free stats

බොහෝ මව්පියන් ගුරුවරුන් වැඩිහිටියන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව දරුවන්
අපයෝජනයට ලක්වෙනවා.

ලෝකයේ වඩාත්ම සුන්දර වස්තුව දරුවාය. සත්ත්ව ලෝකය තුළ වුවද එය එසේමය. මිනිසාට දරුවන් තරම් වෙනත් සම්පතක් නැත. එහෙත් අප කතා කරන මේ අසීමිත සුන්දර සුරතල් වස්තුව තරම් ලෝකයේ දුකට වේදනාවට හිරිහැරයට පාත්‍ර වන වෙනත් දෙයක් නැත.

අපයෝජනය වර්තමානයේ සුලබව ඇසෙන වචනයකි. ළමා අපයෝජනය ඊටත් වඩා සුලබව ඇසෙයි. අපයෝජනය යනු කුමක්ද?

අපයෝජන වර්ග හතරකි.

1) කායික අපයෝජනය – දඬුවම් කිරීම,පහරදීම , කායිකව වධදීම, ළමා මෙහෙකාර වෘත්තිය, ළමා ශ්‍රමිකයන්

2) මානසික අපයෝජනය – අවමන් කිරීම, අවප්‍රමාණ කිරීම, බැණ වැදීම්, උපහාසයට ලක්කිරීම,අනිසි සංසන්දනය කිරීම්,

3) නොසලකාහැරීමෙන් අපයෝජනය – දරුවාගේ අවශ්‍යතා ඉටුනොකර සිටීම. ආහාර, ආරක්ෂාව, රැකවරණය, පිළිගැනීම නොසලකා හැරීම, ඔහුගේ අවශ්‍යතා සිතා මතා පැහැර හැරීම

4) ලිංගික අපයෝජනය – නීතිය තුළ ළමා වයසේ සිටින්නන් හට ඔවුන්ගේ කැමැත්ත හෝ අකමැත්ත මත හෝ බලහත්කාරයෙන් හෝ කෙරෙන අයුතු ලිංගික ක්‍රියාකාරකම්

බොහෝ මව්පියන් , ගුරුවරුන් සහ වැඩිහිටියන් අතින් දැන හෝ නොදැන ඉහත සඳහන් කාරණා අතුරෙන් පළමුවන කාරණා තුන සිදුවෙයි. ඒ පිළිබඳව දැනුවත් වුවහොත් දරුවන්ගේ ලෝකයට මහත් සැනසීමක් උදාවෙයි. එමනිසා අප එම කරුණු තුන පිළිබඳව සළකා බලමු.
එයට පෙර ළමයා යනු කවරෙක්දැයි හඳුනා ගත යුතුය. සාමන්‍යෙයන් වයස 18 ට අඩු
පුද්ගලයන් ළමුන් වශයෙන් සලකනු ලැබේ. ලිංගිකව සිදුවන දූෂණයකදී මේ තත්වය නීතිය හමුවේ වෙනසක් සිදුවෙයි. එනම් එවිට නීතිය වයස 16 ට අඩු අය ළමුන් ලෙස සලකනු ලබයි. වයස අවුරුදු අටට අඩු දරුවකු සිදු කරන වරදක් වරදක් ලෙස නීතිය ගණන් නොගනී. වයස 14ට අඩු දරුවන් මෙහෙකාර වෘත්තියේ යෙදවිය නොහැකිය.

මනෝ විද්‍යාවේදී පුද්ගලයකුට කායික වයස සහ මානසික වයස යනුවෙන් වයස් වර්ග දෙකක් ඇත. දරුවා උපතේ සිට වයස ගණනය කරන යම් මොහොතක් දක්වා කාලය කායික වයස වේ. මානසික වයස යනු දරුවාගේ මානසික ක්‍රියාවලිය හෙවත් ප්‍රජානනය සංවර්ධනව ඇති මට්ටමයි. මේ අනුව දරුවන් කාණ්ඩ තුනකි.

1) කායික වයස සහ මානසික වයස සමාන දරුවන්
සාමාන්‍ය දරුවන්. සාමාන්‍ය බුද්ධිය

2) කායික වයස මානසික වයසට වඩා අඩු දරුවන් –
මොවුන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගණයට වැඬේ. සෙමින් ඉගෙන ගන්නා දරුවන්, මන්ද මානසික දරුවන්, උදාහරණ වේ. සාමාන්‍ය පංති කාමරයේ සිටිය හැකි මුත් ඔවුන්ට
ගුරුවරුන්ගේ විශේෂ අවදානය අවශ්‍ය වේ. එසේම එම ශ්‍රේණියට අයත් විෂය නිර්දේශය ඉගෙනුම ලැබීමේ හැකියාව දුර්වල වේ.

3) කායික වයසට වඩා මානසික වයස වැඩි දරුවන් –
මොවුන්ගේ බුද්ධි මට්ටම ඔහුගේ වයසට වඩා ඉදිරියෙන් ඇත. එම නිසා සාමාන්‍ය පංති
කාමරයේ සිටිය ද ඉහත විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට මෙන් විශේෂ අවධානයක් මොවුන් වෙත
යොමු කිරීම අවශ්‍ය වේ. පංතියට අදාල විෂය නිර්දේශයට වඩා ඉහළ මට්ටමකින් මොවුන්ට
අධ්‍යාපනය ලබාදීමට පියවර ගැනීම වැදගත්ය. සුභග ළමුන් මේ ගණයට අයත් වේ.

මේ ආකාරයෙන් විවිධ බුද්ධි මට්ටම් වල ඉන්නා දරුවන්ගෙන් මව්පියෝ සහ ගුරුවරු එකම දක්ෂතා කුසලතා අපේක්ෂා කිරීම ඉහත අපයෝජනයන් සිදුවීමට ඉඩකඩ විවෘත කරයි. දරුවාගේ මට්ටමට ගැලපෙන ඉලක්ක සහ අභයෝග ලබාදීමත් එපමණින් සෑහීමට පත්වීමත් මව්පියන්ගේ වගකීමකි.

කායික අපයෝජනය

මෙහිදී දරුවාට කායික වශයෙන් ලබාදෙන හිංසන පිළිබඳ සැලකේ. මව්පියන් දරුවාගේ විනය ඇති කිරීම පිණිස විවිධාකාරයේ දඬුවම් පමුණුවති. දරුවකුට සාමාන්‍යයෙන් සදාචාර සංවර්ධනය ඇති කිරීමට වයස අවුරුදු හත සම්පූර්ණ විය යුතු බව මනො විශේෂඥයින්ගේ අදහසයි. නමුත් ඊටත් කුඩා දරුවන් අතින් නොදැනුවත්ව සිදුවන වැරදිවලට දැඩි දඬුවම් දෙන මව්පියන් සිටී.
වරක් අට හැවිරිදි තම කුඩා දියණිය මා වෙත යොමු කළ මවක් දියණිය පිළිබඳව කී විස්තරය මෙසේය.

“ කියන දේ අහන්නේ නැහැ. පාඩම් කරන්නේ නැහැ. මල්ලිට හිරිහැර කරනවා. බොරු කියනවා. උදේට ඇහැරවන්න අමාරුයි. මගේ මහත්තයා රට ඉන්නේ. ළඟපාතක මගේ කවුරුත් නැහැ. සේරම වැඩ කරන්න ඕන මමයි. මම පුදුම මහන්සියක් වෙන්නේ. එහෙම තියෙද්දී මෙයා මෙහෙම හැදෙනකොට මට තරහා යනවා. මම මෙයාට හොඳටම ගහනවා. ඉනේ බඳින පටියෙන් ගහන්නේ“


මේ මව තම කුඩා දියණියට වයස හතරේ ඉඳන් මෙම පහරදීම කර ඇත. ඒ අනුව බලන විට මෙම අනිසි දඬුවම වසර හතරක් මුළුල්ලේ සිදුකර ඇත. දරුවාගේ මානසික තත්වය කෙසේ විය හැකිද? මා ඇයගෙන් ඇසුවේ මෙවැන්නකි.

“ අවුරුදු හතරක් ඔබ ඔය ක්‍රමයට දරුවා හදන්න ගත් උත්සහය සාර්ථක වෙලාද?“


“නැහැ“


“ වසර හතරක් තිස්සේ සාර්ථක නොවූ දෙයක් තව දුරටත් පවත්වා ගන්න ඕන කියලද ඔබ හිතන්නේ“


මව කල්පනාවට වැටුණාය. ඇත්ත වශයෙන්ම මේ සිද්ධිය හොඳින් විමසා බලන්නකුට දියණියගේ දඟකාරකම්වලට දඩුවම් දෙන අම්මා දැඩි පීඩාවකට හසුවී ඇත්තියක් බව වැටහෙයි.. දරු දෙදෙනකු වැඩත් නිවසේ ගෘහ කටයුතුත්, වෙළඳ පොලට , රෝහලට ආදී සියලු‍ කටයුතු ඇය අතින් සිදු වෙයි. මේ මව ඉන් ඉක්මනින් වෙහෙසට පත්වෙයි. පුරුදු පුහුණූ කළ සිතක් නැති අයට වෙහෙස කෝපය ඇති කරන ප්‍රබල උත්තේජනයකි. දියණියගේ ඉතාම සුළු අඩුපාඩුවක් පවා ඇය විශාල කර පෙන්වන්නේ ඇය තුළ වූ අධික වෙහෙස සහ අවිවේකයයි. මව පත්ව සිටින අසරණ තත්වයත් ඇයට ඇති දුක සහ ආවේගත් සියල්ල එකතු කර ඇය දියණිය පිටින් මුදා හරී. අසරණ දැරිය කෙතරම් පීඩාවකට පත්ව ඇද්ද? ඇයගේ පීඩාව දුක ඇය කියන්නේ කාටද? දෙකොණ ඇවිලු‍ණු විලක්කුවක් මෙන් සිටින අම්මාටද? නැත. කිසිවකුට කිසිවක් නොකියන දැරිය හිත තුළ ඒවා හිර කරගනී. ඇය ලබන මේ වැරදි ඉගෙනුම නිසා ඇය ක්‍රමයෙන් වෙනස් වන්නට පටන් ගනී. මේ වෙනස දකින මව්වරු පියවරු දරුවන් උපදේශනයට රැගෙන එති.

දරුවකු යනු කුඩා වැඩිහිටියකු නොවේ. ඔහු ඉගෙන ගනිමින් වැඩෙන කිරිසප්පයෙකි. ඔහුට යමක් ඉගෙන ගැනීමට අපට තරම් ලේසි නැත. ඔහු යමක් දෙස බලන්නේ ඔහුගේ නුවණ සහ ලබා ඇති අද්දැකීම් මට්ටමෙනි.

. එමනිසා අපේ හැකියාවන් දරුවන්ටත් ඒ මට්ටමින් ඇතැයි සිතා කටයුතු කරන මවිපියන් මෙන්ම ගුරුවරුද කොතෙකුත් සිතති. වරක් මා වෙතට ගෙන ආ දරුවකු පිළිබඳ මවට තිබූ ගැටළුව ඉතා ආසාවෙන් ගිය පාසැල් ගමන එක්වරම ප්‍රතික්ෂේප කිරිමයි. දරුවාගේ විශ්වාසය දිනගත් පසු දරුවා මට කාරණය හෙළි කලේය. තමාගේ සිංහල රචනාවේ පිල්ලම් වල අඩුපාඩු නිසා ගුරුතුමිය තම අතට අඩි කෝදුවෙන් පහර දී සිංහල රචනා පොත පංති කාමරයේ පිටුපසට විසි කළ බවයි. අනිත් දරුවෝ එයට සිනාසී තිබුණි. ඔහු කෙතරම් අසරණ වන්නට ඇද්ද? වයස අවුරුදු අටක දරුවකුගෙන් ගුරුතුමිය දරුවාගේ ප්‍රමාණයට වඩා අපේක්ෂා කිරීම නිවැරදි නොවේ. වර්තමානයේ ජාතික මාධ්‍යයන්හි පවා පිල්ලම් වරද්දන ව්‍යාකරණ වරද්දන වැඩිහිටියන් කොපමණ සිටීද? ගුරුවරයාට දරුවන්ගේ බුද්ධි මට්ටම හැකියාව පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත්ය. මේ නිසා දරුවන්ට ඉතා කුඩා වයසේදීම අධ්‍යාපනය අමිහිරි වෙයි.

දරුවා දෙස දරුවකු දෙස බලන ආකාරයෙන් බැලීමට ගුරුවරු උත්සහ කිරීම වැදගත්ය. එවිට ගුරුතුමියට දරුවාගේ ප්‍රමාණය පිළිබඳ අවබෝධයක් ඇති වෙයි. එය ඉතා ඉවසීමකින් කළයුතු දෙයකි. එසේ නොමැති කළ දරුවන් නිරන්තරයෙන් කායික හා මානසික අපයෝජනයන්ට ගොඳුරු වෙති.

මානසික අපයෝජනය.

මෙය ඉතාම නරක, දරුවාගේ ජීවිතය පසුපසට තල්ලු‍ කර දමන, ඔහුගේ පිබිදෙන කුසලතා මොට කර දමන අපයෝජනකි. බොහෝ මව්පියවරු දරුවන්ට දුව පුතා කියා වර්තමානයේ ආමන්ත්‍රණය නොකරති. එහෙත් දරුවන් අතින් සිදුවන අඩුපාඩුවකදී සිවු පා සතුන්ගේ නම් වලින් දරුවන් අමතති. “ගොනා, බූරුවා, හරකා, වඳුරා, බල්ලා“ යනුවෙන් නොසරුප් වදන් මව්පියන්ගේ මුවින් තමන් වටිනාම සම්පත වෙත නිකුත් වෙයි. මෙහිදී දරුවාට මව්පියන් තමාට බණින්නේ ඇත්තටම යැයි සිතයි. දරුවා බිය වෙයි. කණගාටු වෙයි. තමාට කවුරුත් ආදරේ නැතැයිද තමා තනිවී ඇතැයිද යන කාංසාමය සිතුවිලි ඔහුට ඇති වෙයි. එදිනෙදා ඔහු අතින් සිදුවිය යුතු දේ මඟහැරෙයි. එවිට නැවත දඩුවම් ලැබෙයි. මෙය චක්‍රයක්ව සිදුවෙයි.

එක් අවස්ථාවක දෙකේ පංතියේ සිසු දරුවන්ට පුළුන් වලින් කුඩා බෝල සාදා ඒවායින් හාවකු සාදාගෙන එන ලෙස ගුරුවරියක් දරුවන්ට පැවසුවාය. දරුවෝ තමන් ලද ගෙදර වැඩය සතුටින් බාර ගත්හ. මා කියන්නට යන දරුවාද ගෙදර ගොස් අද දින තමා ලද සුවීශේෂී ගෙදර වැඩය ගැන මව දැනුවත් කලේය. දරුවා එදා හවස් වරුවම මේ කාර්යය වෙනුවෙන් කැප කලේය. කුඩා දරුවන්ට නිවසේදී කරන්නට දෙන අත්වැඩ කරනුයේ එම දරුවන්ගේ මව්පියන් විසිනි. එහෙත් මේ දරුවාගේ මව බුද්ධිමත් කාන්තාවක් වූවාය. දරුවාගේ පසෙකින් හිඳිමින් ඔහුට සහය වූ ඇය දරුවාට අත්වැඩය කරගෙන යෑමට ඉඩ දුන්නාය. එය නිමාවූ පසු දෙවන පංතියේ උගන්නා දරුවකුගේ මට්ටමට වඩා පෙනුමක් එහි දිස්වූයේය.

මහත් සතුටින් එය පාසැලට රැගෙන ගිය දරුවාගේ අප්‍රමාණ බලාපොරොත්තුව වූයේ ගුරුතුමියගේ ප්‍රශංසාවයි. එහෙත් අම්මලා රාශියකගේ නිර්මාණ සමග තරඟ කරන්නට කුඩා සිඟිත්තාගේ නිර්මාණයට නොහැකි විය. අම්මලාගේ අත්තම් වලින් වසඟ වූ ගුරුතුමිය සිඟිත්තාගේ නිර්මාණ ඇඟිළි තුඩුවලින් අල්ලාගෙන “මේ මොකක්ද මේ? මේ බලන්නකෝ මෙයාගේ හාවාගේ හැටි“ කියා අත්තම් නිර්මාණය පසෙකට දැමුවාය. ළමෝ මහ හඬින් සිනාසුනෝය. දරුවගේ හදවත කඩා වැටුණි. තම මව පාසැල් ඇරී ඔහු ගෙන යන්නට එන විටත් ඔහු හඬමින් සිටියේය. මවට විස්තරය කියනු ලැබුවේ අනෙක් දරුවෝ විසිනි.

මේ කුමන අභාග්‍යයක්ද? මේ හා සමාන සිදුවීම් අනන්තවත් අප ඉදිරියට පැමිණෙයි. ගුරුවරයෙකුට සියලු‍ම දරුවෝ ඔහුගේ හෝ ඇයගේ දරුවෝ විය යුතුය. ඔහුගේ කාර්ය අගය කරනවා විනා එහි ලස්සන අගය කිරීමක් බාලාංශ පංතිවලදී සිදු නොවිය යුතුය. රටේ අනාගතයට සරිලන සේ දරුවා ඔපමට්ටම් වන්නේ ගුරුවරයාගේ අතිනි. ඔහු ඉතාම දීර්ඝ සමාජානුයෝජන කාරකයක් හා අන්තර් ක්‍රියා පවත්වන්නේ පාසැලේදීය. සම වයස් කණ්ඩායම් සහ පාසැල ඉතාම වැදගත් සමාජානුයෝජන කාරක වෙයි. ඉදින් ඔහුට මෙවන් අමිහිරි අත්දැකීම ලැබෙන විට ඔහු කෙසේ පෞරුෂවත්ව නැගී සිටින්නද?

එෂාමා කාරියකරවන
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා