free stats

දරුවෙකු බලාපොරොත්තු වෙන ගැබිණි මවක් නිරන්තරව තමන්ගෙ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමත්, අවට පරිසර තත්ත්වයන් වල වෙනස්වීම් මත ඇතිවන රෝගාබාධ වලින් ප්‍රවේශම් වීමත් ඉතා වැදගත්. මේ එලඹිලා තියෙන්නෙ වැසි සමය. දිවයිනේ සෑම ප්‍රදේශයකටම පාහේ මේ දිනවල වර්ෂාව ඇති වෙනවා. ඉතින් වර්ෂා සමයත් එක්ක බැඳුණු ලොකුම සෞඛ්‍ය තර්ජනය තමයි⁣ ඩෙංගු කියන්නෙ. ඩෙංගු මදුරුවා වැඩිපුරම හිස ඔසවන්නෙ මේ කාලයෙ. ඒ නිසා නිරන්තරව ජනතාව දැනුම්වත් කිරීම සෞඛ්‍ය අංශ මගින් සිදුකරනවා.

ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම වර්තමානයේ ලංකාව මුහුණ දෙන විශාල අභියෝගයක් බවට පත්වෙලා. බාල, තරුණ, මහළු කොයි කවුරුත් මේ රෝගයේ ගොඳුරක් වන්නට පුළුවන්. විශේෂයෙන් ගැබිනි වියේ ඉන්න අම්මලා ඩෙංගු රෝගයෙන් ප්‍රවේසම් වීම ඉතා වැදගත්. මේ නිසා ඒ පිලිබදව ඔබව දැනුම්වත් කිරීමට අපි හිතුවා.

ඩෙංගු රෝගය කියන්නෙ ⁣මොකක්ද?

මේ රෝගය වෛරසයක් හරහා බෝ වන රෝගී තත්ත්වයක්. ඩෙංගු බෝ කරන වෛරස් වර්ග 4 ක් හදුනා ගන්න පුළුවන්. මේවා ව්‍යුහයෙන් සමාන වුනත් ක්‍රියාකිරීමේදි, බෝ කිරිමේදි වෙනස් වෛරස් ලෙස ක්‍රියා කරනවා. මේ වෛරසය ව්‍යාප්ත කරන වාහක මදුරු වර්ග වන්නේ ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස්. මේ වාහක මදුරුවන් වැඩිපුරම දෂ්ට කරනු ලබන්නෙ දිවා කාලයේදී. උණ තත්ත්වය මුලින්ම මේ රෝගයේදී ඇති වෙනවා. ඩෙංගු උණ නිසා ශරීරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා වේගයෙන් අඩු වීමට පටන් ගන්නවා. රුධිරය කැටි ගැසීමට අත්‍යාවශ්‍ය වන මේ රුධිර පට්⁣ටිකා අඩුවීමෙන් රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවන්නෙ නැහැ. එවිට හදිසි රුධිර වහනයන් ශරීරයේ අවයව (නාසයෙන්, විදුරුමස්) වලින් සිදුවෙන්නට පටන් ගන්නවා. මේ තත්ත්වය ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වෙන්නට ඉඩ තිබෙනවා. මේ නිසා වෛද්‍යවරුන් නිතරම
රෝගියාගෙ රුධිර පට්ටිකා ප්‍රමාණය මැන බැලීමක් සිදුකරනවා.

රෝග ලක්ෂණ

  • තද උණ
  • හන්දිපත් කැක්කුම, අතපය වේදනාව
  • හිසරදය
  • සම මතුපිට රතු පැහැ බිබිලි මතු වීම
  • නාසයෙන් හා විදුරුමස් වලින් ලේ ගැලීම
  • උදරයෙ තද වේදනාව
  • නොනවත්වා පවතින වමනය හෝ පාචනය
  • තද තෙහෙට්ටුව

රෝගය වැලඳුණු විට එය සම්පූර්ණයෙන් සුව වීම සිදුවන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්වභාවය හා වයස අනුවයි. එය සිදුවන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකාරයෙන්. උණ බැස යාම සිදුවූ පමණින්ම එයින් ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් සුව වූවා යැයි නිගමනය කල නොහැකියි.

ගැබිනි වියේදී ඩෙංගු රෝගය වැලඳීම

මවගෙන් දරුවාට රෝගය සම්ප්‍රේෂණය වීමේ අවධානමක් පවතිනවා. මෙම වෛරසය වැදෑමහ හරහා කලලයට ඇතුල් වීමෙන් මවට මෙන්ම කලලයටද අහිතකර බලපෑම් ඇති කරනවා. මල දරු උපත් ඇති වීම, කලලයේ වර්ධනයට බලපෑම් වීම, නියමිත කාලයට පෙර දරු ප්‍රසූතිය සිදුවීම වැනි අවදානම් තත්ත්ව මින් ඇතිවෙනවා.

මූලික අවධියේදීම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර සිදුකිරීම මගින් සංකූලතා හා මාතෘ මරණ වළක්වා ගන්නට පුළුවන්. දින කීපයකින් උණ බැසයාමත් සමග සංකූලතාවන්ගෙ ආරම්භය සිදුවිය හැකි නිසා ගැබිනි ඔබ උණ ඇති වන ඕනෑම අවස්ථාවක ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

ගර්භණී අවධියේ ඩෙංගු රක්තපාත තත්වය ඇති වීමේ ප්‍රවණතාව වැඩියි. ⁣ ඩෙංගු රෝගය වැළදීමෙන් කලලයට, දරුවාට සංජානීය ආබාධ සිදුවීමේ එනම් දීර්ඝ කාලීන ආබාධ තත්වයන් ඇති වීමේ ප්‍රවණතාව ඉතා අඩුයි. නමුත් ඩෙංගු රෝගය වැලදීම නිසා මවගේ ශරීරයේ ශක්තිය අඩු වීම, සිරුර දුර්වල වීම වැනි දේ සිදුවන්නට පුළුවන්. මේ නිසා සම්පූර්ණ සුවය ලැබෙන තුරු යම් කාලයකට දරුවන් බලා⁣පොරොත්තු නොවී සිටීම සුදුසුයි.

ඩෙංගුවලට ප්‍රතිකාර

නිශ්චිත ප්‍රතිකාරයක් ඩෙංගු රෝගයට සොයා ගෙන නැති නිසා එය වැළඳුනු විට රෝගය පාලනය කිරීම මගින් ඩෙංගු රෝගය සුව කල හැකියි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීමෙන් විජලනය වැනි තත්වයන් ඇති වීම මෙම රෝගයේදී දකින්නට පුළුවන්. ඩෙංගු උණ රෝගය වැලඳී ඇතැයි සැක සහිත නම් පැරසිටමෝල් පෙති පමණක් වේදනා නාශක ලෙස භාවිත කරන්න. ඇස්ප්‍රීන් හෝ වෙනත් වේදනා නාශක පෙති වර්ග ගැනීමෙන් වැලකිය යුතුයි. රෝගියාට ජලය හා ජීවනී වැනි පානයන් නිරන්තරයෙන් ලබා දීම ඉතා සුදුසුයි.

ඩෙංගුවලින් ආරක්ෂා වීම.

ගැබිනි සමයේදී මව ඉතාම ප්‍රවේශමෙන් ආරක්ෂිතව සිටිය යුතු නිසා අවට පරිසරයේ පිරිසිදු බව පිළිබද නිරන්තර අවධානයක් දැක්වීම වැදගත්. පවුලේ සාමාජිකයන්ගේ සහය ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අත්‍යාවශ්‍යයයි.

  • ඉවතලන ප්ලාස්ටික් , මැටි හා ලෝහ භාජන වල ජලය එකතු වීම වැලැක්විය යුතුයි.
  • මල් බඳුන් , සතුන්ට ජලය ලබා දෙන බඳුන්, වතුර ටැංකි, ශීතකරණ තැටි නිරන්තරව පිරිසිදු කිරීම
  • ඉවතලන ටයර් හා වියලි පොල් කෝම්බ ජලය නොරැදෙන සේ කපා වෙන් කිරීම.
  • වැහි පීලි ශුද්ධ කිරීම

මදුරු කීටයන් ජලයේ වාසය කරන නිසා කීටයන් මර්දනය කිරීම මදුරු අවධියේ මර්දනයට වඩා පහසුයි. මදුරු කීටයන් විනාශ කල හැකි සරල හා පහසු ක්‍රමය වන්නේ ජලය රැඳුනු හෝ
රැදෙන්නට ඉඩ තිබෙන බඳුන් විනාශ කිරීම හෝ පිරිසිදු කිරීමයි.

  • ලිං ,වතුර ටැංකි වලට මදුරුවන්ට යෑමට නොහැකි වන සේ දැල් ආවරණ යෙදීමට හැකියි.
  • රාත්‍රියේදී මදුරු දැල් භාවිත කරන්න, මදුරු මර්දනය සඳහා භාවිත කල හැකි ⁣සෞඛ්‍යයට
    හිතකර ආලේප වර්ගයන් භාවිත කරන්න.

මෙහිදී මදුරු දඟර භාවිතය අනුමත කල නොහැකියි. මදුරු දඟර වලින් පිටවන දුමේ ්කකැඑයරසබ යන සංඝටකය අඩංගු බව පර්යේෂණ වලින් සොයා ගෙන තිබෙනවා. මෙය මිනිස් ශරීරයට ඉතාම අහිතකරයි. වි⁣ශේෂයෙන් ගර්භණී මව්වරුන්ට මෙම දුම මගින් අහිතකර බලපෑම් ඇතිවන බව පර්යේෂණ මගින් සොයා ගෙන තිබෙනවා. මදුරු දඟර දුම මගින් දරුවන්ගෙ විවිධ ආසාත්මිකතා, ඇදුම, දිගුකල් පවතින හතිය හා ශ්වසන ආබාධ වලට හේතු විය හැකියි. මේ නිසා ඔබ මදුරු දගර භාවිතයෙන් ඉවත්වීම ඉතා සුදුසුයි.

ගැබිනි වියේ සිටින ඔබ ඔබේ පවුලේ සාමාජිකයන් සමග නිරන්තරව අවට පරිසරය, වටපිටාවේ පිරිසිදු බව ගැන අවධානයෙන් සිටීම මගින් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වන්නට පුළුවන්. ඒ වගේම උණ තත්ත්වයක් ඇතිවන සෑම අවස්ථාවකම ඔබ ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් ඩෙංගු රෝගය ඇති වීමට තිබෙන අවධානමෙන් මිදෙන්නට ඔබට හැකිවනවා.

කෙසෙල්වත්ත ,
ප්‍රාථමික සෞඛ්‍ය ඒකකයේ ආයතන භාර
වෛද්‍ය නිලධාරීනි,
වෛද්‍ය සත්සරණී ඉලංගකෝන් මහත්මිය

          කුමුදිකා ඩී.සපුතන්ත්‍රි