free stats

 පුංචි පැටියෙක් කියන්නේ මුඵ ලෝකයටම සම්පතක්. අම්මට තාත්තට පවුලේ අයට විතරක්ම නෙමෙයි හැමෝටම සතුට උදා කරන කරුණක්. ඉතින් මේ විදියට සතුට අරගෙන මව් කුසට වඩින කලලය ආරක්ෂා කරගැනීම මවට පියාට පැවරෙන ලොකු වගකීමක් පුංචි කළලය හුරතල් දරු පැටියෙක් වෙලා මේ ලෝකෙ එළිය දකිනකල්ම ඒ වගකීම එහෙමමයි. හැබැයි ඉතින් සමහර හේතූන් නිසා කළලයේ වර්ධනය 100% නිවැරදිව සිදුවීම අඩාල වෙන්න පුඵවන්. අද වෙනකොට ලාංකීය වශයෙන් ගතහොත් දිනකට සිදුවන දරු උපත්වලින් 13% අඩු බර දරු උපත් බවට පත්වෙලා තියෙනවා. මේ නිසා අද මව් කුස තුළ කලලයේ වර්ධනය ප්‍රමාදනම් කියන කාරණය පිළිබඳ සාකච්ජා කරන්න අපි හිතුවා.

මව්කුස තුළ කළලයේ වර්ධනය අඩාල වීමට සුලභ හේතූන් වගේම දුලභ හේතූන් ද බලපෑ හැකියි. කෙසේ වුවත් ගර්භණී සමය තුළ අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතම කරුණ වන්නේ මවක් වීමට පෙරුම් පුරන කාන්තාවගේ මානසික සුවතාවයයි. ගර්භණීභාවය යනු අවධානම් සහගත ක්‍රියාවලියකි. එබැවින් නිරන්තර ඇය වටා සිටින්නවුන් ඇගේ සුවතාවය සුරැකිය යුතුයි. මානසික හා කායික සුවතාවයකින් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ යුතුයි. එවිට කුස තුළ වැඩෙන දරුවාද නිතැතින්ම නිරෝගිමත් දරුවකු බවට පත්වේ.

කලලයෙහි වර්ධනය අඩාල වීමට බලපාන සුලභතම කරුණ වන්නේ නිසි පෝෂණය නොලැබීමයි. මවට නිසි පෝෂණය නොලැබීම නිසා කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනයද අඩාල වේ. අද වනවිට 2500ට ත් වඩා අඩු බරකින් යුක්ත දරුවන් බිහි වනුයේ එහි ප්‍රතිඵලයෙනි. මෙය වලක්වා ගැනීමට නිවැරදි ආහාර රටාවක් නිවැරදි වේලාවට ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් අද දවස වනවිට ස්වාමිපුරුෂයා පමණක් නොව කාන්තාවන් ද අනිවාර්යයෙන් ම මෙන්

රැකියාවල නිරත වීම සුලභ කරුණකි. මේ නිසාම ගර්භණී සමයේ වුවද කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට කාන්තාවන්ට සිදු වේ මෙවැනි තත්ත්වයකදී ඇගේ පෝෂණය පිළිබඳ පු`ඵල් වගකීමක් ස්වාමිපුරුෂයා වෙත ද පැවරේ ඇගේ පෝෂණය පිළිබද අවධානයෙන් පසු විය යුතු වේ.

එමෙන්ම ගර්භණී සමයේ පවත්වනු ලබන සායන වලදී මුල් කාලයේ දී මසකට වරක් ද අනතුරුව කිහිපවරක් ද මව්වරුන්ගේ බර මැන බැලීමක් සිදු වේ. මෙහිදී මවගේ බර සාපේක්ෂ වශයෙන් වැඩි වන්නේ නම් කලලයේ වර්ධනය ද නිසි පරිදි සිදු වන්නේ යැයි උපකල්පනය කෙරේ. එමෙන් ම කලලයෙහි වර්ධනය සමඟ සාමාන්‍යයෙන් මවගේ බාහිර ස්වරූපයෙහි වෙනසක් සිදු වේ. එනම් කුසෙහි වර්ධනය සිදු වේ. එවිට ද කලලයේ වර්ධනය සිදු වන්නේ යැයි උපකල්පනය කෙරේ. එහෙත් අදවන විට මෙම සියඵ ක්‍රමවේදයන්ට වඩා ඉතා නිවැරදි ආකාරයේ නිගමනවලට එළඹීමේ  හැකියාවක් පර්යේෂණ මඟින් උදා වී ඇත.

සැබැවින්ම නිවැරදි දරු ප්‍රසූතියක් සිදු වීමට නම් ගර්භණී වීමෙන් පසුව පමණක් නොව ගර්භණී වන අවස්ථාවේ දී ද නිවැරදි පෝෂණයකින් යුක්තව සිටීම ඉතා වැදගත් වේ. එසේ නිවැරදි පෝෂණ මට්ටමක සිටින ගර්භණී මවකගෙන් නිරෝගී හොඳින් වැඩුනු දරු උපතක් බලාපොරොත්තු වීමේ වැඩි අවකාශයක් පවතී. මේ සඳහා  BMI අගය හෙවත් නිවැරදි උසට සරිලන බරක් මව සතු වීම වැදගත් වේ. මේ සඳහා කාන්තාවක මවක බිරිඳක වීමට පෙර සිටම සූදානම් විය යුතුයි. විශේෂයෙන්ම අද දවසේ ගැහැණු දරුවකුගේ නිවැරදි පෝෂණය හෙට දවසේ ඇය මවක වීමේ දී නිරෝගී දරුවකු වීම සඳහා අතිශය වැදගත් සාධකයක් බවට පත් වේ.

මව් කුස තුළ වැඩෙන කලලයෙහි වර්ධනය අඩාල වීම සඳහා බලපාන තවත් ප්‍රධානතම කරුණක් වනුයේ ලේ මද බව හෙවත් රක්තහීනතාවයයි. මේ සඳහා බලපාන්නේ අප ගන්නා අහාරවල පවතින යකඩ ඌණතාවයයි. සාමාන්‍යයෙන් ලාංකීය ජනග්‍රහණයෙන් 30% පමණ රක්තහීණතාවයෙන් පෙලේ.  ගර්භණී මවකට රක්තහීණතාවය  ඇතිවීම නිසා මවට මෙන් ම කුසෙහි වැඩෙන කලලයට ද බලපෑම්  රැසක් එල්ල විය හැකියි. හොඳ පෝෂණයක් පැවතිය ද යකඩ අඩංගු ආහාර අවමව ගැනීම නිසා නිරක්තිය පැවතිය හැකියි. මේ නිසාම ගර්භණී සමය තුළ නිරක්තියෙන් තොරව සිටීමට සැළකිළිමත් විය යුතු වේ. ගර්භණී සමය තුළ සිදු කරනු ලබන හිමොග්ලොබින් පරීක්ෂාව තුළින් නිරක්තිය පවතින්නේදැයි නිශ්චය කරගත හැකි වේ. එසේ  නිරක්තිය පවතින්නේ නම් ආහාර සහ යකඩ පෙති මඟින් වෛi උපදෙස් මත එම ඌණතාවය මගහරවා ගත හැකි වේ. එහෙත් අධික ලෙස යකඩ ඌණතාවයකින් පෙළෙන මවක නම් ඇතැම්විට රුධිරය ලබා දීම පවා සිදු කළ යුතු වේ. නිරක්තිය හේතුවෙක් කලලයේ වර්ධනය අවම වීම පමණක් නොව දරුවාගේ මොළය වර්ධනය ද අවම විය හැකියි. එය සුව කළ නොහැකි තත්ත්වයක් බවට පත් වේ.

කලලයෙහි නිවැරදි වර්ධනය සඳහා ගනු ලබන ආහාර රටාව මෙන්ම  ආහාර පිළිබඳ සැළකිලිමත් වීම ද අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ලිපිඩ වැනි කොටස් මහා පරිමාණයෙන් ගනු ලැබුව ද විටමින්, ඛණිජ, ලවණ වැනි ශුද්‍ර පෝෂක කොටස් පිළිබඳව ද අවදානය යොමු කිරීම වැදගත් වේ. පෝලික් ඇසිඞ් යනු එවැනි පෝෂක කොටසකි. ගැබ් ගැනීමකින් පසුව පමණක් නොව විවාහයෙන් පසු ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන දිනයේ සිටම පෝලික් ඇසිඩි පෙති භාවිතය වැදගත් වේ. යම් හෙයකින් මෙම  පෝෂක කොටස්හි ඌණතාවයත් ඇති වුවහොත් කලලයේ වර්ධනයට අමතරව ස්නායු පද්ධතියෙහි අබාධිත තත්ත්වයන් ද ඇති විය හැකියි. එම ආබාධ ජීවිතාන්තය දක්වා වුවද පැවතිය හැකියි. එමෙන්ම අයඩීන් ඌණතාවයෙන් තොරවීම ද වැදගත් වේ.

මීට අමතරව බෝවන රෝගයන්හි බලපෑම ද කලලයේ වර්ධනයට සෘජු බලපෑමක් එල්ල කළ හැකි කරුණකි. එම නිසා ගර්භණි සමයේ හැකිතාක් බෝවන රෝගයන්ගෙන් වැළකීමට

වගබලාගත යුතුයි. ගර්භණී මවකට රුබෙල්ලා වැළඳීම නිසා ඉතා භයානක ප්‍රතිඵල ඇති කළ හැකියි. ඇතැම්විට කලලය විනාශ වීම මෙන්ම උපත් අබාධ සහිත දරුවන් පවා බිහි විය හැකියි. ඉන් වැළකීම සඳහා රුබෙල්ලා වැළැක්වීමේ එන්නත සෑම ගැහැණු දරුවකුටම ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එය ලබා ගත යුත්තේ ගර්භණී වීමට පෙරදීමය. අද වන විට ළඳරු අවධියේම මෙම එන්නත ලබා දෙයි. නමුත් එසේ ලබා ගත නොහැකි වූ අයෙකුට ඒ සඳහා ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයකට ගොස් එන්නත ලබා ගත හැකි වේ. එමෙන් ම ගර්භණී සමය තුළ සෙනග ගැවසෙන ස්ථානයන්ගේ නොගැවසීම ඉතා වැදගත් වේ.

රුබෙල්ලා පමණක් නොව ඕනෑම බෝවන රෝගයක් (පැපොළ, සෙංගමාලය) ගර්භණී සමය තුළ බලපෑම්කාරී විය හැකියි. මේ නිසාවෙන් ම සාමාන්‍ය දෛනික ජීවිතයේ මූලික සෞඛ්‍ය ආරක්‍ෂක උපක්‍රම නිවැරදිව පිළිපැදීම වැදගත් වේ. දුම යන්න ද ගර්භණී සමයේ අහිතකර කලලයේ වර්ධනයට බලපෑම් සිදු කරනු ලබන ප්‍රධාන සාධකයකි. විශේෂයෙන් දුම්වැටි මඟින් නිකුත් වන දුම ඉතා අහිතකරය එය කලලයේ වර්ධනයට සෘජුව බලපෑම් සිදු කරනු ලබයි. දුම්වැටි මඟින් නිකුත්වන දුම පමණක් නොව සාමාන්‍ය දර ලිපකින් නිකුත් වන දුම පවා කලලයේ වර්ධනයට අහිතකර තත්ත්වයන් උදා කරනු ලබයි. මේ නිසාවෙන් සැළකිලිමත්වීම අත්‍යවශ්‍ය වේ.

මේ ආකාරයෙන් කුස තුළ වැඩෙන පුංචි පැටියෙකුගේ වර්ධනයට විවිධ ආකාරයේ හේතූන් අහිතකර ලෙස බලපෑ හැකියි. ඒ පිළිබඳ මනා දැනුවත්භාවයෙන් පසු වීම සහ නිරන්තරයෙන් වෛද්‍ය සායනයන්ට සහභාගී වීම වෛද්‍ය උපදෙස් නිවැරදි ලෙස පිළිපැදීම අත්‍යවශ්‍ය වේ.

                          උපදෙස්- වෛද්‍ය ඩී.බී නායකරත්න
වෛද්‍ය නිලධාරි කාර්යාලය        
           

සටහන -නදීශා ගයානි ගුණතිලක