free stats

දරුවකු මෙලොවට බිහි වු මොහොතේ පටන් ම දරුවාට දිය හැකි හොඳම ආහාරය වන්නේ මව්කිරි පමණයි. මේ නිසාම දියුණූ ලෝකයේ රටවල් පවා මව්කිරි ලබාදීම කෙරෙහි මව්වරුන් උනන්දු කරනු දක්නට ලැබෙනවා. මේ නිසාම මව්කිරි දීම කෙරෙහි මව්වරුන් උනන්දු කිරිම අපගේ වගකීමක් වනවා. එම නිසාම කිරි දෙන මව්වරුන්ට ඇතිවන පොදු ගැටලු කිහිපයක් පිළිබඳව විශේෂඥ වෛiවරයෙකු සමඟ කතා කරන්නට අපි අදහස් කලා.

  • මුල් මාස කිහිපය තුළදි මව්කිරි දියයුතු වේලාවන් තියෙනවාද?

දරුවා කිරි ඉල්ලන ඕනම වේලාවක කිරි දුන්නට කමක් නැහැ. නැත්නම් සෑම පැය දෙකකට වරක්ම මව්කිරි දීම වඩාත් සුදුසුයි. පැටියා නිදි නම් ඇහැරවලා කිරිදෙන්න. ප්‍රමාණවත් පරිදි කිරි බීලා නම් එයා කිරි බීලා නැවත නින්දට යනවා.

  • කොතරම් වේලාවක් කිරි දිය යුතුද?

සාමාන්‍ය දරුවෙක් උපරිම විනාඩි 10-15 ක් පමණ වේලාවක් කිරි බොනවා. හොඳින් කිරි බොන දරුවෙක් නම් ඊටත් වඩා වේලාවක් කිරි බොනවා වෙන්න පුලුවන්. ඒ වගේම ඉක්මනින් බඩ පිරෙන දරුවෙක් නම් ඊට වඩා ඉක්මනින් කිරි බීලා ඉවර කරනවා. ඒ කොහොම වුණත් පැටියා කිරි බීලා ඉවර කරනකල්ම කිරි දෙන එක වඩාත් සුදුසුයි.

  • මුල් මාස දෙක තුනේ දි දරුවාට කිරි දෙන වාර ගණන වැඩිකල යුතු ද?

දරුවා වැඩෙන්න වැඩෙන්න එයාට අවශ්‍ය ප්‍රමානයට කිරි බොන්න පුරුදු වෙනවා. නමුත් සෑම විටම කිරි දෙන්න ඕන අතර මැද වේලාවක් තබාගෙනයි. එක ලඟ කිරි දිමෙන් දරුවට පෝෂණ ඌණතා ඇතිවෙන්න පුලුවන්.

  • දැන් පැටියට කිරි දිය යුතු කාලය කොපමණ ද?

එහි වෙනසක් වන්නේ නැහැ. පැටියට අවශ්‍ය ප්‍රමාණයට කිරි දෙන එක වඩාත් සුදුසු වනවා. කිරි බීලා ඇති කියලා හිතුනම පැටියා කිරි බොන එක නවත්වන නිසා ගැටලුවක් නැහැ.

  • හයමාසයෙ සිට අවුරුද්ද දක්වා කිරි දිය යුතු ප්‍රමාණයක් තිබෙනවාද?

මාස හයෙන් පස්සේ දරුවාට අමතර ආහාර පටන් ගන්නවා. ඒ අනුව ප්‍රධාන ආහාර වේල් තුනම ඝණ ආහාර වන අතර උදේ 10.00 ට සහ සවස 4.00ට අමතර ආහාර ලෙස ත්‍රිපෝෂ, කඩල වැනි ආහාර වර්ගයක් ලබා දෙන්න පුලුවන්. මේ කාලයේදි දරුවාට ඝණ ආහාර හුරුකරවිය යුතුයි. ඒ නිසා නිතර කිරි දෙන්න අවශ්‍ය නැහැ. කිරි වැඩිපුර බිව්වාම ඝණ ආහාර ගන්න එක අඩුවෙනවා. යකඩ ඇතුලු පෝෂක වගේම අත්‍යාවශ්‍ය ක්‍ෂුද්‍ර පෝෂක ලබා ගැනීම සඳහා ඝණ ආහාර අවශ්‍යයි. දරුවා ආහාර අරගෙන ඉවර වුණාම වතුර වෙනුවට කිරි ටිකක් බොන්න දිලා ඉන් පස්සේ වතුර ටිකක් බොන්න දෙන්න. රැ එළිවෙනකල් කිරි දෙන්න පුලුවන්. ඒ නිසා ආහාර වේල් අතර මැද මව්කිරි දීම අඩුකරන්න.

  • කාල සටහනකට අනුව කිරි දියයුතුද එසේ නොවිය යුතු නම් කිරි දිම කළ යුත්තේ කෙසේද?

කාල සටහනකට කිරි දිම අවශ්‍ය නැහැ. දරුවාට අවශ්‍ය සෑම විටම ඒ කියන්නේ දරුවා කිරි ඉල්ලනවා නම් කිරි දෙන්න. මාස හයෙන් පසුව ප්‍රධාන ආහාර වේලකට පස්සේ කිරි දෙන්න පුලුවන්. රෑ එළිවෙනකල් කිරි දීමත් සුදුසුයි.

  • කිරි දිය යුත්තේ එක් පියයුරකින් ද, පියයුරු දෙකෙන්මද, නැත්නම් වරින් වර පියයුරු මාරු කල යුතු ද?

දරුවා කිරි බොන්න පටන් ගන්න පියයුරේ කිරි ඉවර වෙනතුරු කිරි දෙන්න. ඉන් පස්සේ අනෙක් පියයුරට මාරු වෙන්න පුලුවන්. නමුත් එක් පියයුරකින් කිරි බීලා පැටියා කිරි බොන එක නැවැත්තුවා නම් ඊලඟට කිරි දෙන වේලාවට අනෙක් පියයුරෙන් කිරි දෙන්න පටන්ගන්න.

  • මව්කිරි දෙන්නට පෙර පියයුරුවලින් වෑහෙන කිරි ස්වල්පය ඉවත්කල යුතු යයි සමහරු සිතනවා. එසේ වියයුතු ද?

පෙර කිරි සහ පසු කිරි ලෙස කිරි වර්ග දෙකක් තියෙනවා. පෙර කිරි දිය ගතියෙන් වැඩියි. පසු කිරි ගණ බවින් වැඩියි. වැඩි පෝෂණයක් අඩංගු වන්නේ ත් මේ පසු කිරිවලයි. මේ නිසා සමහර අම්මලා මේ මුල් කිරි ටික දොවලා අයින් කරනවා. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අඩුවෙන් කිරි බොන දරුවෙක් ට පෝෂණ ඌණතාවයක් ඇතිවුනොත් පෙර කිරි දොවලා ඉවත් කරලා පසුකිරි පමණක් දිම වඩාත් සුදුසුයි.

  • රාත්‍රි කාලයට බබා නැගිටලා අඩනවා නම් කිරි දියයුතු ද?

දරුවෙක් රාත්‍රි කාලයට අඩන්නේ බඩගිනි වෙන නිසා තමයි. එයාලට දුක සතුට හැම දේම කියන්න තියෙන එකම භාෂාව ඇඩීම පමණක් නිසා බඩගිනි වුණු ගමන් දරුවා අඩනවා. ඒ නිසා අඩන වෙලාවට කිරි දෙන්න. අම්මාට නිදන ඉරියව්වෙන් ම හෝ වාඩි වෙලා කිරි දෙන්න පුලුවන්.

  • මව්කිරි දීම නිසා දරුවාට යම් යම් රෝග වැළඳීම වැලකෙනවාද ඒ මොනවද?

මව්කිරි සමඟ වගේ ඇගේ තිබෙන ප්‍රතිදේහ දරුවා වෙත යැවෙනවා. ඒ ප්‍රතිදේහ මඟින් දරුවාට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබාගන්න පුලුවන්. ඉපදිලා මාස හතරක් යනතුරු දරුවාගේ ඇගේ ප්‍රතිදේහ වර්ධනය වන්නේ නැහැ. මේ නිසා එයාට ලෙඩ රෝගවලින් ආරක්ෂාව ලැබෙන්නේ මවගෙන් ලැබෙන ප්‍රතිදේහ මඟින් පමණයි.

  • දරුවාගේ ගුඩුස් යැවීම කල යුත්තේ කිරි බීම අතරතුර ද නැත්නම් කිරි බිමෙන් පසුද?

මව්කිරි බීලා ඉවර වුණු ගමන්ම දරුවා වඩාගෙන දරුවාගේ බඩ මවගේ උරහිසට තද කරලා පිටට තට්ටු කිරිම මඟින් ගුඩුස් යවන්න පුලුවන්. කිරි බීම අතරතුර ගුඩුස් යවන්න අවශ්‍ය නැහැ.

  • කිරි දෙන වාර දෙකක් අතරතුර දරුවාට බඩගිනි වෙනවා නම් මොකද කරන්නේ?

මව්කිරි දෙන වාර දෙකක් අතර පැය දෙකක් තුනක් පරතරයක් තිබුණට කමක් නැහැ. නමුත් දරුවාට කිරි බොන්නට අවශ්‍ය නම් කිරි දුන්නට කමක් නැහැ. නමුත් දරුවා විවිධ හේතු නිසා අඩන්නට ඉඩ තිබෙනවා. දරුවෙක් අඩන්නේ බඩගින්නට විතරක්ම නෙවෙයි. අන්න ඒ නිසා ඒ පිලිබඳව විමසිලිමත් වෙන්න. ඒ වගේම දරුවා අඩන හැම වෙලාවකම බඩගින්න නිසා අඩනවා කියලා හිතලා කිරි දෙන්න ගියොත් දරුවාට බඩගින්නක් නැතුව කිරි බොන්න වෙන නිසා එයින් දරුවා අපහසුතාවයට පත්වෙන්න පුලුවන්.

  • මවට අසනීප වු විට කිරි දුන්නට කමක් නැද්ද?

මවගේ පියයුරේ පැසවීමක් ඇත්නම් හැරෙන්නට අනෙක් සෑම අවස්තාවකදීම මව්කිරි දීම සුදුසුයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ
ළමා රෝග විශේෂඥ
වෛද්‍ය පුණ්්‍යානි බන්දුතිලක