free stats

අවුරුද්දට අඩු ඔබේ දරුවා රතු සංඥ ලකුණු පෙන්වන්නෙක් නම් දෙවරක් නොසිතා වහාම සුදුසුකම්ලත් ළමා රෝග විශේෂඥවරයෙක් වෙත රැගෙනයාමට අමතරක නොකරන්න. මන්ද මෙවන් රතු සංඥ සුව කළ හැක්කේ ශල්‍යකර්මයකින්ම පමණක් වන බැවිනි. එම ශල්‍යකර්මයද දරුවාට අවුරුද්දක් ගතවීමට පෙර කළ යුතු ඒවාය.

මොනවද මේ රතු සංඥා

ඇතැම් දරුවන් ඉපදී දින 10 ක් 15ක් වැනි කාලයක් ගත වෙන තෙක් කහපැහැයෙන් යුක්තය. එය සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් සමහර දරුවන්ගේ ඇස් මුහුණ දිගින් දිගටම කහපැහැ ගැන්වී ඇත්නම් හා මළපහ කිරිමැටි පාටින් පාටිනුත් මුත්‍රා තදපැහැයෙන් දස්වන්නේ නම් එවැනි දරුවන්ගේ පිත්තාශයේ යම් ගැටලුකාරී තත්ත්වයක් විය හැකිය. එවන් දරුවන්ගේ පිත්තාශයේ සහ පිත්තනාලවල යම් ගැටලකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි. එවන් දරුවන් ඉක්මනින් සැත්කමකට ලක් නොකළහොත් අක්මාවේ දරුණු රෝගයකට ගොදුරුවේ. ඇතැම් අවස්ථාවන් වලදී අක්මා බද්ධයකට වුවද යාමට සිදුවේ. මේ හේතුව නිසා දරුවාගේ ඉහත රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍යප්‍රතිකාර සදහා යොමුවීම අනිවාර්ය වේ.

පිරිමි දරුවකු තම වෘෂණකෝෂවල එක් කෝෂයක් ඉදිමී රතු වි ඇතිවා සේම කකුල් දෙක උස්සමින් අඩන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතුය. ඇතැම් අවස්ථාවන් වලදී දරුවන් උපදින විටම එක් වෘෂණ කෝෂයක් ඉදිමී තිබෙන්නට පුළුවන. මෙය මාසයක් දෙකක් වගේ කාලයකදී යථාතත්ත්වයට පත්වේ. එහෙත් දරුවා ඉපදී හිටිහැටියේම එක් වෘෂණ කෝෂයක් ඉදිමී රතුවී හා වේදනාවෙන් අඩයි නම් එම වෘෂණ කෝෂය ඇඹරී තිබෙනවා විය හැකිය. එය වහාම සැත්කමකට ලක්කර යථා තත්ත්වයට පත් කළ හැකිය.

මාසයක දෙකක වගේ කාලයක් තුල සිට දරුවෙකු විදිමින් වමනය දානවා නම් අමාශායේ පහළ කොටසේ හිරවීමක්. එසේ හිරවීමක් සිදුවන්නේ අමාශයේ පහළ කොටසේ බිත්තියේ එක් පැත්තක මාංශපේශී වැඩියෙන් වැඩී ඇති බව විය හැකිය. මෙය වහාම ශල්‍යකර්මයක් සදහා යොමු විය යුතු තත්ත්වයකි.

පිත ලෙස වමනය පිටකරනවා නම හා දරුවාගේ බඩපිපිලා තිබේනම් එය බඩවැල්වල ඇඹරීමක් හේතුවෙන් විය හැකි තත්ත්වයකි. එවැනි දරුවෙකුට සැත්කමකට ලක්කර යථා තත්ත්වයට පත් කළ යුතුය. මෙවැනි දරුවන්ද ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කළයුතුය. ප්‍රමාද කළහොත් බරපතල සැත්කමක් දක්වා වර්ධනය විය හැකිය.

දරුවාගේ මළපහ රතුපාටින් ජෑම් වැනි ස්භාවයෙන් පිටවෙන්නේ නම් හා මළපහ කරන විට දරුවා කකුල් ඉහළට ඔසවමින් වේදනාවෙන් කෑ ගසන්නේ නම් එය බඩවැලක් අස්සට තවත් බඩවැලක් ගොස් ඇති තත්ත්වයකි. මෙයද සැත්කමක් මගින් සුවපත් කළ හැකිය. මේ තත්ත්වයේදී වහාම නිසි වෛද්‍යවරයෙකු වෙත යොමු වන්නේ නම් දරුවා සැත්කමට ලක්කිරීමට පෙර ගුදමාර්ගයට සේලයින් ඖෂධය යොදා බඩවැල නිවැරදි මාර්ගයට ගත හැකිය” කල්ගත වීමට පෙර ප්‍රතිකාර සදහා යොමු විම ඉතාමත් වැදගත්ය.

පිරිමි දරුවෙකු සාමාන්‍යයෙන් මුත්‍රා පිටකරනුයේ එළියට විදිමින්ය. ඇතැම් අවස්ථාවන් වලදී මවගේ මුහුණ පුරා මුත්‍රා විදින තත්ත්වයන් ඔබ දැක ඇත. එහෙත් ඇතැම් දරුවන් පෙරි පෙරී මුත්‍රා පිට කරනවා නම් එවැනි දරුවන්ගේ මුත්‍රාශයේ එළියට විවෘතවන නාලයේ අවහිරවීමක් විය හැකිය. එවැනි තත්ත්වයකදී දරුවා ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු විය යුතුය. නැතහොත් වකුගඩු හානිවිය හැකිය.

මුත්‍රා සමග රුධිරය පිටවෙනවානම් එසේ නොමැති නම් අල්ලන විට බඬේ ගුලියක් වැනි යමක් අසුවේනම් එය වකුගඩුවෙ පිළිකාවක් විය හැකිය. එය පැතිරීමට පෙර ඉක්මනින් සැත්කමක් කර ඉවත් කළ යුතුය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
කෝසල කරුණාරත්න
සටහන ශ්‍රියානි විජේසිංහ