free stats

හවස හතර පහ වෙද්දී පොඞ්ඩෝ රූපවාහිනිය ඉදිරියට එන්නේ බොහොම නොඉවසිල්ලෙන්. මොකද කාටූන් යන වෙලාව හින්දා. ඒ තරමටම පුංචි දරුවෝ කාටූන් බලන්න ආසයි. ඒත් දැන් දැන් මේ කාටූන් බලන එක හොඳද නැද්ද කියන ගැටලුව බොහොමයක් දෙමව්පියන්ට ඇති වෙලා. ඒත් ඇතැම් දෙමව්පියන් කොටසක් තමන්ගේ පහසුව වෙනුවෙන් ඕනේ කාටූනයක් ඕනේ වේලාවක් බැලුවට කමක් නැහැ කියන මතයේ ඉන්නවා. අද අපි කතා කරමු කාටූන්වලට ඇබ්බැහි වීම දරුවෙක්ගේ ජීවිතයට බලපෑම් ඇති කරන්නේ කොයි විදියටද කියලා.

අම්මලා දන්නවාද?

සාමාන්‍යයෙන් දරුවෙක් කියන්නේ මනස එක් තැනක රඳවා ගැනීමට අපහසු පිරිසක්. පුංචි දරුවෙක්ගේ මනස බොහොම චංචලයි. හැම තැනම දුවනවා. දරුවෙක්ගේ සතුටේ පැවැත්ම, නිර්මාණශීලී හැකියාව, අධ්‍යාපනය වගේ තවත් වැදගත් බොහෝ දේ තීරණය වෙන ප්‍රධාන එක් සාධකයක් විදියට දීර්ඝ කාලයක් දරුවෙකුගේ මනස එක අරමුණක පවත්වා ගැනීමේ හැකියාව දැක්විය හැකියි. එසේ එක අරමුණක වැඩි කාලයක් රැඳී සිටීමේ හැකියාව වැඩිවෙත්ම දරුවෙකුගේ නිර්මාණශීලී හැකියාව, සතුට විඳීමේ හැකියාව ඉහළ යනවා. මොනයම් හෝ හේතුවක් මත දරුවෙකුගේ මේ අවධාන හැකියාව එනම් හිත එක අරමුණක පවත්වා ගැනීමේ හැකියාව අඩාල වුවහොත් එහෙමත් නැතිනම් දුර්වල වුවහොත් ඇති වෙන තත්ත්වය ගැටලු සහතයි.

මේ විදියට දරුවෙක්වෙකුගේ අවධාන හැකියාව දුර්වල කරන්න පුළුවන් කාටද?

ඔව්… දරුවෙක්ගේ අවධාන හැකියාව දුර්වල කළ හැකි එක් දෙයක් විදියට කාටූන් හඳුන්වන්න පුළුවන්.

ඉතිං මේ කියන විදියට දරුවෙක් කාටූන් බලන එක සම්පූර්ණයෙන්ම නතර කළ යුතුද ?

නැහැ. දරුවා නරඹන කාටූන් වඩා හොඳ තත්ත්වයක පවතින තාක් දරුවෙක් කාටූන්වලින් ඈත් කළ යුතු නැහැ. දැන් ඔබ හිතයි මොනවද මේ හොඳ තත්ත්වයේ කාටූන් කියන්නේ කියලා. කාටූන් හරහා දරුවන්ට උපදෙසක් ආදර්ශයක් එහෙමත් නැත්තම් අවදානමක් පිළිබඳව කියා දෙනවා විය හැකියි. ඒ කියන්නේ හොඳ කාටූනයක් හැමවිටම දරුවාට පණිවිඩයක්, ආදර්ශයක් මෙන්ම උපදෙසක් ලබාදිය යුතුයි. එය ඉදිරිපත් කෙරෙන ආකාරය දරුවන්ගේ මනසට සුදුසු විය යුතුයි. ඒ විදියට ගත්තම කාටූන් කියන්නේ දරුවෙකුට නරක දෙයක් නම් නෙවෙයි. අතීතයේදී කාටූන් මේ තත්ත්වය කළමනාකරණය කර ගත්තත් අද වෙන කොට සිදුවන වානිජකරණයත් සමගම රූපවාහිනී නාලිකා අතර ලොකු තරගයක් ඇරඹිලා. මේ තරගකාරී තත්ත්වය හේතුවෙන් හැම කෙනෙක්ම බලන්නේ තමන්ගේ රූපවාහිනී නාලිකාව වෙත ප්‍රේක්‍ෂකය අවධානය දිනා ගැනීමට වගේම ඒ අවධානය රඳවා ගැනීමට යෙදිය හැකි උපක්‍රම මොනවද කියලා. කාටූන් මෙතැනදි ඔවුන්ට විශාල සහයෝගයක් ලබා දෙනවා.

දරුවෙක්ට යමක් කියා දෙන්න අවබෝධ කරන්න හොඳම ක්‍රමය තමයි “කතා” කියන්නේ. මොකද දරුවෙක්ට යමක් උපදෙසක් විදියට ලබා දෙනවාට වඩා කතාවක් විදියට ගෙන ආවොත් ඔවුන් ධාරණය කරගන්න ප්‍රමාණය ඉහළයි. මෙන්න මෙතැනදි හොඳ තත්ත්වයේ කාටූන්වලට විශාල කර්තව්‍යයක් ඉටුකළ හැකියි. නමුත් අද වෙද්දී එවැනි දෙයක් මාධ්‍ය හරහා අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒවා වෙනස් කිරීමේ හැකියාවක් අපිට නැති නිසාම අපේ දරුවන්ට දිය යුතු හොඳම දේ වැඩිහිටි අපි තෝරා දිය යුතුයි.

බොහොම සිත් ඇදගන්නා සුලු, පුංචි හිත් ඇද බැඳ ගනිමින් දරුවන්ගේ අවධානය පැහැර ගන්නා ආකාරයෙන් අද වන විට බොහොමයක් කාටූන් නිපද වෙනවා. කාටූනයක් මගින් බොහෝ හොඳ දේ සමාජගත කිරීමේ හැකියාව තිබුණත් අද වෙද්දී ලෝකය තුළ පවතින අවධානය රඳවා ගැනීමේ ආර්ථික ක්‍රමය කියන සංකල්පය සමගින් මේ සියල්ල සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා. සියලු දේ වානිජකරණයට ලක් වූ ලෝකයක මේ පුංචි පැටවුන්ගේ රස වින්දනයට තිබුණු පුංචි කාටූනයත් වානිජකරණයට අසු වෙලා කිව්වොත් නිවරදියි. ගැටලුව ඇති වෙන්නේ එතනදීයි. අද වෙද්දී කාටූන්වල ප්‍රමිතිය බිඳ වැටිලා, ලොකු පෙරළියකට බදුන් වෙලා. හොඳ කාටූනයක් නිෂ්පාදනය වුණත් එයට අවශ්‍ය අවධානය නොලැබී යන්න මේ වානිජකරණය එක් හේතුවක්.

අද වන විට පවතින කාටූන් දරුවන්ට බලපෑම් කරන්නේ කොයි විදියටද?

දැන් දැන් විකාශය වන කාටූන්වලින් සිදුවෙන්නේ දරුවෙකුගේ මනස වේගත්ව ගමන් කරවීම.. තත්පරෙන් තත්පරේට වෙනස් වන රූප රාමූ, වෙනස් වන හඬ, ඝෝෂාකාරී බව, ඇස් කඩාගෙන යන රූප රාමු, හිත එක්වර ගැස්සෙන (න්‍මපචසබට ඍැ්ජඑසදබ) සිදුවීම් සමග වසර 10ක් 15 තුළ කාටූන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. කාටූන් බොහොම වේගවත් වෙලා. මේ තත්ත්වයේ කාටූන් මගින් දරුවන්ට අවශ්‍ය උත්තේජනය කිසිදු වෙහෙස වීමකින් තොරව ලැබෙන නිසා යමක් වෙනුවෙන් වෙහෙස වීමට දරුවා කම්මැලි වෙනවා. මේ විදියට දරුවෙක් කාටූන්වලට යොමු වෙනවා නම් එයින් කියැවෙන්නේ වැඩිහිටි අපි විසින්ම දරුවාගේ මනස එක තැනක රඳවා ගැනීමේ හැකියාවට සහයෝගයක් නොදෙනවා කියන එකයි.

මීට වසර 10, 15 පෙර තිබුණු කාටූන්වල සහ අද තියෙන කාටුන්වල තියෙන වෙනස මොකද්ද?

ලොකු වෙනසක් තියෙනවා. අද අම්මලා තාත්තලා වෙලා ඉන්න අපි පුංචි කාලේ බැලුවේ දොස්තර හොඳ හිත, පිස්සු පූසෝ වගේ කාටූන් ඔබට මතක ඇති. ඒ කාටූන්වල තිබුණේ බොහොම සෙමින් ගලා ගිය කතා මලාවන්. හරියට පොතක් බලනවා වගෙයි. අනවශ්‍ය කලබල ගතිය එදා කාටූන්වල දකින්න තිබුණේ නැහැ. අපි ආස කළේ ඒ කතාවට. උපදෙසක්, පණවිඩයක් හිතන්නට යමක් එදා කාටූන්වලින් දරුවන්ට ලැබුණා. එතැනදී දරුවෙක්ට මනස වෙහෙසවලා හිතන්න යමක් තිබුණා. ආදරය, දුක, සතුට දරුවන්ට දැණුනා. ඒත් අද කලහකාරී බව, ඝෝෂාකාරී හඬ, නොසන්සුන් බව වැනි දේත් එක්ක කාටූන් තුළින් සතුට කියන දේ නික්මිලා. කලබලකාරී ඝෝෂාකාරී බව දරුවෙකුගේ අවධානය ඒ තුළ රඳවා තබා ගැනීමට බොහෝ සෙයින් සමත් බව මේ වන විට සොයාගෙන තිබෙනවා. මන්ද මෙවැනි දෙයකට අවධානය යොමු කිරීමට දරුවෙකුට කිසිදු වෙහෙසක් දැරිය යුතු වන්නේ නැහැ. නමුත් නිර්මාණශීලී කටයුත්තක යෙදීම දරවෙකුට පහසු නැහැ. මේ නිසා දරුවා තමාව නිතැතින්ම ඇද ගන්නා කාටූනයට හුරු වීම වරදක් නැහැ. ඒ තමයි ළමා මනසේ ස්වභාවය. ශබ්ද, කෙනෙහිලිකම්, ක්‍ෂණික වෙනස් වීම් හරහා අද පවතින කාටූන් දරුවන්ට ඇද බැඳ තබාගන්න සමත් වෙන්නේ මේ හේතුවත් එක්ක. ක්‍ෂණිකව වෙනස් වන රූප රාමුවලට දරුවන් ඇදී යන්නේ කිසිම බලපෑමකින් තොරවයි.

මේ තත්ත්වය දරුවෙකුට නරකට බලපෑ හැකිද?

අනිවාර්යෙන්ම. තමාගේ අවධානය වෙහෙසකින් තොරව ඇද ගන්නා යමකට හුරු වූ දරුවා තම ජීවිතයේ අත්‍යවශ්‍ය දේකටවත් අවධානය යොමු කිරීමට උනන්දු වන්නේ නැහැ. උනන්දු නොවනවාට වඩා සිදු වන්නේ අවධානය ලබා දීමට දරුවාට නොහැකි වීමයි. දීර්ඝ කාලීනව ඉහත සඳහන් කළ ආකාරයේ කාටූන නිසා දරුවාගේ මොළයට කලබල බව, ඝෝෂාව වැනි දේ හුරු වී අවසන්. මෙන්න මෙතැනදී තත්ත්වය භයානකයි. මොකද අත්‍යවශ්‍ය දෙයක් වෙනුවෙන්වත් අවධානය යොමු කරන්න දරුවට බැහැ.

දරුවා සාර්ථකත්වය වෙත යොමු කරන්න මව්පියන් කළ යුත්තේ මොනවාද?

දරුවෙක්ට උත්තේජන, ක්‍රියාකාරකම්, විනෝදාත්මක ක්‍රියා කියන දේ ලබා දීම බොහොම වැදගත්. ඒත් දරුවාට තමන්ගේම සිතුවිලි එක්ක විශේෂ ක්‍රියාකරකම්වල යෙදෙන්නත් ඉඩක් අත්‍යවශ්‍යයි. තමන්ගේම සිතුවිලි එක්ක ක්‍රියාත්මක වෙන්න අවස්ථාව ලැබිලා තනි වුණු දරුවෙක් ඒ කාලය තුළ එයාගේ ඇති වෙන කම්මැලි වීම (ඊදරසබට) තුළ දරුවා බොහෝ වෙනස් නිර්මාණශීලී දේ හිතන්න වගේම අලුත් දේ අධ්‍යයනය කරන්න මේ කාලය යොදවනවා. දෙමාපියන් විදියට ඔබ ඒ කාලය නාස්ති වීමක් ලෙස සිතා දුක්වෙනවාට වඩා තමන්ගේ දරුවා යම් දිනෙක ඒ තුළින් ලබන සාර්ථකත්වය ගැන සිතා සිතුටු විය යුතුයි. කාලය එක් එක් දේවලින් පිරුණු දරුවෙක්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. දරුවෙක්ගේ සාර්ථකත්වය ගැන ඔබ හිතනවා නම් දරුවාට දරුවාගේ සිතුවිලි සමග ගතකරන්නත් යම් කාලයක් ලබාදෙන්න.

මේ හා සම්බන්ධව දෙමාපියන් අතින් එදිනෙදා ජීවිතයේදී සිදුවන වැරදි ගැන කතා කළොත්

ඔව්. බොහොම අවස්ථාවල සිදු වන දෙයක් තමයි උදේට දරුවා නැගිට්ට ගමන් කාටූන් දාලා දෙන එක. අම්මලා මෙක කරන්නේ පාසැල් හෝ පෙර පාසැල් යවන්න දරුවා ඇහැරව ගන්න තියෙන අමාරුව නිසා තමයි. ඒත් මේ වගේ ක්‍රියාකාරකමකින් දවස පටන් ගත්ත දරුවෙක්ට ක්‍රියාශීලී දෙයකට මාරු වීම තරමක් අපහසුයි. ඒ වගේම තමයි දරුවෙක්ගේ අවධානය දිගින් දිගටම වෙනස් වන දේවල්වලට හුරු වුණාම අවධානය රඳවා ගැනීමේ හැකියාව අඩපණ විය හැකියි. මෙන්න මේ තත්ත්වය දරුවට වැඩිහිටි වියේදී පවා බලපෑම් ඇති කරනවා. උදාහරණයක් විදියට වැඩිහිටි වියේදී මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අපහසු නිසාම එක් කාර්යයක එක දිගට නිරත වීම පවා අපහසු වෙනවා.

කාටූන්වලට අමතරව තවත් බොහෝ දේ තියෙනවා දරුවන්ට අහිතකර වෙන. අන්තර්ජාලය එවැන්නක්. අද වන විට ලෝකයේ ඇතැම් රටවල්වල අන්තර්ජාල පහසුකම් ලබාදීමේ දී පවා නීති මාලාවකට අනුව තමයි ඒ පහසුකම් දරුවන්ට ලබාදෙන්නේ. ඇතැම් රටවල මේ නීති පිළිනොපදින දෙමාපියන්ගෙන් දඩ මුදල් පවා අය කරන අවස්ථා තිබෙනවා. ඒත් අපේ ඇතැම් දෙමාපියන් තමන්ගේ පහසුව බලලා දරුවන්ට ඕනේ තරම් වෙලාවක් රුපවාහිනිය, පරිගණකය, ස්මාර්ට් දුරකතනය, ටැබ් එක එක්ක ඉන්න අවස්ථාව ලබාදෙනවා. ඉතිං දරුවෝ ක්‍රියාකාරකම්වලට යොමු වෙනවා අඩුයි. දරුවන්ගේ යහපත වෙනුවෙන් බොහෝ රටවල් නොයෙක් ආකාරයේ ක්‍රියාමාර්ග වෙත යොමු වෙලා තිබුණත් අපේ රටේ මේ තරම් සංකීර්ණව මේ ගැටලුව දිහා බලන අවස්ථා අඩුයි. අනිත් අතට ගත්තම අද වෙද්දී වෙලඳ පොළ බලපෑම ඉහළ නිසා මව්පියන්ට පුද්ගලයන් විදියට සටන් කිරීමට බැරි තරම්. ඒ කොහොම වුණත් දරුවන්ගේ වගකීම පැවරෙන්නේ දෙමාපියන්ට වගේම දරුවන්ට යම් හානියක් සිදු වුවහොත් එය වේදනාවක් වන්නේත් දෙමාපියන්ටම නිසා දරුවාට ලබා දිය යුතු හෝ නොදිය යුතු දේ මෙන්ම ඒවා ලබා දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුවත්ව නිවැරදිව ක්‍රියාත්මක වීම දෙමාපිය ඔබේ වගකීමක් බව ඔබ වටහා ගත යුතුයි.

මනෝ විශේෂඥ වෛද්‍ය
වෙනුර පලිහවඩන මහතා
මූලික රෝහල, දඹදෙනිය

සටහන සාරංගි රන්පටබැඳි