free stats

පුංචි පැටියෙක් ඉපදුනාය පස්සේ අම්මට තාත්තට තියෙන ලොකුම හීනය අනේ මගේ පැටියා ලොකු වෙන්නේ කවද ද තනියම ඇවිදින්නේ කවද ද ? හුරතල් වචන කතා කරන්නේ කවද ද ? කියන එක. ඒ හැරෙන්න දෙමාපියන්ට වෙන හීනයක් නැහැ.

කෙළි පැටික්කියක් නම් ලස්සනට කොණ්ඩයක් බඳින්න, ලස්සන ලසස්න ඇඳුම් අන්දවන්න, අම්මලා හරිම ආසයි. ඒත් පොඩි දරුවන්ගේ කොණ්ඩය වවන්න හුඟක් දෙමව්පියෝ කැමති වුණත් පැටියාගේ වර්ධනය අඩුවේවි කියලා අපේ අම්මලා අතර ලොකු බියක් තියෙනවා.

ඒ වගේම දරුවාගේ කොණ්ඩය කැපීම සඳහා දරුවා බහ තෝරන තුරු සිටිය යුතුයි. නැතහොත් දරුවා කතා නොකර සිටිවි යැයි බොහෝ දෙමාපියන් අතරත් ලොකු බියක් පවතිනවා. පුංචි පැටියෙක් ඉපදීලා ගෙදරට ගේනකොට ඇදහිලි, විශ්වාස, සාම්ප්‍රදායික ක්‍රම ඕනම නිවසක දකින්න පුළුවන් පොදු කරණා ටිකක්. ඒවාට පටහැනි වොනවාට සහ විරුද්ධ වෙනවාට අපේ අම්මලා නම් හරිම තරහයි.

මේ දරුවට මොට්ටුවක් තියන්න ඇස්වහ වදීවි… ස්ටයිල් එකට කොණ්ඩා වැව්වා වගේ නෙවෙයි ඔය දරුවා හැදෙන එක බාල වෙනවා. බහ තෝරන කාලේ කොණ්ඩ කපන්න එපා දරුවා වචන ගොත ගහනවා.”

මේ විදිහට අපේ අම්මලා සාම්ප්‍රදායික විශ්වස එක්ක අදටත් දරුවෙක් ඉපදුනාම අපේ අම්මලා එක්ක ගෝරණාඩු කරනවා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඇත්ත කතාව නම් මේ දේවල් වල සත්‍ය අසත්‍ය කොහොම වුණත් මේ සාම්ප්‍රදායික චාරිත්‍රවල පුංචි සුන්දරත්වයකුත් තියෙනවා. අපි කොච්චර තාක්‍ෂණික ක්‍රම අතින් ඉහළ ගියත් මේවායින් මිදෙන්න අපට ටිකක් අමාරුයි. මව්පදවිය ලැබූ සහ ලබන්න සිටින මව්වරුන්ට මේ දේවල් ප්‍රයෝජනවත් වෙන නිසා, මේ ගැන විද්‍යාත්මකව සොයා බලන්න අපි සිතුවා.

කුඩා දරුවන්ගේ හිසකෙස් වැවීමෙන් දරුවාගේ ශරීර වර්ධනය කෙරෙහි බලපෑමක් ඇති වෙනවාද ?

හිසකෙස් කියන්නේ අපේ ඇගේම කොටසක්. ශරීරය, කොණ්ඩය එක සමාන්තරව හැම දරුවකුගේම වර්ධනය වෙනවා. ශරීර වර්ධන බාල වෙනවා කියලා කොණ්ඩෙ කැපුවට දරුවාගේ ශරීරය වර්ධනය වෙන එක වැඩිවෙන්නේ නැහැ.

ඉපදිලා අවුරුදු පහ වෙනතෙක් දරුවාගේ ශරීර වර්ධනය ඉතා සීග්‍රයෙන් සිදු වෙනවා. මේ වර්ධනනය දරුවකුගේ වයස අවුරුදු 16ත් 18ත් වන තෙක්ම සිදු වෙනවා. අපේ අම්මලා ගොඩදෙනෙක් ගැහැණු දරුවන්ගේ කොණ්ඩය වවන්න ආස වුණත් පුංචි කාලෙදී දරුවන්ගේ හිසකෙස් වැව්වොත් ශරීර වර්ධනයට බලපෑමක් අති කරයි කියලා අම්මලාගේ හිත්වල මතයක් තියෙනවා. ඇත්තටම කුඩා වයසෙදි හිසකෙස් වැව්වා කියලා දරුවන්ගේ ශරීරයේ වර්ධනයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ.

ඒත් පුංචි වයසෙදී කොණ්ඩය වැව්වොත් අනතුරු බලපෑම් ටිකකුත් තියෙනවා.

පුංචි පැටියෙක් කියන්නේ, දඟලනවා, දුවපැන ඇවිදිනවා, විසේකාරකම පොඩ්ඩක් තියෙනවානේ. එතකොට කොණ්ඩේ පැටලෙන්න පුළුවන් ගින්දරට පිච්චෙන්න පුළුවන්, තව එකක් තමයි දරුවාගේ කොණ්ඩය වවනවා නම් නිතරම පීරලා පිරිසිදුව පිළිවෙලට තියගන්නත් අම්මලා මතක තියාගන්න ඕනා. දහඩිය ඉස්හොරි, උකුණන් හරි ඉක්මණට පුංචි දරුවන්ට බෝ වෙනවා. එයාලට තනියම පිරිසිදු කරගන්න තරම් දැනුමක් නැති නිසා අම්මලා දරුවන්ගේ පිරිසිදුකම ගැන අවධානය යොමු කරන්න ඕනා. මොකද මේ තුළින් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්න පුළුවන්. එම නිසා දරුවකුට තමන්ගේ පිරිසිදු කිරීමේ කටයුතු තනිවම කරගත හැකි වයස වන තෙක් කොණ්ඩය කොටට තැබීම වඩාත් සුදුසු වෙනවා.

කොණ්ඩය ඇස් වලට වැටීමෙන් දරුවාගේ ඇස් වපර වෙනවාද?

මෙයත් හුඟක් දෙමාපියන් අතර තියෙන මතයක් වගේම, මිත්‍යාවක්. කොණ්ඩය මුහුණට වැටීමෙන් වෙන්නේ දරුවාගේ ක්‍රියාවන් වලට බාධාවක් වීම පමණයි. එහෙම නැතිව ඇස් වපර වීමක් සිදුවන්නේ නැහැ. ඇස්වල වපරය එන්නේ අපේ මාංශ පේෂී දුර්වල වුණොත් පමණයි.

තව කාරණයක් තමයි දරුවාගේ කොණ්ඩය කැපීම සඳහා දරුවා කතා කිරීමට ආරම්භ වනතුරු සිටිය යුතුයි. නැතහොත් දරුවා කතා නොකර සිටීවි, ගොත ගහාවි කියලා දෙමාපියන් තුළ ලොකු බයක් තියෙනවා.

දරුවකු බහ තෝරන වියේදී ගොත ගහන්නේ, කථනය ප්‍රමාද වෙන්නේ එයාගේ සමීපතමයකුගේ වෙන් වීමක්, එහෙම නැත්නම් මව පියාගේ වෙන් වීමක්, ජීවත් වුණු ගෙදර පරිසරය මාරු වුණොත් වගේ අපි හිතන්නේ නැති එහෙත් දරුවාගේ හිතට ගොඩක් සංවේදී දෙයක් සිදුවුවහොත් තමයි දරුවා ගොත ගැසීම පටන් ගන්නේ.

දරුවාගේ හිස මුඩු කිරීම

ගොඩක් මව්පියන් කරන තව දෙයක් තමයි දරුවකුගේ මුල් හිස කෙස් කපා හිස මුඩු කිරීම එසේ කිරීමෙන් හොඳින් හිසකෙස් වර්ධනය වෙනවා කියලා මව්පියන් අතර මතයත් තියෙනවා. ඒත් එහිකිසිදු සත්‍යයක් නැහැ. පළමු අවුරුද්ද තුළ දරුවකුගේ හිස මුඩු කිරීම ඉතාම අනතුරුදායකයි. හිස ඔසවන කාලේ එහෙම නැත්නම් පෙරළන අවධියේ දී හිස මුඩු කිරීමෙන් හිසට අනතුරු වෙන්න පුළුවන් හිස කෙස් වැවෙන්නේ නැති දරුවන්ට ප්‍රෝටීන් බහුල ආහාර වැඩිපුර ලබා දීමෙන් ශරීරය වගේම හිසකෙස් වර්ධනය කරගන්න පූළුවන්.

පැටියාගේ හිසකෙස් නැකතට කපන්න ඕනා. ඒ හිසකෙස් ගලා යන ජලයට දාන්න ඕනා. මේ විශ්වාසයන්හි කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති වුණත් මෙවැනි දේවල් මිහිරි මතයන් ලෙස කිරීමේ වරදක් නැත. අලුත ඉපදුනු දරුවකුගේ කොණ්ඩය කපන්න බැරි වුණොත් බහතෝරන කාලය පහුවෙන තෙක් කොණ්ඩය කපන්න හොඳ නැහැ කියලා දිගටම හිසකෙස් වැවීමෙන් වෙන්නේ දහඩිය දමන උණුසුම් අවස්ථාවලදී දරුවා පීඩාවට පත්වී ශරීර සෞඛය අතින් පිරිහීම පමණයි.

සටහන තිසුරි අතුකෝරල

උපදෙස් – කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
පුන්‍යානි බන්දුතිලක මහත්මිය.