free stats

මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට ”

කියන්නේ අපි අහල තියෙන අපූරු ගීතයක්. ඇත්ත පුංචි පැටවු මල් වගේ තමයි. එයාලා ඉක්මනින් හැමදේම ඉගෙන ගන්නවා. ඒ නිසාම සමහර වෙලාවට පැටියා වයසට වඩා හිතන්න කතා කරන්න පෙළඹෙන්නත් පුළුවන්. ඒක හරිම සුන්දරයි. නමුත් වුවමනාවට වඩා ඒ විදියට දරුවා කුඩා කාලෙදි ම ළමා වැඩිහිටියෙක් වෙන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අන්න ඒ නිසාම මල් වගේ පුංචි පැටියාව මලක් වගේ බලාගන්න එක අම්මාගෙයි තාත්තාගෙයි වගකීමක්.

පැටියාව පෙර පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරන වයසෙ දි තමයි එයා මුලින් ම අම්මා තාත්තා නැතිව අනෙක් අය එක්ක තනිවෙන්නේ. මේ කාලෙ දි පැටියා විවිධ සමාජ මට්ටම්වල ජීවත් වෙන දරුවන් සමඟ යුහුසුලුව ක්‍රියාකාරි වෙනවා. එවැනි පරිසරයක දි දරුවා යහපත් වගේම අයහපත් දේවල් ඉගෙන ගන්න තියෙන ඉඩකඩ වැඩියි. මෙන්න මේ ගැන අම්මා අවබෝධයෙන් ඉන්න ඕන. මොකද හුඟක් වෙලාවට අම්මා තමයි පැටියට වඩාත් සමීප වෙන්නේ. පැටියා අම්මා එක්ක තමයි හැමදේම බෙදාගන්නේ. ඉස්කෝලෙ දි වුණු අපූරු අමුතු සිදුවීමක් වුණත් පැටියා කියන්නේ අම්මා එක්ක නේ.

ඒ වගේම දරුවා වැඩියෙන්ම සම්බන්ධකම් පවත්වන වැඩිහිටියන් කවුද කියන කාරණය පිළිබඳවත් අම්මා තාත්තා දෙන්නම විමසිලිමත් වෙනවා නම් හොඳයි. දරුවා ඉන්නේ තාමත් හොඳ නරක දෙකම තේරුම් ගන්න පුළුවන් වයසක නෙවෙයි. සමහර විට එයාව වැරදි දෙයකට පොළබවා ගන්න කෙනෙකුට හරිම පහසුයි. දරුවට පුංචි අල්ලසක් දීලා දරුවාව වැරදි දේකට යොමු කරගන්න මාන බලන අය ඕන තරම් ඉන්නවා. මෙන්න මේ පිළිබඳව කතා කරන එක වෙලාවක අම්මා කෙනෙක් මෙහෙම කතාවක් කිව්වා.

මම බබාට කියලා තියෙන්නේ මොනවාහරි දුන්නොත් ගන්න හැබැයි කන්න එපා අතේ තියාගන්න කියලා. මොකද දෙයක් දෙනකොට ගත්තේ නැතිවුණාම බලෙන් කවන්න වුණත් ඉඩ තියෙනවා නේ. අනික මම බබාට කියනවා ඕනම මනුස්සයෙක් කරදරයක් වගේ කතාවට එනවා නම් එයාව පුළුවන් තරම් මගඇරලා පැත්තනට වෙන්න කියලා. හුඟක් වෙලාවට ඉස්කෝලේ ඇරුණාම බබා ඉස්කූල් වෑන් එක එනකල් කොහේවත් යන්නේ නැහැ. අනිත් යාලුවෝ එක්කම රැදිලා ඉන්නවා.”

දරුවාට දෙයක් කියා දෙන්න ඕන තරවටු කරලා නෙවෙයි. තරවටු කලොත් දරුවා ඒ දේවල් තේරුම් ගන්නේ නැහැ. හැමවෙලාවෙම එයාට යමක් හොඳින් තේරුම් කරලා දෙන්න උත්සහ කරන්න. ඒක වඩාත් සුදුසුයි. පුංචි පැටියෙක් කියන්නේ මලක්. ඒ මල පරිස්සමෙන් රැකබලා ගැනීම ඇත්තටම වගකීමක්. මේ පුංචි පැටියා තවත් ටික කාලෙකින් වැඩිහිටියෙක් බවට පත්වෙනවා. එතනින් පස්සේ එයා සමාජය සමඟ ගණුදෙණු කරන්නේ අර කුඩා අවධියේ දි ලැබුණු අත්දැකීම් එක්ක. සමහර විට අකාරුණික ආයතන ප්‍රධානියෙක්, අනිත් අයව අපහසුතාවයට පත් කරන නිලධාරියෙක් ඔබට ඔබේ රාජකාරි ජීවිතයේ මුණගැසි තිබෙනවා නම් අන්න ඒ අයගේ ළමා කාලය බොහොම අඳුරු එකක් වන්නට තිබෙන ඉඩකඩ ඉතාම වැඩියි.

ඔබේ පුංචි පැටියත් මේ මොහොතේ කායිකව හෝ මානසිකව එහෙමත් නැත්නම් වාචිකව අතවරයට ලක් වෙනවා නම් එහි ප්‍රතිපලය අඳුරු එකක් වන්නට පුළුවන්. කාටවත්ම පේන්න බැරි කිසිම කෙනෙක් ලඟ ආදරණීය චරිතයක් වෙන්නට දන්නේ නැති හැමතැනකින්ම ප්‍රතික්‍ෂෙප වුණු කෙනෙක් වෙන්න ඔබේ දරුවටත් සිදුවෙයි. එය අවසානේ ඔහුටම මානසික පීඩනයක් වෙලා ජීවිතය හානි කරගන්නටත් හේතුවක් වෙන්න පුළුවන්.

දරුවෙකුගේ හිත පිරිසිදු රෙදි කෑල්ලක් වගෙයි. එයාගේ හිත අපිරිසුදු වෙන්නේ කාලයත් එක්කයි. ඒ නිසාම දරුවාගේ සිත පිරිසිදු යහපත් දෙයින්ම පුරවන්න පුළුවන් නම් දරුවා යහපත් දරුවෙක් කරන්න අමාරු නැහැ. දරුවා සතුන්ට පරිසරයට ගහ කොළට ආදරය කරන දරුවෙක් කරන්නට දෙමව්පියන් උත්සහවත් වීම අනිවාර්යයි. ඒ වගේම අපේ උරුමයන්, අපේ ඉතිහාසය, අන් අය සමඟ සුහදව කටයුතු කිරීමේ අවශ්‍යතාව, අන්‍ය ජාතීන් සමඟ සුහදව කටයුතු කිරීම, ආදිය ඉගැන්වීමෙන් දරුවා යහපත් දරුවෙක් ලෙස සමාජයට දායාද කළ හැකියි.