළ ද දිගටම නරක වචන කියනවා නම් දරුවා කැමති යමක් නොදී සිටීම, ටික වේලාවක් කතා කිරීම ප‍්‍රතික්ෂේප කිරීම වැනි සරල ක‍්‍රම මගින් මෙම වචන භාවිතය නුසුදුසු බව දරුවාට ඒත්තු ගන්වන්නට උත්සහ කරන්න.

ආදේශක වචන ලබාදීමට බොහෝවිට දරුවන් නරක වචන පවසන්නේ ඔවුන් කෝපයට පත්වූ විට ඔවුන්ගේ කෝපය අනිත් පුද්ගලයන්ට හැගවීම පිණිසය. දරුවාට ඔහුගේ කේන්තිය ප‍්‍රකාශයට පත්කිරීමට හැකි ආදේශක වචන හඳුන්වා දෙන්න. නරක වචනවලින් අන් අයගේ සිත් රිදෙන බවත් ඔවුන්ට දැනෙන්නට හැරිය යුතුය.

කුඩා අවදියේ දරුවන් නරක වචන ප‍්‍රකාශ කිරීම අනාගතයට බලපායීද’’

පෙර පාසල් දරුවන් නරක වචන ප‍්‍රකාශ කිරීමෙන් දිගුකාලීන බලපෑමක් ඇතිවන්නේ නැහැ. ඔවුන් යමක් කමක් තේරෙන වයසට පත්වන විට මෙවැනි වචන පැවසීම නුසුදුසු බව තේරුම් ගනිමින් තමා විසින්ම එම වචන භාවිතයෙන් ඈත් වේ. කෙසේ වුවත් සමාජයෙන් උකහා ගන්නා මේ නරක වචන යැයි ලේබල් කළ ඇතැම් වචන ප‍්‍රකාශයට පත් කිරීමෙන් දරුවාගේ මානසික හෝ මොළේ වර්ධනයට කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැත.

නමුත් මානසික ප‍්‍රශ්නයක් ඇති දරුවෝ මෙවැනි වචන ප‍්‍රකාශයට පත් කරන විට එය සැලකිය යුතුය. මන්ද adhd attention deficit hyperactivity disorder එනම් අඩු අවදානම් අධි ක‍්‍රියාශීලී දරුවන් තුළ ඉතා ඉක්මන් තීරණ ගන්නා, ක්ෂණිකව කටයුතු කරන, පුංචි දේටත් කලබලයට පත්වෙන, කණ්ඩායමක් විරුද්ධ වන සමහර දේවල්වලට ඔවුන් තදින් විරුද්ධ වන, කේන්තිය පාලනය කර ගත නොහැකි තත්ත්වයක් දැකිය හැකිය.

මනස සෙමින් වර්ධනය වන දරුවන් (Intellectual Developmental Disorder) තමන්ගේ ශබ්ද කෝෂයට එකතු කර ගැනීමක් සිදු වුවත් අදාල වන ලෙස එම වචන පාවිච්චි කළ යුත්තේ කුමන අවස්ථාවකදී ද යන්න තෝරා බේරා ගැනීමේ ගැටලූවක් ඔවුන්ට පවතිනවා. ඒ නිසා මේ දරුවන් දිගින් දිගටම ඔවුන් ග‍්‍රහණය කරගත් නරක වචන දිගින් දිගටම ප‍්‍රකාශ කරන්න පුළුවන්.

ළමා මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – මොනෑෂ් විශ්වවිද්‍යාලය,  ඕස්ටේ‍්‍රලියාව
කථිකාචාර්ය – වෛද්‍ය පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය

දිශාන්ති වෙදගේ