free stats

දරුවන් සමාජශීලී කරන්න වගේම දරුවන්ගේ බුද්ධිමය වර්ධනය සදහාත් ක්‍රියාකාරකම් මනා පිටිවහලක් සපයනවා. සෙල්ලම් කිරීම කියන්නේ හොද ක්‍රියාකාරකමක්. මේ තුලින් හොද ව්‍යායාමයක් ලැබෙනවා. ඒ වගේම එකිනෙකා සමග සහයෝගයෙන් වැඩ කරන්න ජයපරාජය විද දරාගන්න ඉවසීම ප්‍රගුණ කරන්න ක්‍රීඩාව කියන්නේ මහගු අත්වැලක්. සෙල්ලම් කරනවිට එකිනෙකා සමීප වනවා. විනෝදයක් ලැබෙනවා.කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ සහ තවත් රටවල් කිහිපයකම පිහිටුවා ඇති ළමා සංවර්ධන ආයතන මගින් සිදුකරන ලද සමීක්ශනවලට හා පර්යේෂණවලට අනුව ළදරුවන්ට දෙමව්පියන් ගේ මැදිහත්වීම නොමැතිව තනිවම වෙනත් දරුවන් සමග සෙල්ලම් කිරීමට ඉඩදීම කල යුතුයි. නමුත් දෙමව්පියන් සමග සෙල්ලම් කිරීමත් හොද බව ඔවුන් ගේ මතය වනවා. මෙතැනදී ක්‍රමවත්ව දිනපතාම දරුවා සමග සෙල්ලම් කිරීමට කාලය වෙනකර ගන්න පුලු‍වන්. ඔවුන් මෙයට කැමැත්තක් දක්වනවා. එය එකිනෙකා අතර බැදීම් තිර කිරීමටත් හේතුවක්.

සෑම විටම කරන ක්‍රීඩාව කුමක්ද යන්න තීරණය කලයුත්තේ දරුවායි. කරන සෙල්ලම පිලිබද අදහස් දැක්වීමට තරග නීති රීති ඇත්නම් ඒවා ඉදිරිපත් කිරිමට ඉඩ ලබා දියයුත්තේ ඔහුටයි. කරන සෙල්ලම තේරුමක් නැති විදියේ එකක් වුණත් ඔබට එයට එකග වන්නට සිදු වනවා. සෙල්ලම කල යුතු ප්‍රමාණය එය නැවැත්විය යුතු වෙලාව පිළිබදව ඔබ අවබෝධයෙන් සිටිය යුතුයි. සෙල්ලම් කල යුතු කාල සීමාව ගැන දරුවා සමග කතා කිරිමෙන් දරුවා තුල විනයක් ඇති වනවා.

සැබෑ ජීවිතයේදි අප මුහුණ දෙන යම් යම් කාරණා ගැන අවබෝධයක් ලබා දීමට ද සෙල්ලම් කිරීම යොදාගන්න පුලු‍වන්. බෝනික්කන් වැනි දේ භාවිත කිරිම මගින් එවැනි සෙල්ලම් කරන්න හැකියාව තියෙනවා. අප විසින් නොකල යුතුදේ පවා දරුවාට පෙන්වා දෙන්න මෙය කදිම ක්‍රමයක්. ඒ තුලින් ඔහුගේ සිතේ යම් හැගීමක් ස්තීරවම ඇතිකල හැකි බව මනෝ විද්‍යාඥයන් ගේ මතයයි.

ඒ වගේම ලමා සංවර්ධන ආයතන මගින් දරුවන් සමග සෙල්ලම් කලයුතු ස්තාන පිළිබදව මෙහෙම කියනවා. ඒ අනුව සෙල්ලම් කරන්න නිතර එලිමහන යොදාගන්න එක හොදයි. බෝල ගැසීම , ඔන්චිල්ලා පැදීම, කෝම්පිට්ටු සෑදීම, අවට පරිසරය නැරඹීමට යාම, වගේ ක්‍රියාකාරකම් ඉතාම සුදුසුයි. මේ හැම සෙල්ලමකදිම ජය පරාජය පිළිගන්නා තැනට දරුවන් ගේ මනස සකස් කිරීම වැදගත්.

දරුවා එක්ක එකතු වෙලා ප්‍රෙහෙලිකා විසදන්නත් පුලු‍වන්. චිත්‍ර පාටකිරීම වගේ ක්‍රියාකාරකම් ද වඩාත් සුදුසු වනවා. සංගීතයට සවන් දීම, දරුවා සමග සංගීත භාණ්ඩයක් වාදනය කරමින් ක්‍රියාකාරකම්වල නිරත වීම ආදිය ද බුද්ධි වර්ධනය සදහා හොදම ක්‍රියාකාරකම්. කතා පොත් කියවීම දරුවාට කතා කියන්නට ඉඩ ලබාදීම කතාවක් තෝරා ගැනීමට දරුවාට අවස්තාව ලබා දීම වැනි දේ බුද්ධි වර්ධනයට ඉවහල් වනවා.