free stats

මාස හත පහුවුණාට පස්සේ ඕනම බබෙකුට කාගෙවත් උදව්වක් නැතිව තනියම වාඩි වෙලා ඉන්න පුලුවන්. ඒ වෙද්දි එයාගේ පිට කොන්ද හොඳින් ශක්තිමත්ව වැඩිලා තියෙන්නේ. මේ නිසාම ඒ කාලෙදි දරුවා නාවන වෙලාවට එයාව බේසමේ වාඩි කරලා නෑව්වට කමක් නැහැ. හැබැයි බබාව නාවන වෙලාවට අම්මා හෝ බබාව නාවන කෙනා සුව පහසුව වාඩි වෙන්න ඕන. වැඩි වේලාවක් වැරදි ඉරියව්වකින් වාඩි වෙලා හෝ නැවිලා ඉන්න එක කොදු ඇට පෙළේ දිර්ඝ කාලින ආබාධවලට හේතු වෙනවා.

බබාව නාවන්න ගන්න බේසමට පොඩි රබර් මැට් එකක් එලන්න පුලුවන් නම් වඩාත් හොඳයි. මොකද ප්ලාස්ටික් බේසම් සියල්ලම ලිස්සන සුලු ඒවා නිසා එයාව බේසමෙන් තිබ්බට පස්සේ ලිස්සලා යන්න ඉඩ තියෙනවා. එයින් වතුර පෙවෙන්න පුලුවන්. මේ මැට් එක දැම්මට පස්සේ දරුවාව ලෙස්සලා යන්නේ නැහැ. නමුත් නාවලා අවසන් වනතරුම අම්මා හෝ අත්තම්මා ලඟ ඉන්නම ඕන.

බේසමට දාන්න ඕන හොදින් රත්කර නිවාගත් මද උණුසුම් ජලය පමණයි. බේසමට ජලය දැම්මට පස්සේ ඇල් වතුර කලවම් කරමින් ටිකෙන් ටික දරුවාට සුදුසු පරිදි උණුසුම අඩුකරන්න පුලුවන්. පිටි අල්ලට වතුර බිංදු කිහිපයක් දමා බැලීමෙන් ජලයේ උණුසුම ප්‍රමාණවත් ද කියලා දැනගන්න පුලුවන්. ප්‍රමාණවත් පරිදි උණුසුම සකසාගත්තට පස්සේ දරුවාව සෙමෙන් බේසමෙන් තැබිය හැකියි. ඒ වගේම දරුවාගේ පිටට සහ බෙල්ලට අත තියලා සෙමින් බේසමෙන් තබන එක වඩාත් සුදුසුයි.

ඉන් පස්සේ ටික වේලාවක් බබාට වතුරත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න පුලුවන්. නාවන වෙලාවේ බබා එක්ක කතා කරන්න හිනාවෙන්න පුලුවන් නම් වඩාත් හොඳයි. ඒ අතරෙම සෙමින් සෙමින් එයාගේ බඩ පපුව උරහිස් තෙමන්න. ඒ විදියට ටිකෙන් ටික දරුවාව නෑම සඳහා සුදානම් කරන එක වඩාත් සුදුසුයි. මුහුණ සෝදන විට අත වතුරෙන් තෙමලා මුහුණ පිරිමදින්න.

සමහර මව්වරු දරුවා නාවන වෙලාවට සබන් පාවිච්චි කරනවා. ඒ වගේම අවශ්‍ය නම් ළඳරු සමට ගැලපෙන සේදුම්කාරකයක් පාවිච්චි කරත් කමක් නැහැ. දරුවාගේ සිරුර මුලින් සෝදලා පිරිසිදු කරගෙන පසුපස ප්‍රදේශය පසුව සෝදා පිරිසිදු කරගන්න එක වඩාත් සුදුසුයි. මෙයින් එක් තැනක ඇති විශබීජයක් තවත් තැනකට ඇතුල් වීම වලකිනවා.

BATH MAT

මෙය බේසමේ අඩියේ අතුරා ඒ මත දරුවා තබන්න පුලුවන්. එය දරුවාට ආරක්ෂා සහිත ක්‍රමයක් වනවා. මෙයින් දරුවාව ආරක්ෂාකාරි ලෙස බේසමෙන් තැබිය හැකියි.

  1. බබාව බේසමෙන් තියන්න.

පිටට එක් අතක් ද අනෙක් අත ගෙලත් සමග හිසට ද තබා දරුවාට සෙමෙන් බේසමෙ සිටිය හැකියි.

  1. මුලින්ම සිරුරේ ඉදිරිපස ප්‍රදේශය තෙමන්න.

ටිකෙන් ටික දරුවාගේ ඇගට වතුර දමමින් දරුවාගේ සිරුර තෙමන්න. මුලින්ම මෙලෙස තෙමන්නට අවශ්‍ය වන්නේ සිරුරේ ඉදිරිපසයි.

  1. ගෙල සහ පිට ප්‍රදේශය තෙමන්න

දරුවා බේසමේ වාඩි කරවා පිට ප්‍රදේශය සහ ගෙල හොදින් පිරිමදිමින් සෝදන්න. ගෙල ප්‍රදේශයේ ලේසියෙන් දහදිය කුණු රැදෙන නිසා හොඳින් පිස දැමීම කල යුතුයි. ඒ වගේ ම දැත්වල කිසිල්ල හොඳින් සෝදා පිරිසිදු කරන්න.

  1. පිටුපස ප්‍රදේශය සෝදන්න

දරුවාගේ පපුවට අත තබා අනෙක් පසට හරවා පිට ප්‍රදේශය හොදින් සෝදා පිරිසිදු කරගන්න.

  1. නෑවිම අවසානයේ දරුවා බේසමෙන් ඉවතට ගන්න.

දරුවාගේ ගෙල ප්‍රදේශය සහ ඔලුව අතේ මැණික් කටුවට සිටින සේ අත තබාගෙන අනෙක් අතින් දරුවාගේ පසුපස ප්‍රදේශය අල්වාගෙන දරුවා ඔසවා තුවායක් මත තබා ඔතාගන්න.