මනෝ විද්‍යාවට අනුව අවුරුදු 3 සිට 5 දක්වා කාලය දරුවෙකුගේ ජිවිතයේ
හොඳම වයස් සිමාව විදියට හඳුන්වනවා. දරුවා වැඩිහිටියෙක් ලෙස ගෙවන ජිවිතය,
රැකියාව , විවාහය, ඇතුළු අනෙකුත් සමාජ සබඳතා සියල්ලෙහි සාර්ථක අසාර්ථක භාවය තීරණය වන්නේ මෙම වයස් සිමාවේ දි දරුවා ලබන අත්දැකීම් ඔස්සේ ය. අනාගත ජිවන තත්ත්වයන්ට අදාල මනෝභාවයන් මනසේ තැම්පත් වන්නේ මේ වයසේ දියි. යම් පුද්ගලයකුගේ වෘත්තිය ජිවිතයේ ප්‍රශ්ණයක් ඇත්නම් විවාහ ජිවිතය අසාර්ථක නම් බොහෝ විට එයට හේතුව වන්නේ අවුරුදු 3-5 අතර කාලයේ දි ඔහු අත්විඳි අත්දැකිමක් නිසා සිත තුළ උපන් මනෝ භාවයන් බව මනෝ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ එබැවිනි.
මේ වයස් සීමාවේ දි දරුවා සතුටින් තියන එක
දෙමව්පියන් ගේ වගකීමක්. මොකද මේ කාලෙදි දරුවා හරියට සුදු කඩදාසියක් වගේ. එයාගේ හිතේ කිසිම දෙයක් නැහැ. තමන් දකින දෙයින් අහන ශබ්දයෙන් දැනෙන
ස්පර්ශයෙන් එයා ඉගෙන ගන්නවා. හරියටම බොඳ කඩදාසියක් වගේ. මේ කාලෙදි දරුවා තමන්ගේ මනස පුරවා ගන්නේ වැරදි දේවල්වලින් නම් එයින් දරුවාගේ අනාගතය සම්පුර්ණයෙන්ම අඳුරු
වෙනවා. අවුරුදු 3-5 අතර කාලෙදි සෘණාත්මක අත්දැකිම් ලබන්න පුරුදු වුණු අය එයින් පසුව මුලු ජිවිත කාලය පුරාම මොනතරම් හොඳ දෙයක වුණත් සෘණාත්මක පැත්ත දකින්න පුරුදු වෙනවා.
ප්‍රබෝධමත් ධණාත්මක මිනිස්සු නැති වීම අද සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙලා
තියෙනවා. ඕනම දෙයක හොදම පැත්ත ධනාත්මක
පැත්ත දකින්න පුරුදු වුණු අය අප අතර ඉන්නේ හරිම අඩුවෙන්. ධනාත්මක
සිතුවිලි දරුවා වෙත ගෙන ආ යුත්තේ අර මුලින් කිව්ව වයස්
සීමාවේ දියි. එතනදි දෙමව්පියන්ට වගකිමක් තියෙනවා. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම දරුවාගේ පෝෂණය ගැන උනන්දු වෙනවා. ඒ වගේම දරුවා ගේ අධ්‍යාපනය සෞඛ්‍ය ගැන උනන්දු වෙනවා. නමුත් දරුවාගේ මානසික මට්ටම යහපත් කිරිමට උනන්දු වෙන්නේ නැහැ. එහෙම වුණාම අනාගතේ දි හැමදේකම
සෘණාත්මක පැත්ත පමණක් දකිමින් ජිවත් වීමත් කරදරයක් කියලා හිතන දරුවන් බිහි වෙනවා.
සෑම දරුවෙක්ම මේ වයසෙ දි පසුවෙන්නේ කුතුහලයෙන්. එයාලට හැම දෙයක්ම පුදුමයක්. ඒ නිසා දරුවන් පුදුම විදියට අලුත් දේවල් ගැන උනන්දු
වෙනවා. එ වගේම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්නවලට ලැබෙන උත්තර ධනාත්මක ඒවා විය යුතුයි. එයින් දරුවා අනිවාර්යයෙන්ම ධනාත්මක විදියට හිතන්න පුරුදු
වෙනවා. උදාහරණයක් විදියට අහස කියන මාතෘකාව ගත්තාම දරුවන් කිහිප දෙනෙකුට අහස දැනෙන්නේ විවිධ විදියට. ධනාත්මක විදියට ජිවිතය දකින්න පුරුදු පුහුණූ කල දරුවා අහසේ නිල් පැහැයට රාත්‍රි අහසේ පායන තරුවලට ආදරය කරයි.
හැබැයි සෘණාත්මක සිතුවිලි තියෙන දරුවා දකින්නේ අහසේ තියෙන වැහි වළාකුළු විතරයි. ඉස්සර දරුවො හරියට සුරංගනා කතා අහනවා. හවසට දරුවන් වට කරගෙන සුරංගනා කතා කියා දෙන්න සියා කෙනෙක් ආච්චි කෙනෙක් හැම ගෙදරකම හිටියා. මේ කතා තුළින් දරුවො රස ගැන්විලා හිටියේ. ඒ අය ඒ තුලින් අලුත් ලෝකය අත්වින්දා අද දරුවන්ට එහෙම රස වින්දනයක් ලැබෙන්නේ නැහැ. අඩුම වශයෙන් එහෙම රස ගැන්වෙන්න ක්‍රමයක් මාධ්‍යයක් වත් දරුවන්ට නැහැ.
ඒ වගේම ඉතාම කුඩා වයසේ දි දරුවන් ඉච්ඡාභංගත්වයට පත්වීමත් සුදුසු නැහැ. සමහර අම්මලා නොදැනුවත්ව දරුවාව මේ තත්ත්වයට පත් කරනවා.
“ඔන්න බලන්න මේ සෙල්ලම් බඩුව උදුරාගත්තාම මෙයා අඩනවා. ඔන්න බලන්න” කියලා අනිත් අයට දරුවා අඩන හැටි පෙන්වන්න සෙල්ලම් බඩුව උදුරා ගන්නවා.
දරුවන් ට අපිට වගේ මහා ලොකු බලාපොරොත්තු නැහැ. එයාට තියෙන එකම බලාපොරොත්තුව අර සෙල්ලම් බඩුව විතරයි. ඒක තමයි එයාගේ ලෝකේ.
ඉතින් දරුවා සෙල්ලම් බඩුව දෙන කල් පෙරලි පෙරලි අඩනවා. මෙන්න මේ විදියට
බලාපොරොත්තු කඩ වෙන දරුවො තමයි වැඩිහිටියන් වුණාට පස්සේ පොඩි දේටත්
මානසිකව පසුබෑමට ලක් වෙන්නේ. එහෙමත් නැත්නම් පසු කලෙක ඉල්ලිම් දිනාගන්න වහලෙට
නගින්නේ.
ඒ වගේම දරුවන්ට බොරු පොරොන්දු දීමත් සුදුසු නැහැ. “අද බත් ඔක්කොම
කෑවොත් චොක්ලට් දෙනවා” කියලා සමහර අම්මලා දරුවන්ට පොරොන්දු
වෙනවා. නමුත් බත් කෑවට පස්සේ දරුවට අර පොරොන්දු වුණු විදියට චොක්ලට් එක
දෙන්නේ නැහැ. සමහර විට දරුවා අඬන එකක් නැහැ. හැබැයි අම්මා බොරු කියන බව එයා දැනගන්නවා. දෙමව්පියන් පිළිබඳව විශ්වාසය නැතිවෙන්න මේ සුළු කාරණා හේතු වෙනවා. දරුවන් වැඩිහිටියන් වගේ තර්කානුකූලව හිතන්නේ නැහැ. තමන්ට ස්වයං විවේචන එල්ල කරගන්න තේරෙන්නේ නැහැ. අම්මා මේ දේ කලේ මගේ හොඳට කියලා දරුවා හිතන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන් දරුවන් සමඟ ගණුදෙනු කරන විට අතිශය කල්පනාකාරි විය යුතුයි.
අවුරුදු 3-5 කියන්නේ දරුවෙකුගේ ජිවිතයේ ඉතාම සංකිර්ණ කාල සීමාවක්. මේ කාලය දරුවාගේ ජිවිතයේ පදනම විදියට හදුන්වන්න පුලුවන්. පාදම ශක්තිමත් නම් ඕනම සුලි සුළඟට කුණාටුවකට ඔරොත්තු දෙන්න හැකියාව තියෙනවා. අන්න ඒ නිසා අපි හදන්න ඕන පාදම ශක්තිමත් දරුවෙක්. අපි ඉස්සර බිල්ලට බය වුණාට දැන් දරුවො බිල්ලට බය නැහැ. ඉස්සර දරුවන්ට රස කතා කියලා දුන්නා. ඒ නිසා එයාලා ට පදනමක් හැදිලා තිබුනේ. අද දරුවන්ට පදනමක් නැහැ. ඒ නිසා අද ඉන්නේ පැහෙන්න කලින් ඉදුණු
දරුවන්. නමුත් පැහිලා ඉදුනු දරුවෙක් තරම් අනෙක් කිසිම දරුවෙක් වටින්නේ නැහැ.
විවේක වෙලාවට දරුවාව ලඟට අරගෙන වීර කතා කියලා දෙන්න. මේ වෙද්දි
අන්තර්ජාලය හරහා එවැනි ධනාත්මක පුද්ගලයන් පිළිබඳව කතා ඕන තරම් බලන්න
පුලුවන්. කියවන්නත් පුලුවන්. ඊටත් වඩා අපේ ඉතිහාසය පිළිබඳව කතා දරුවාට කියා දිය යුතුයි. සාහිත්‍ය යන ඉතිහාසය පිළිබඳව දැනුමක් තියෙන දරුවෙක් කියන්නේ සම්පතක්. එයින් දරුවා පදනමක් සහිත දරුවෙක් කරන්නට හැකි වෙනවා.
රත්නා පුෂ්ප කුමාරි
මානව හැකියා ප්‍රවර්ධන උපදේශිකා
චාපා හංසිනි ආටිගල