free stats

 තෘප්තිමත් ජීවිතයක් මිනිසකුට ළඟා කර ගැනීම සඳහා මිනිසකු තම ජීවිත කාලය පුරාම යා යුතු චාරිකාවන් තුනකි. සොබාදහම් චාරිකාව, ආධ්‍යාත්මික චාරිකාව සහ සෞන්දර්ය චාරිකාවයි. මෙමගින් මිනිසුන් හැඟීම් සහිත වින්දනීය මිනිසුන් බවට පත්වෙයි. ඔවුහු සියලු දුක් දෝමනස්ස, අභියෝග මෙන්ම සතුට සොම්නස හමුවේද නොසැලෙති. ජීවිතය තමාටත් අනුන්ටත් යහපතක් වන අයුරින්ම පවත්වාගෙන යති.

ආදරණීය මව්පියනි, ඔබේ දරුවන් මේ අසිරිමත් චාරිකාවේ මගියකු බවට පත් කරන්න. ඒ සඳහා ඔබ කරන වෑයම කිසිදිනක අපතේ නොයයි. ඔබගේ සැප සතුට පිණිසද හේතු වෙයි. මේ ලිපියෙන්  කතා කරන්නේ සෞන්දර්ය චාරිකාව ගැනයි.

මේ චාරිකාව අරඹන්නට දරුවන්ට මව්පියන් සහය විය යුත්තේ දරුවා මව්කුසයේ සිටිත්දීය. කුසයේ සිටින දරුවාට ඇසෙන්නට නැළවිලි ගී ගැයීම, දරුවා සමග සංවාදයේ යෙදීම මගින් මේ ගමනට ආරම්භක පියවර තැබිය හැකිය. දරුවා බිහිවුනු පසුද බිළිඳා නැළවීමට දරු නැලවිලි ගී ගැයීමට මවට සූදානම් විය හැකි නම් ඉතා අගනේය. අපගේ ගීත සාහිත්‍ය  සහ ජන ගී තුළින් දරුවාගේ චරිත සංවර්ධනයට, ආකල්ප හා පෞරුෂ සංවර්ධනයට ඉවහල් වන සුගායනා බොහොමයක් ඇත. බිලිඳා මේ ගීත ගායනා කිරීම මගින් ඔහු මව සමග බැඳීම් වැඩි කර ගනී. ඔහුගේ පරිකල්පන ශක්තිය දියුණු වීමට මේ ගායනා බලපායි. තාලයකට රිද්මයකට මවගේ හඬින් ගැයෙන මේ සුබාවිත නාදයන් දරුවාගේ චිත්ත වේග සන්සුන් කරවයි. සන්සුන් ප්‍රීතිමත් සිතින් නින්දට යවයි.

දරුවා බහ තොරන අවධියේ සිට කතාන්දර කියාදීම මගින්ද පෞරුෂ සංවර්ධනය ඇතිවෙයි.දරුවාගේ ආකල්ප හා චරිත සංවර්ධනයට අවශ්‍ය කරන ගුණාංගයන් වූ උත්සහවන්ත බව, ස්ථානෝචිත ප්‍රඥාව, ආදදරය, කරුණාව, සොබා දහම සහ මනුෂ්‍යා අතර ඇති අවියෝජනීය සබදතාව, වීරෝදාර බව ඉගැන්වීමට කතාන්දර තරම් අන් කිසිවක් සමත් නැත. අපගේ ජනකතා සාහිත්‍යයෙහිද, ආගමික සාහිත්‍යෙයහිද, අපගේ ඉතිහාසය තුළද එවන් කතා සිය දහස් ගණන් ඇත. මෙම කතාන්දර ඇසීමෙන් ඔහුගේ චිත්තර රූප මවා ගැනීමේ හැකියාව සහ පරිකල්පන හැකියාව තියුණු වෙයි. ඔහුගේ වාග් කෝෂය වර්ධනය වෙයි. එමගින් සිතීම පුහුනු කරවයි.සිතීම චින්තනයේ ළදරු අවස්ථාවයි. ලෝකයට ලැබී ඇති සියලු යහපත් දේ චින්තනයේ අග්‍රඵලයන් ලෙස ලැබුණකි.

කාටූන්, රූපවාහිනී නාට්‍ය මගින් දරුවාට මේ උපකාරය සිදු නොකරයි. එහිදී දරුවාට සිතීමක් අවශ්‍ය නොවෙයි. සියල්ල රූප, දෙබස්, නළුවන් ආශ්‍රෙයන් පෙන්වා දෙනු ලැබේ. දරුවා කල යුත්තේ බලා සිටීම පමණකි. මෙය එකතැනකට වී සිටින අලස, තරබාරු දරුවන් බිහිකිරීමටද මග පාදයි. අප කුඩා කල ගුවන් විදුලියෙන් ඇසූ මුවන් පැලැස්ස නාට්‍ය අපට මොන තරම් චිත්තරූප සහ භාවමය හැගීම් ජනනය කලාද දන්නේ එය ඇසුවෝ පමනි. හොද ගුවන් විදුලි නාලිකාවක් රූපවාහිනියට වඩා දරුවාට සෙත සලසයි.

පුද්ගලයකුගේ හැගීම් ප්‍රබල ප්‍රකාශනයක් බවට පත්වීමට පරිසරය, සොබාදහම විශාල දායකත්වයක් සපයයි. විශ්ව රිද්මය මිනිසාට කාන්දු වන්නේ පරිසරයේ විචිත්‍ර බව හරහාය. පරිසරය, සොබාදහම වින්දනය කරන්නට දරුවාට කුඩා කාලයේ සිටිම කියාදීමත් ඊට අවස්ථාව උදා කර දීමත් වැදගත්ය.පත පොතින් රූපවාහිනියෙන් දකිනවාට වඩා සැබෑ ලෙසම ඒවා දකින්නට ස්පර්ශ කරන්නට දරුවාට අවස්ථාව ලබා දිය යුතුය. ඔහුගේ දැනුම් ගබඩාව අත්දැකීම් මත පුළුල් විය යුතුය. අද බොහෝ දරුවන් නිදිකුම්බා පැලෑටිය හදුනා ගන්නේද පින්තූර මගින් වීම කෙතරම් ශෝචනීයද? දරුවා සමග ගහ කොළ අතරේ සැරිසරන්න. විවේකයක් ලද විටෙක ගං ඉවුරකට, මුහුදු වෙරළට ගොස් කතාබහකින් තොරව බලා සිටින්න. පරිසර නාදවලට කන්දෙන්න. ඉර උදාව , ඉර බැසීම දරුවාට පෙන්වන්න. දරුවාගේ සිත කතා බොහෝ දේ කරනු ඇති. එසේම අද බොහෝ දරුවෝ රාත්‍රී අහස නොදකිති. එබේ දරුවාට රාත්‍රී අහස පෙන්වන්න. එහි චමත්කාරය අත්විින්නට ඉඩ දෙන්න. ග්‍රහලෝක සහ තාරුකා අත වෙනස කියා දෙන්න. තරු රටා පෙන්වන්න. ඔහු අනන්ත වූ විශ්වයේ එක් ග්‍රහලොවක වූ ඉතාම කුඩා දිවයිනක වාසය කරන කුඩා ජීවියෙක් බව වටහා දෙන්න. ඔහුගේ හිතේ මැවෙන අරුමය, විස්මය ඔබත් අත්විදින්න.

දරුවා අසන ප්‍රශ්නවලට හැකි තරම් නිවැරදි පිළිතුරු ලබා දෙන්න. ඔබ නොදන්න දේ පැහැදිලිව නොදන්නා බව පැවසීමට නිහතමානී වන්න. නමුත් එය සොයා දැනගෙන දරුවාට පවසන්න.

ළමා චිත්‍ර ගැන ඔහු සමග අදහස් හුවමාරු කරගන්න.චිත්‍රෙය් ඔහුට පෙනෙන දේ කියන්නට දරුවාටම ඉඩ හරින්න. චිත්‍රය ඇසුරින් කතාවක් ගොතන්න දරුවාට සහය වන්න. දරුවා සමග එක්ව ගීත ගායනා කරන්න. රට දැය සමය පිළිබද ආදරය වඩවන, මෙන්ම සදාචාර ආකල්ප සංවර්ධනය කරන  ගීත තොරාගෙන දරුවා සමග ගායනා කරන්න. කුමන හෝ පැලැටියක් බිම හෝ පෝච්චියක සිටුවා එය වැඩෙන අන්දම නිරීක්ෂණය කරන්න. එය හොදින් වැඩෙන්නට ආරක්ෂා කරන අන්දම කියා දෙන්න. දරුවන්ද ඒ කුඩා පැළ මෙන් ආදරයෙන් රැක බලා ගත යුතු බවත් අම්මා සහ තාත්තා ඔහුව බලා ගන්නේ ඒ ආකාරයෙන් බවත් ඔහුට වටහා දෙන්න.

සතුන්ට ආදරය කරන්න දරුවාට පුහුණු කරන්න. ඔහුට සුරතලකු ලබා දෙන්න. ඔවුන් දෙදෙනා සන්නිවේදනය කරන ආකාරය නිරීක්ෂණය කරන්න. දරුවකු ලෝකයේ සුන්දර දේ මෙන්ම අසුන්දර දේද දැකිය යුතු බව වටහා ගන්න. දුක සතුට දෙකම අපට උරුම දර්මතා බව වටහා දෙන්න. මවුපියන් නැති දරුවන්ගේ දුක් කියා දෙන්න. අනුන්ගේ දුක දිළිදුකම අසරණකම ගැන කියා දෙන්න. විවිධ ආබාධ සහිත දරුවන් ගැන කියා දෙන්න. ඔවුන් කෙරෙහි දයාවන්තවීම උගන්වන්න. තමන් කෙතරම් වාසනාවන්තද සුවිශේෂීද බව කියා දෙන අතරම ඒ සියලු අඩුපාඩු ඇති අයටත් තමාට තරමටම අවස්ථාවන් සහ අයිතීන් ඇති බවත් ඔවුන් කොන් නොකළ යුතු පිළිගැනීම් කළ යුතු අය බවත් වටහා දෙන්න.

පරිත්‍යාගය දානය පුරුදු කරවන්න.අන් අය හා බෙදා ගැනීම හුරු කරවන්න.තමා සතුව ඇති වැඩිපුර දේ ඒවා නැති අයට ලබාදී ඔවුන් සතුටු වනු දැක සතුටුවන්නට කියා දෙන්න.හිතට දැනෙන දේ ලියන්නට කියා දෙන්න. ක්‍රමයෙන් ඒ ලියන දේ විසිතුරු ආකාරයෙන් කාව්‍යමය ගුණය ඉස්මතු වන් ආකාරයෙන් ලියන්නට කියා දෙන්න.තමා කල හො දේවල් පින් පොතක ලියා තැබීමට පුරුදු කරවන්න. ඉහිට එහු සමග ඒවා කියවා ඔහුව අගය කරන්න. දීම කෙතරම් හොද වුවුද තමාගේ සියලු දේ දීමඅර්ථ විරහිත බව වටහා දෙන්න. තමාට අත්‍යාවශය දේ රැකගත යුතු බවත් රැක ගැනීමේ වගකීමත් කියා දෙන්න. නිවසේ වැඩ කටයුතු වලට ඔහුව දායක කර ගන්න. මේ හැම දේකම සුන්දරත්වය අත්විදින්නට දරුවාට කියා දෙන්න.

දරුවාට ආදර්ශයක් දෙන යහපත් ක්‍රියා මවුපියන් ලෙස ඔබ දෙදෙනා ඔහුට පෙනෙන්නට සුදු කරන්න.විවේක කාලය රූපවාහිනියට පරිගනකයට යට වෙන්නට ඉඩ නොදී පවුලේ අය සමග සතුටු සාමීචියට යොදා ගන්න. මේ ලොක්ය මිනිසාට මෙන්ම ගහ කොළවලට, සතා සීපාවාට අයිති බවත් අප ඒවා ආරක්ෂා කළ යුතු බවත් කියා දෙන්න. වයස අවුරුදු දොළහ වන තෙක් මේ අයුරින් මවුපියන් ඇසුරේ වැඩෙන දරුවා ලෝකයට , සතුන්ට, මිනිසාට මහත්සේ ආදර ගෞරව කරන ඒවා සිය ජීවිතය පුරාම පවත්වාගෙන යන දරුවකු බවට පත්වෙයි.

එවන් දරුවන් අපේක්ෂාවෙන් ලෝකය බලා සිටින බව මව්පියන්ට සිතන්න සුදුසුම කාලය මේ අවස්ථාව බව සිතනු මැනවි.

එශාමා කාරියකරවන
මනෝ විද්‍යා උපදේශිකා