විශාරද නන්දා මාලිනී මහත්මිය ගායනා කරන ඒ ලස්සන ළමා ගීතෙන් කියන්නෙ පුංචි දරුවො හරියට මල් වගේ කියලා. අපි පුංචි දරුවො මල් වගේ කියන්නෙ ඒ අයගේ හිත් පොඩි කාලේ හරිම සෞම්‍ය වගේම අහිංසක නිසායි.
ඒ පුංචි හිතට විවිධ සිතුවිලි, හැඟීම් ඇති වෙන්න බලපාන්නේ දරුවා හැදී වැඩෙන පරිසරයෙන් ලබා ගන්න ආදර්ශයන්. හැම අම්මෙක් තාත්තෙක්ගෙම බලාපොරොත්තුව තමන්ගෙ දරුවා යහපත්, වැඩදායී දරුවෙක් බවට පත්කරන්න. දෙමාපියන් තමයි පුංචි දරුවාගෙ මුල් ගුරුවරුන් වෙන්නෙ. විශේෂයෙන්ම දරුවා අම්මත් එක්ක සමීප සම්බන්ධතාවක් පවත්වනවා. මේ නිසා බොහෝ වෙලාවට අම්මත් එක්ක තමයි දරුවගෙ අදහස් හුවමාරුව සිද්ධ වෙන්නෙ. මව් කුසේ සිටින කාලයේදි වගේම මෙලොව එළිය දැකීමෙන් පසුවත් පැටියා මුලින්ම සමීප වෙන්නෙ, මානසික සම්බන්ධතාව ඇතිකරගන්නේ අම්මා එක්ක. අම්මට අමතරව තාත්තා ,පවුලේ අනෙක් සාමාජිකයන් සමගත් පුංචි පැටියා ටිකෙන් ටික මානසික බැඳීම් ඇති කර ගන්න පටන් ගන්නවා. ඒ අයට ප්‍රතිචාර දක්වනවා.
ටිකෙන් ටික පැටියා ලොකු වෙනකොට අවට පරිසරයෙන් අම්මා, තාත්තාගෙන් එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. දෙමාපියන්ව අනුකරණය කරනවා. වයස අවුරුදු තුන කියන්නෙ පැටියගේ හුරතල්, දඟකාර කාලයේ ආරම්භය. මේ කාලයේදී මූලික අධ්‍යාපනයට යොමු වීම, අලුත් අලුත් දේ ගැන කුතුහලය ආදිය දරුවට ඇති වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කාලයේ දරුවා දෙමාපියන්ගෙන්, තමන් ජීවත් වන පරිසරයෙන් ලබා ගන්න ආදර්ශ, ආකල්ප එයාගෙ අනාගතයට හරිම වැදගත්. දරුවාට කෙටි කාලීනව වගේම දිගු කාලීනවත් ඔවුන් ලබා ගන්න අත්දැකීම්, මුහුණ දෙන සිදුවීම් බලපානවා. ඒ වැදගත්කම නිසාමයි අද අපි මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
පෙර පාසල් කාලය දරුවාට අවුරුදු තුනක් වුනාම ආරම්භ වෙන නිසා මෙතෙක් කාලයක් නිවසේ පරිසරයත්, දෙමාපියන් හා පවුලේ අනෙක් සාමාජිකයන් සමඟ දරුවා බෙදාගත් අදහස් හුවමාරුව ඔන්න දැන් ටිකක් වැඩි වෙන්න පටන් ගන්නවා. බාහිර සමාජය එක්ක ටිකෙන් ටික එයා සම්බන්ධතා ඇති කර ගන්නේ පෙර පාසල් කාලය ආරම්භයත් සමඟයි. ගොඩක් වෙලාවට අලුත් පරිසරයකට, අලුත් මුහුණු ගොඩකට දරුවා මුහුවෙන නිසා එක්වරම එයාට මේ වෙනස්වීම දරා ගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පෙර පාසලට ගියායින් පස්සේ ”අම්මා මාව දාලා යනවා ” කියන හැඟීමෙන් එයා අඬන්න පටන් ගන්නවා. නැත්තම් පෙර පාසල තුල කලබලකාරීව හැසිරෙනවා. නමුත් මීට වෙනස් ඉතා සතුටින් පෙර පාසල් ජීවිතය ආරම්භ කරන දරුවනුත් ඕනෑතරම්.
මෙහිදී දරුවා තුල තමන්ගෙ පෞරුෂත්වය ගොඩ නගා ගැනීමට අම්මා තාත්තා සහය ලබාදීම ඉතාම වැදගත්. විශේෂයෙන් දරුවා වැඩිපුර සමීප අම්මට නිසා ඔබට පුළුවන් පෙර පාසල් යෑම ආරම්භයටත් කලින් සිටම පැටියට ටිකෙන් ටික කතාබහ තුලින් අලුත් පරිසරයට හුරු කරවන්න. ඒ වගේම වෙනත් බාහිර ස්ථානයකට ගියාම හැසිරෙන්න ඕන විදියත් දරුවාට කියා දෙන්න. නැතිනම් පිරිසක් අතරදී ඔහුගේ ක්‍රියාකාරකම් නිසාම දරුවා අපහසුතාවයට පත් වෙන්න ඉඩ තිබෙනවා.
පෙර පාසලේදි දරුවාට නිවසේ මෙන් වැසිකිලි යාමේ අවශ්‍යතාව ඇති වන විට ඔබ නැති නිසා ඒ ගැන කීමට අම්මා නෑ කියන සිතුවිල්ල පහල වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ අවශ්‍යතාව ඇති වුනාම ගුරුවරයාව දැනුවත් කරන ආකාරය පිළිබඳව දරුවාට කියා දෙන්න. ඇතැම් විට දරුවන් තමන් සිටින ස්ථානයේම නොදැනුවත්කම නිසා ඇඳිවතේ මල මුත්‍රා පහ කරගන්නා අවස්ථා දකින්නට පුළුවන්. එයින් දරුවාත්, ගුරුවරයාත්, අනෙක් දරුවනුත් අපහසුතාවට පත්වෙනවා. අන් දරුවන් අතර ලැජ්ජාවට පත්වීමත් කොන්වීමට ඉඩකඩත් මින් ඇතිවෙනවා. පෙරපාසලට අමතරව වෙනත් බාහිර ස්ථානයකදී වුවත් නොදැනුවත්ව දරුවාට මල මුත්‍රා පිට වීම නිසා දරුවා වගේම දෙමාපිය ඔබත් අසරණ බවට පත්වෙනවා.
මේ තත්ත්වයන් ඇති නොවීමට නම් දරුවාව පෙර සුදානමින් දැනුම්වත් කර තිබීම වැදගත්. එය ඔබට කල හැකියි.
- පවුලේ සමගිය,ආදරණීය බව වැදගත්
නිතරම රණ්ඩු , බැන වැදීම් සිදු වෙන පවුල් පරිසරයකදී දරුවාට එය සෘජුවම මනසට බලපෑම් කරනවා. අම්මයි තාත්තයි නිතරම රණ්ඩු කරනවා කියන ඍණ ආකල්පය දරුවා තුල ඇතිවීමත්, තමන් අසරණ වී ඇති බවත් එයාට දැනෙන්න පටන් ගන්නවා. පෙර පාසලේදි හෝ පාසලේදී අන් දරුවන් සමඟ ගැටුම් ඇති කරගන්නත් මේ තත්වය බලපෑම් කරනවා. පසු කාලීනව දරුවා මුරණ්ඩු, කලහකාරී චරිතයක් බවට පත් වෙන්න මේ වගේ ගැටළුකාරී පවුල් පරිසරය බලපානවා. දරුවා සමග ආදරණීය සම්බන්ධයක් පවත් වන්නේනම්, ඔවුන් හුදෙකලා නොකර සිටින්නේ නම් දරුවාගෙ මනස තුල දෙමාපියන් පිලිබද දැඩි ආදරයක් නිරායාසයෙන්ම ඇති වෙනවා. මත්පැන්, දුම් වැටි වැනි මත්ද්‍රව්‍ය දරුවා ඉදිරියේම තාත්තා විසින් පාවිච්චි කරනවා නම් එයත් දරුවාට සෘජු අයහපත් බලපෑමක් ඇති කරනවා. මේ නිසා දෙමාපියන් එවැනි සිදුවීම් තමන් විසින් සිදු නොකිරීමට වග බලා ගැනීම වැදගත්.
- බාහිර පරිසරය පිළිබද දරුවාව දැනුම්වත් කරන්න.
පෙර පාසල් අවධිය ආරම්භයත් සමග දරුවාට පවුලේ සාමාජිකයන්ට අමතරව වෙනත් අලුත් පුද්ගලයින් හඳුනා ගන්න ලැබෙනවා. පාසල් ජීවිතය ආරම්භයේදී මේ සබඳතා තව දුරටත් පුළුල් වෙනවා. විවිධාකාර පුද්ගලයින් මුණගැසෙන නිසා දරුවාට අනතුරක් සිදු කරන්නට ඉඩ තිබෙන පුද්ගලයින්ද මේ අතර සිටින්නට පුළුවන් . මේ අවදානම පිලිබඳව පෙර සිටම දරුවා දැනුම්වත් කර තිබීම ඉතා වැදගත්. ” පුතේ කවුරු හරි මාමෙක්, නැන්දෙක් ඔයාට ටොෆි, චොක්ලට් දෙන්නම් , පූස් පැටියෙක්, කුරුලු පැටියෙක් දෙන්නම් කියලා එයා එක්ක යන්න එන්න කීවොත් යන්න එපා. අම්මා ඔයාව එක්කන් එන්න කියලා කීවත් යන්න එපා” ටීචට හරි කියන්න ගිහින්.” මේ විදියට දරුවාට අනතුරුවලින් ආරක්ෂා වීමට ගන්න පුළුවන් පියවර ගැන ආදරයෙන් කියා දෙන්න. අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ ඉන් අවම වෙනවා.
ඇතැම් විට ඔබට දරුවා සමඟ යාමට අපහසු ගමනක් යෙදුන විට නිවසේ දරුවා බාරදී යාමට අයෙක් නොසිටිය හොත් අසල්වැසි නිවෙසක, ඥාතීන්ට දරුවා බාර දීම සිදුවෙනවා. ” පුතා මං එනකම් දඟ නොකර මේ ඇන්ටි එක්ක ඉන්න අම්මා ඉක්මනට එනවා. එනකොට මං චොක්ලට් එකක් ගේන්නම්කො” මෙවැනි වදන් පවසමින් දරුවා සනසවා ඔබේ ගමන පිටත් වෙනවා. නමුත් සෑම විටම වෙනත් පාර්ශවයක් පිලිබඳ අපට පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකියි.
විවිධ ළමා අපචාර අද බොහෝ විට අපිට අසන්නට ලැබෙනවා. දරුවාට අනතුරක් සිදු කිරීමට උත්සහ කරන පුද්ගලයින් ඔබ අතරම ගැවසෙන නමුත් එය ඔබ නොදන්නවා විය හැකියි. දරුවාට පැණි රස කෑමක් ලබා දෙමින් රැවටීමට ලක්කර දරුවාට යම් අනතුරක් සිදුකිරිමට ඇතැම් අය උත්සහ දරනවා. එවැනි සිදුවීම් මගින් කුඩා දරුවාට එය විශාල අසහනයක්, මානසික බලපෑමක් ඇති කරනවා. හදිසියෙ හෝ එවැනි තත්වයකට දරුවාට මුහුණ දෙන්නට සිදුවුව හොත් දෙමාපියන් ලෙස ඔබ ඊට දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය අනුව දරුවාට එය අනාගත ජීවිතයට බලපාන ආකාරය තීරණය වෙනවා. නිතර නිතර දරුවාගේ හිතට වද දෙන සිදුවීමක් බවට එය පත් වුනහොත් අනාගතයේදී අයහපත් බලපෑමක් ඉන් දරුවාට සිදු වෙනවා. මේ නිසා ඔබ ධනාත්මකව එය දරුවාගෙ මනස තුල දිගින් දිගටම කැලලක් ලෙස ඉතිරි නොවෙන්නට එය අමතක වන ලෙස දරුවාට ආදරයෙන් කරුණු කියා දීම වැදගත්. විශේෂයෙන් මවට මෙය කල හැකියි.
- ස්වාධීන චරිතයක් බවට දරුවා පත් කරන්න
”ඔයා පැත්තකට වෙන්න ලමයෝ විසබීජ,” “ඔයාට ඕක කරන්න බෑ” මේ වගෙ දරුවා පසුගාමී කරන ප්‍රකාශ කිරීමෙන් ඔබ වැලකිය යුතුයි. සියලුම වැඩ අතට පයට කර දීමෙන් පසුකාලීනව දරුවාට කිසිවක් තනිව කරගත නොහැකි තත්වයට පත්වෙන්න පුළුවන්. මේ නිසා කුඩා කාලයේ පටන්ම පුංචි පුංචි ක්‍රියාකාරකම් වලට යොමුකරන්න. ගේ අතුගාන්න, තේබොන කෝප්පය සෝදන්න වගේ පුංචි ක්‍රියාකාරකම් වලින් දරුවා තනිවම වැඩක් කර අත්දැකීම් ලබාගන්නවා.
එය අනාගතයට ඉතාම වැදගත්. සාමුහිකව වැඩ කිරීමේ හැකියාවත් ඉන් වර්ධනය වෙනවා. අනාගතයේදී සමාජය තුල කටයුතු කිරීමේදි මේ කොන්වීමට, පසුගාමීත්වයට දරුවා මේ නිසා පත්වන්නේ නැහැ.
- නිර්මාණශීලීත්වයට මුල් තැන දෙමින් තාක්ෂණය සීමා සහිතව ලබා දෙන්න.
අද කාලේ ගොඩක් වෙලාවට පුංචි දරුවො නලවගන්න, අම්මලා තමන්ගෙ වැඩ කටයුතු ටික නිදහසේ කර ගන්න දරුවට දෙන්නෙ ස්මාට් ෆෝන් එක. වීඩියෝ ක්‍රීඩා. ලේසියට පහසුවට මේ දේවල් දුන්නට මේ මගින් පුංචි කාලයේ ඉඳන්ම දරුවා යාන්ත්‍රික පුද්ගලයෙක් බවට පත් වෙන්න මේ තත්වය බලපානවා. වීඩියෝ ක්‍රීඩා, ස්මාර්ට් ෆෝන් නැතුවම බැරි මට්ටමට අවසානයේ දරුවා පත්වෙන්න පුළුවන් . ඒ තුලින් සිද්ධ වෙන්නෙ දරුවාගෙ නිර්මාණශීලී හැකියාව නැති වීම. අලුත් දෙයක් නිර්මාණය කරන්න, චිත්‍රයක් අඳින්න, කවියක්, සිංදුවක් ලියන්න කියන්න, නටන්න මේ කිසිම නිර්මාණශීලී දෙයකට යොමුවීමක් සිදු වන්නෙ නැහැ. නිවසටම කොටු වෙලා දරුවා සෙල්ලම් බඩු, වීඩියෝ ක්‍රීඩා, ජංගම දුරකථනය එක්කම කුඩා කලේ ගත කලොත් සොබාදහමට සමීප වෙන්නෙ නැහැ. ගහ කොළ සතා සීපාවන් හදුන්නන්නේ නැහැ. සෞන්දර්යාත්මක මානුෂිය ගුණ ධර්ම වලින් පිරුනු දරුවෙක් නිර්මාණය කරන්න නම් පරිසරයට, කලාවට දරුවා සමීප කල යුතුයි. සෙල්ලම් පිස්තෝල වෙනුවට සංගීත භාණ්ඩයක්, පාට පැන්සලක් දරුවගෙ අතට දෙන්න පුළුවන් නම් ඒ මගින් දරුවාගෙ මනස යහපත් ගුණ ධර්ම සහිත ආදරණීය තත්වයට පත්වෙනවා .
- දරුවාගෙ පුංචි වැරදි ආදරයෙන් කියා දෙන්න.
පෙර පාසලෙන් පස්සේ දරුවා අවුරුදු පහේදී පමණ පලමු ශේණියට ඇතුලත් වෙනවා. දැන් එයාගෙ සමාජය කලින් තිබුනට වඩා සෑහෙන විශාලයි. යාලුවෝ, ගුරුවරුන් දන්න හඳුනන අය ගොඩක් ඉන්නවා. මේ කාලයේදී ටිකෙන් ටික දරුවා බොරු කියන්නත් ඉගෙන ගන්නවා. පුංචි පුංචි වැරදි වෙනුවෙන් බොරු කියන්න එයා දැන් ඉගෙන ගෙන. හිතින්මවා ගත්ත දේවල් වෙනුවෙන් එයාම බොරු නිර්මාණය කරගෙන කියන්න පටන් ගන්නවා. මේ වගේ අවස්ථා වලදි “බොරු කියන්න එපා ලමයෝ ගහනවා මම දැන් ” කියලා තරවටු කරන්න යාම කිසිසේත් සුදුසු නෑ. දරුවා වැරදිකාරයෙක් ලෙස ප්‍රකාශ කිරීමෙන් වැලකිය යුතුයි. එසේ සිද්ධ වුනොත් නිරායාසයෙන්ම දරුවා වැරදි කරන දරුවෙක් බවට පත්වීමට අවස්ථාව තිබෙනවා. බොරු කීමෙන් සිද්ධ වෙන නරක ප්‍රතිඵල ගැන දරුවාට කියා දීමෙන් එයා සමාජයත් එක්ක ගනුදෙනු කරන විට ගැටලුවක් ඇති වන්නේ නැහැ. ”හරිම හොද දරුවෙක්” කියන හැඟීම , අදහස ගුරුවරු තුළත් වෙනත් අය තුළත් ඉන් ඇති වෙනවා. “අර ලමයා නම් හරි කපටියි, බොරු කියනවා, ලමයින්ට ගහනවා” මේ වගේ අදහස් තමන්ගෙ දරුවා ගැන අහන්න කිසිම අම්මෙක් තාත්තෙක් කැමති නැහැ. ඒ තත්වය ඇති නොවෙන්න නම් දරුවා ගැන මනා අවධානයකින්, විවෘතව දරුවා සමග කතා බහ කරන්න, සවන් දෙන්න අවශ්‍යයි. දරුවාගෙ දුර්වලකම්, අඩුපාඩු එවිට ඔබට හඳුනාගන්න පහසුයි. ඒ තැන් වලට අදාල ගැලපෙන විසඳුම් ලබා දෙන්න ඔබ කටයුතු කරන්න.
මේ වගේ කරුණු ගැන ඔබ සැලකිලිමත් වුනොත් ඔබේ දරුවා අනාගතයේ යහපත්, ගුණගරුක දරුවෙක් කරන එක ඒතරම් අපහසු වෙන්නෙ නෑ.
මුදිත එස් පරණමාන
මනෝ උපදේශක
හිටපු සභාපති
ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමය
කුමුදිකා ඩී සපුතන්ත්‍රි