free stats

මව් පදවිය හැම ගැහැණියකගේ සිහින වල මුදුන් මල් කඩයි. එය සොබා දහම ඇයට පවරා ඇති මානව පැවැත්මේ ශ්‍රේෂ්ඨතම නිර්මාණයද වෙයි.

මවක වීමේ අභියෝගයත් බැරෑරුම් කමත්, කළ යුතු කැප කිරිමත් වේදනාව දරා ගැනීමේ ශක්තියත් දන්නේ මව්රුන් පමණි. ඒ අත්දැකීම ඇය විසින්ම විඳගත යුතුය. අවට ලෝකයට කල හැක්කේ නිරෝගීමත් දරු උපතක්, වාසනාවන්ත දරුවකු වෙනුවෙන් ඇයට උදව් වීම. උපදෙස් ලබාදීම, ඇයට ආදරයෙන් ගෞරවයෙන් සැලකීමය. නවීන විද්‍යාව පවා දිනෙත් දින විශිෂ්ඨත්වයට පත්වන්නේ, දාරකත්වයට හා මාතෘත්වයට යහපත් දායකත්වයක් ලබා දෙන්නටය.

මවක් වන්නට සැරසෙන දයාබර කාන්තාවන්ට, දැන සිටිය යුතුම දේ පිළිබඳ උපදෙස් ගෙන එනු ඇත. පිළිසිඳ ගැනීම මාතෘත්වයේ ප්‍රථම සංසිද්ධියයි. ඉන් පසු මාස නවයකින් එළඹෙන දරු ප්‍රසූතිය මාතෘත්තවයේ වැදගත්ම පියවරයි. එය නිරෝගීමත් දරු උපතක් කර ගන්නට නම් ඔබ පිළිපැදිය යුතු බොහෝ දේ ඇත.

ගැබිනි සමයේදී ඔබ

නිවැරදි ආහාර වේලක් ගත යුත්තේ කුසයේ සිටින බිළිඳුගේ පමණක්
නොව ඔබේද නිරෝගී බව උදෙසාය. නිවැරදි සමබර ආහාර වේලක් පිළිබඳ ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගන්නට පුළුවන්. දැන් ඒ ගැන කියා දෙන්නට පෝෂනවේදින් ද සිටිති. ඔවුන් සියළු දෙනාම පවසන්නේ උදෑසන ආහාර වේල මග නොහැරිය යුතු බවයි. බොහෝ යුවතියන් උදෑසන ආහාර වේල ගැන තැකීමක් නොකරති. වේලාවක් නැත. බඩ පුරවා ගන්නට දෙයක් මිස, සිරුරට අවශ්‍ය පෝෂ්‍යය ගුණයෙන් යුත් ආහාරයක් ගැන සැළකිල්ලක් නැත.

එහෙත් දැන් වෙනස් විය යුතුය. උදෑසන ආහාර වේලට වෛද්‍ය උපදේශය – ධාන්‍ය වර්ග, කෙඳි අඩංගු ආහාර සහිත ආහාර වේලක් ඉතා සුදුසු බවයි. කිරි ද පළතුරු ද ආහාර වේලට එකතු කර ගත හැකිය.

බොහෝ මව්වරු උදෑසන අසනීප ගතියෙන් පෙළෙති. එවිට කළ යුත්තේ – ඔක්කාරය ඇති නොවන කෙටි ආහාරයක් පළමුවෙන් ගැනීමයි. බොහෝ දෙනෙකු කර කරන ලද පාන් පෙත්තක්, හෝ ක්‍රීම් ක්‍රැකර් වැනි බිස්කට් වර්ගයක් සමහරු කෙසෙල් ගෙඩියක්
වැනි දෙයක් ගනිති. ඉන්පසු වරින් වර ටිකින් ටික හෝ උදෑසන ආහාරය ගත යුතුය.

උදෑසන ආහාර වේල මඟ හැරීම ඔබගේ ඔක්කාර ගතිය වැඩි කිරීමට හේතුවක් බව අලුත්ම වෛද්‍ය පරික්ෂණ වලින් සොයා ගෙන තිබේ.
උදැසන ආහාර වේල මග හරිත ගැබිනි මව්වරු නියමිත දිනට, කාලයට පෙර සිදුවන දරු ප්‍රසුතිය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවද සොයාගෙන තිබේ.

  • උදෑසන ආහාර වේල – ගැනීම ඔබේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය නිවැරදිව පාලනය කිරීමට උදව් වනු ඇත. එය ඔබට බිළිදාටත් අත්‍යවශ්‍යය කරුණකි.
    •. උදෑසන ආහාර වේල නොගැනීම නිසා දහවල් වන විට බඩ ගින්න වැඩි වී අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ගෙන ආහාර වේලකට ඔබ යොමු කරනු ඇත. එය ඔබගේ ගැබිනි බර අත්‍යවශ්‍ය ලෙස වැඩි කිරීමට දායක වනු ඇත.

උදෑසන ආහාර වේල කෙතරම් වැදගත් ද කියා ඔබට දැන් වැටහෙනවා ඇති.