free stats

බිළිඳෙකු උපතේ සිටම ආහාර ලෙස ලබා ගන්නේ මව් කිරිය. එසේ මව්කිරි ලබා ගන්නා අවස්ථාවේ දී ඉතා තදින් කැස්ස ඇති වෙන්නේ නම්, බෙහෝ විට එයට හේතුව මව්කිරි ආහාර මාර්ගයේ ගමන් කරනවා වෙනුවට ස්වසන මර්ගයේ ගමන් කිරීමයි.

මෙම ක්‍රියාවලිය ළදරුවාගේ ශරීරය තුළ ස්වභාවිකවම හටගන්නා ආ රක්‍ෂිත පියවරකි. මන්ද, පෙනහළු තුළට ආශ්වාස ප්‍රශ්වාස කරන වායුව හැර වෙනත් ද්‍රව්‍යන්, උදාහරණ ලෙස ජලය, විවිධ සෙල්ලම් බඩුවල කැබලි ආදිය පෙනහළු වෙත ගමන් කිරීම සිදු වෙනවා. එසේ සිදු වූ විට හදිසි ස්වසන අපහසුතා මෙන්ම නිමෝනියා තත්ත්වයට පත් වීමෙන් ඉතා දරුණු සංකූලතා ඇති වෙන්නත් පුළුවන් ඒ වගේම මෙවැනි අවස්ථාවකට පත් වීම නිසා ළදරුවාගේ ජීවිතය අවධානමකට ලක් වෙන්නත් පුළුවන්.

එම නිසා මෙවැනි අවස්ථාවක් ඇති වූ විට මව විසින් කළ යුතු ප්‍රථමාධාර ක්‍රම දෙකකි.

1 දරුවාගේ පපුව ප්‍රදේශය මවගේ අත්ල මත රඳවා පිටට සෙමෙන් තට්ටු කිරීමයි.
2 ළදරුවාගේ පපුව ප්‍රදේශය මවගේ කලවා ප්‍රදේශය මත තබා පිටට සෙමෙන් තට්ටු කරන්න.

එසේ ඇතිවන කැස්සට කිසිම විටක ළදරුවාට බධා කිරීම සුදුසු නැහැ. මන්ද කැස්ස ඇති වූ විට දී ශ්වසන මාර්ගයේ සිර වී ඇති ද්‍රව්‍ය ස්වභාවිකවම පිටතට පැමිණෙයි. තවද මෙවැනි අවස්ථාවලදී ළදරුවාගේ මුඛය තුළට ඇගිල්ල හෝ වෙනත් ද්‍රව්‍ය දමා පිටතට ගන්නත් එපා.

ළදරුවාගේ වයස මාස දෙකක් තුනක් පමණ වන විට නොනවතින කැස්සත් සමඟ වමනය ඇති වන්නේ නම් හා එම කැස්ස දීර්ඝ කාලීනව පවතින්නේ නම් එම රෝග ලක්‍ෂණ ඇතැම් විටක කක්කල් කැස්සේ මූලික පියවර වෙන්න පුළුවන් ඉහත සඳහන් කල මූලික ලක්‍ෂණයන්ට අමතරව කැස්ස අවසානයේ ආශ්වාස ප්‍රාශ්වාස කරන විට ශබ්දය ඇති වෙනවා නම් මෙවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

ඇතැම් ළදරුවන් ඉපදී මාස කිහිපයක් ගතවන විට අසාත්මිකතා (ඇලර්ජි) නිසා ළමා හතිය ඇති වෙනවා. මෙය ඉතා කලාතුරකින් ඇතිවන තත්ත්වයක්. මෙහිදි ළදරුවාට කැස්ස ඇති වෙන්නේ රාත්‍රී කාලයේදීය. එහිදී වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබා ගැනීමෙන් එම කැස්ස තාවකාලිකව සුව වෙනවා. නමුත් ඖෂධ නැවැත්වූ පසුව පෙර ලෙසම නැවත රෝග ලක්‍ෂණ මතු වෙනවා. නිතර නිතර මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නම් ළදරුවාට “ළමා හතිය” ඇති දැයි සොයා බැලීම වැදගත් එහිදී ළදරුවාට ඉන්හේල උපකරණ භාවිතා කරන ලෙස වෛද්‍ය උපදෙස් ලැබෙනවා. මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක නිවැරදි ප්‍රතිකාර ක්‍රමයකි. ඒ සඳහා දෙමාපියන් බිය විය යුතු නැහැ.

ඉහත සඳහන් සියළුම වර්ගයේ රෝගයන්ගෙන් මිදීමට මව්කිරි ලබා දීමෙන් පුළුවන්. ඒ මව්කිරි වල ඇති විෂබීජ නාශක ගුණය හා අසාත්මිකතා (ඇලර්ජි) වළක්වන විශේෂ සංඝටක වෙනත් කිසිදු කිරිපිටි වර්ගයක ඇති සංඝටක හා සමකල නොහැකි නිසාය.

එසේනම් දරුවා නිරෝගී කිරීමට මවකට දිය හැකි විශාලතම දායාදය වන්නේ ඉපදුනු අවස්ථාවේ සිටම අවශ්‍ය පමණ, අවශ්‍ය වේලාවට නිවැරදි ලෙස මව්කිරි ලබා දීම.

ශික්‍ෂණ රෝහල කරාපිටිය
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අරුණ ද සිල්වා

සටහන අරුණි ජයසේකර