free stats

වර්තමානය වන විට බොහෝ දරුවන් වර්ධන අවධීන් කරා ලඟා වීමේ දී ඔවුන්ගේ භාෂාව, කතාව හා සන්නිවේදනය වර්ධනය තුළ ප්‍රමාදයන් පෙන්නුම් කිරීම සුලභ තත්ත්වයක් බවට පත්වී ඇත.

බොහෝ විට දෙමව්පියන් වශයෙන් තම දරුවාගේ කතාව හා භාෂාවේ වර්ධනයේ ප්‍රමාදයක් ඇති වූ විට වෛද්‍යවරයෙකු වෙත හෝ කථන හා භාෂා චිකිත්සකවරයකු වෙත යොමු වීම සිදුවන අතර එහිදී ලැබෙන පළමු පෙළ උපදෙසක් වන්නේ දරුවාගේ වයසට සරිලන ලෙස පෙර පාසලක් වෙත යොමු කරන ලෙසයි.

මෙවන් කතාවේ හෝ භාෂාවෙ වර්ධනය ප්‍රමාදයක් සහිත දරුවෙකු පෙර පාසලට යොමු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවාගේ භාෂා වර්ධනය උත්තේජනයට අවශ්‍ය වන්නා වූ පසුබිම ලබාදීමයි. මෙවන් තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පෙර පාසල් ගුරුවරයෙකු හට තවත් අභියෝගයක් වීමට ඉඩකඩ පවතී. ඇතැම් විට ඔබත් පෙර පාසල් පාලිකාවන් හෝ ගුරුවරියෙකු නම් මෙම අත්දැකීම ඔබටත් දැනටමත් තිබෙන්නට පුළුවනි. ඉතින් අද අප සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවයි.

දරුවාගේ පූර්ව ළමාවිය සංවර්ධනය ඉතාමත් වැදගත් වන අතර ඒ සඳහා පෙර පාසල තුළින් ලැබෙනුයේ මහත් අස්වැසිල්ලකි. දරුවන් වරධනයෙන් එකිනෙකට වෙනස් වූ බැවින් මෙවන් කථන හා භාෂා වර්ධනය ප්‍රමාදයක් සහිත දරුවකු ඔබට තවත් සුවිශේෂී වන්නේ ඒ නිසාවෙනි.
තවද, ඔබට මෙවන් දරුවන් පහසුවෙන් හඳුනා හඳුනාගැනීමට හැකියාව පවතී. සාමාන්‍යයෙන් මෙම දරුවන් ඔවුන්ගේ සම වයසේ අනෙකුත් දරුවන් මෙන් කතා නොකිරීමෙන් ම ඔබට මෙය පළමුව හඳුනා ගැනීමට හැකි අතර මෙවන් දරුවකු තුළ ඇති විය හැකි ප්‍රධාන ගැටලු‍ කිහිපයකි.

■ ගුරුවරයා ලබාදෙන විධාන අනුගමනය කිරීමට අපහසු වීම
■ වාචිකව ලබා දෙන ලබාදෙන පිළිතුරු ඉතාමත් කෙටි වීම
■ දරුවන් සමග කුළුපග ව කතා කිරීම අවම වීම
■ නිතර තනි හෝ සරල වචන පමණක් කථා කිරීම
■ නිතර අංගචලන භාවිතයෙන් සන්නිවේදනයේ යෙදීම
■ ඇතැම් විට එක වචනයක් හෝ කිහිපයක් බහුලව භාවිත කිරීම හා හෝ එම
වචනය හෝ කිහිපය සෑම දෙයක් සඳහාම ආදේශ කර ගැනීම ආදිය ප්‍රධාන වේ.

මෙවන් දරුවන් සමග කටයුතු කිරීමේදී පළමුකොට ඔබ දරුවාගේ දෙමාපියන් සමග සාකච්ඡා කිරීම ඉතාමත් වැදගත් වන අතර එමගින් දරුවා කථන චිකිත්සාව ලබා ගන්නවාද දෙමව්පියන් මේ පිළිබඳ දැනුවත් ද යන්නත් ඔබට දැනගත හැකිය. ඉන් පසුව පෙර පාසල තුළ මෙවන් දරුවන්ට සුවිශේෂ වූ ඉගෙනුම් ක්‍රියාකාරකම් සකස් කර ගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා පින්තූර පොත් නිර්මාණය කිරීම, දරුවා සමග වචන උච්චාරණය පුහුණු වීම, දරුවන් හට නිර්මාණශීලීව සෙල්ලම් කිරීමට වැඩි අවස්ථාවක් ලබා දීම, කතන්දර කියා දෙන විට මෙවන් දරුවන් සඳහා සුවිශේෂී ආධාරක පින්තූර මාධ්‍යයෙන් හෝ ලබාදීම සිදු කිරීම කළ හැකිය.

නිතර අනෙක් දරුවන් සමඟ මුහු වී සෙල්ලම් කිරීමට, කණ්ඩායම් ක්‍රියාකාරකම් සිදුකිරීමට අවස්ථාව ලබාදීමත් ඔබට සිදු කිරීමට හැකිය. තවද මෙවන් දරුවන් සමඟ සන්නිවේදනය කරන විට සරල වාක්‍ය භාවිතා කිරීම, ඇතැම් විට දරුවා භාෂා දෙකක් භාවිතා කරන්නේ නම් කථන හා භාෂා චිකිත්සකවරයෙකු හරහා නිවැරදි උපදෙස් ලබා ගැනීම ද ඉතාමත් වැදගත් වන අතර දරුවා කාලයත් සමග කතාව හා භාෂාව වර්ධනය නොවුණහොත් දෙමව්පියන් හා දරුවා සමග කථන හා භාෂා චිකිත්සකවරයෙකු වෙත යොමු කිරීමද ඉතාමත් වැදගත් වේ.

සජිනි පෙරේරා
කථන හා භාෂා චිකිත්සක