free stats

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා -එෂාමා කාරියකරවන

දරුවකුගේ උපත අසිරියකි. ඒ අසිරිය දරුවා මවුකුසයට ඒමේ පටන් ඔහු බිහිවී හැදීවැඩී මහා සමාජයට පිවිසීම දක්වා මවුපියන් රැකගත යුතුවෙයි. මන්ද ඔහු මේ සමාජයේ කිනම් ස්ථානයක් නියෝජනය කරනු ලබන්නේද යන්න තීරණය වනුයේ මව්පියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් අතින් ඔහු ලබන කායික, මානසික, සාමාජීය සහ ආධ්‍යාත්මික පෝෂණයේ ස්වභාවය සහ වපසරිය අනුවය. මේ පෝෂණය ඔහුට රිද්මයකින් තොරව ලබා දීමෙන් ඔහු අසංවේදී මිනිසකු බවට පත්වෙයි.සමාජයේ කෙතරම් ඉහළ ස්ථානයක් නියෝජනය කළ ද ඔහු ලෝකය සමග ගොඩ නගා ගන්නා සම්බන්ධතා වියළි රළු ස්වරූපයකින් යුක්ත වෙයි. ශෝචනීය වූ දෙය නම් අනුන් සතුටු කිරීමට නොව තමා සතුටුවීමට පවා  නොහැකියාවක් ඔහු තුළ ඇතිවෙයි. වින්දනීය සෞන්දර්යාත්මක ලෝකය විඳින්නට අපහසු අතෘප්තිමත් ආත්මාර්ථකාමී පුද්ගලයකු බවට හෙතෙම පත්වෙයි.

රිද්මය ජීවිතයට එතරම්ම  වැදගත් වෙයි.

දරුවාට රිද්මයක් ඇති ජීවිතයක් ලබාදීම මුලින්ම සිදුවන්නේ මව අතිනි. මවගේ කටහඬට තරම් දරුවා සංවේදී වන , ප්‍රතිචාර දක්වන වෙනත් යමක් නැත. එමනිසා මවගේ හඬ රිද්මයකින් යුතුව දරුවාට ඇසෙන්නට සැලැස්වීම මගින් දරුවාගේ මනස පුබුදුවාලීමේ පළමු පියවර තැබිය හැකිය. නූතන වෛද්‍ය විද්‍යාවට අනුව මවු කුසට හය මාසයක් ගතවූ කළ එහි සිටින දරුවාට බාහිර පරිසරයේ ශබ්ද ඇසෙයි. මවගේ හඬ, හදගැස්ම හඳුනයි. මව දුකින්ද? සතුටින්ද? යන්න ඔහුට වැටහෙයි. මේ වැටහීම ඔහුගේ මානසික වර්ධනයට බලපෑම ඇතිකරන බැවින් ගර්භණි සමය තුළ මව සතුටින් සිටිය යුතු බවට වෛද්‍ය උපදෙස් නිතැනින්ම ලැබෙයි. මවගේ කායික පෝෂණය කෙතරම් වැදගත්ද ඊටත් වඩා මව සතුටින් සිටීම වැදගත් වෙයි. කුසට හය මසක් ගතවූ දරුවා සමග මවට දවසේ විවේක වේලාවක් තෝරා ගනිමින් කතා කළහැකිය. දරුවාට ඇසෙන්නට ගීතයක් ගායනා කළ හැකිය.

ඔව්. මේ සඳහා ඉතා සුදුසු ගීත ඇත. ඒවා දරු නැළවිළි ලෙස ඈත අතීතයේ පටන්ම මුඛ පරම්පරාවෙන් අද දක්වා පැමිණ ඇත. කණගාටුවට කරුණ නම් අද දරුවන්ට ඇසෙන්නට නැළවිලි ගී කියන්නට දන්න අම්මාවරු සහ අත්තම්වරු, නැන්දාවරු හිඟවීමයි. එහෙත් දරු නැලවිල්ල මගින් දරුවාට ඇති කරන මහත් සෙත මව්වරුන් දන්නේ නම් ඔවුන් එය දරුවාට කිසිසේත් නොදී සිටිනු නොමැත.

දරුවාට නැළවිළි ගී ගැයීම කළ යුත්තේ ඔහුගේ මවු බසිනි. මන්ද ඔහුගේ  ජාන පරම්පරාව සැකසී ඇත්තේ මවුභාෂාවටද ප්‍රමුඛතාව ලබා දෙමිනි. එමගින් ඔහුගේ චින්තනය , පරිකල්පනය ඉතා වේගයෙන් සහ පුළුල්ව සැකසෙයි. ගීතයේ තාලය, රිද්මය මගින් දරුවාට සුවදායී නින්දක් ලැබෙයි. බිළිඳකුගේ වර්ධනයට අත්‍යාවශ්‍ය වූ නින්ද නැළැවිලි ගීත මගින් සුවදායී ලෙස ලැබෙයි. මේ සුගායනය තමා ඉතා ප්‍රිය කරන අම්මාගේ හඩින් ඇසීමෙන් බිළිඳා ඔකදවත් වෙයි. එසේම සංගීතය වින්දනය කිරීමේ හැකියාව ඇතිවෙයි. අනාගත ජීවිතයේ මුහුණදෙන අභියෝග පරාජයන්ට ඔරොත්තුදීමට දරාගැනීමට මේ වින්දනීයවූ අත්දැකීම මගින් දරුවා තුළ ඇති කරන චින්තනය උපකාරී වෙයි. ලෝකය දෙස සෞන්දර්යාත්මක ඇසකින් හදවතකින් බලන්නට පදනමක් ඉන් ඇතිවෙයි.

නැළවිලි ගීතවලින් උපුටා ගත් කොටස් කිහිපයක් මෙහි දක්වමි. බලන්න එය ඔබට බොහෝ හුරු පුරුදු ඇති. ආදරය, කරුණාව පමණක් නොව එදිනෙදා ජීවිතයේ මව්පියන් විඳින දුෂ්කරතා පවා දරුවාට මේ ගීත මගින් දරුවාට විඳින්නට අවකාශය සපයයි.

“අතට වෙරළු ඇහිද ගෙනේ

ඉණට පලා නෙළා ගෙනේ

බරටම දර කඩා ගෙනේ

එයි අම්මා විගසකිනේ“

මේ දරුවා නළවන්නේ මව නොවේ වෙනත් වැඩිහිටි කාන්තාවකි. ඇය අම්මා බැහැරක ගොස් ඇති බව පවසයි. නිවසට අවශය කළමණා රැගෙන එන්නට අම්මා ගොස් ඇති බවත් ඒ මෙහොතේ පවා අම්මාට පුතු අමතක නොවන නිසා අතපුරා වෙරඵ අහුරක් පුතු වෙනුවෙන් රැගෙන එන බවත් එතෙක් නැළවී හිඳින ලෙසත් පවසයි. කෙතරම් හෘදයාගමද?

“ඔන්න බබෝ ඇතින්නියා

ගල් අරඹේ සිටින්නියා

ගලින් ගලට පණින්නියා

බබුට බයේ දුවන්නියා“ 

දරුවාට වීරත්වයක් ආරෝපණ කරන මෙම නැළවිල්ල මගින් ඇත්තු පවා දරුවාට බියවී දුවන බව පවසයි. ව්තමානයේ දරුවන්ට බොහොමයක් ඇති මානසික රෝගයක් වූ භීතිකාවේ මූලාරම්භය කුඩා කළ දරුවාටකරන බියවැද්දීම්ය. කළුවරට, සත්තුන්ට, යක්කුන්ට, බිල්ලන්ට ආදී වශයෙන් දරුවන් බියවැද්දීම් කිරීම නිසා පසු කාලයේදී ඒ බිය මානසික රෝගයක් විළස මතුවී අවුත් ඔහුගේ ජීවිතයට ගැටළුකාරී තත්වයක් උදාකර තිබෙන අයුරු බහුල ලෙස අපි අත්දකිමු. මේ නැළවිල්ලෙන් බිය වෙනුවට නිර්භීත භාවය වීරත්වය දරුවාට ආරෝපණය කරවයි.

“මගේ පුතා හරි හපනා

දවසක කොළඹට යනවා

පවුම් තුනක් පඩි කනවා

එයින් එකක් මට දෙනවා“

දරුවා මගේ හරි හපනෙකි. අනාගතයේ දිනක ඔහු කොළඹට ගොස් ලොකු රාජකාරියක් කර පඩි ලබා එයින් කොටසක් තමාටත් දෙන බව අම්මා දරුවාට ඇසෙන්නට ගීතවත් හඬින් පවසයි. ඈති හිමේ ගම්වල දරුවන්ට එකළ කොළඹ ඒම සිහිනයකි. කොළඹ ඇවිත් පවුම් වලින් වැටුප් ලබන රස්සාවක් කිරීම ඊටත් වඩා සිහිනයකි. මුදල් භාවිතය අවම වූ භාණ්ඩ හුවමාරුවෙන් ගණුදෙනු බහුලවූ යුගයක් අම්මා තම පුතු ගැන දුටු සිහිනය ඒ හැමටම වඩා ලොකුය. මේ කවිය ධනාත්මක උපස්ථම්භනයකි. මව්පියන් සැලකීමේ ගුණදහම්, ජයගතයුතු ඉලක්ක නූගත් අම්මා කෙනෙකු විසින් දරුවාගේ මනසට කාවද්දන අයුරු බලන්න.

අපගේ ගීත සාහිත්‍ය තුළද දරුනැළවිළි සඳහා ඉතා සුදුසු ගීත රාශියක් අපට හමුවෙයි. ඒවා තුළ රට, ජාතිය, ආගම මෙන්ම අපගේ සාඩම්බර ඉතිහාසය සහ උරුමයන් ගැනද මනරම්ව ලියැවී ඇත. සමහර ගීත අතිශයින්ම ආශිර්වාදාත්මකය. බිළිදු දියණියකට වීරත්වය, අභිමානය සහ ප්‍රෞඩත්වය එක්කරමින් ගයන මේ නැළවිලි ගීතය කෙතරම් අර්ථයක් ජීවිතයට ලැබදෙන්නේද කියා බලන්න.

ගාමිණි මෑණී සෝමා දේවී

බිහිවුන සිහල බිමේ

ඇතිවී දැඩිවී වීර කතක් සේ

සැනසෙනු මැනවි දුවේ

දොයි දොයි දොයිය බබා

බයි බයි බයිය බබෝ

ජාතික සිරිතට විරිතට පිටුපා

නොහැදෙනු ටිකිරි දුවේ

හැම ගුණ වඩවා යහමග හොබවා

නම ගත යුතුය ලොවේ

බුදු දහමේ ඉහළම සංකේත සහ බුදුහිමි ඇතුළු ආර්ය ශ්‍රාවකයන් තුළ වූ පුණ්‍ය ශක්තියේ මහානුභාවයෙන් දියණිය සුවපත් වේවා! කියා ආශිර්වාද කරන මේ ගීතය නිරන්තරයෙන් ඔබේ දරුවාට ඔබේ හින් ගයනු මැනවි අම්මේ!

සිරිමා බෝ මැඩ මුනිදුන් වැඩ හිද

දසමර සේනා දිනූ බෙලෙන්

ජයපැන් කරඩුව දෝත දරා

නිදන්න දූ කුමරී

බක්කුල මහ තෙරිදූ බෙලෙන් නිදුක් නිරෝගී වේවා!

සූවිසි මුනිඳුන් පින් මහිමෙන් නිරතුරු ආයු වැඩේවා!

මහා සීවලී මහිම අනුහසින් ඉසුරු සැපත් බොහෝ වේවා!

වේගයෙන් අප සමාජයෙන් තුරන්වී යන යහගුණ. දේශානුරාගය, මනුසත් දහම් ඔබේ දරුවාගේ ජීවිතයට කාවැද්දීම නැවත් අරඹන්න අම්මා ලෙසින් ඔබ පියවර ගතහොත් අපේ සමාජය තව දශක දෙකකින් සුපින්වත් වීරෝදාර ප්‍රාඥයන්ගෙන් පිරීම ඇරඹෙනු ඇත. මිනිසුන් තුළ යහගුණ අතුඉතිරිකිලි දරා පැතිරෙනු ඇත.

ඒ මහත් අසිරිය දරුවාට ලබාදීමේ ශක්තිමත් පදනම ඇත්තේ මව වෙතය. මවගෙන් එය ලැබූ දරුවනුත් නොලැබූ දරුවනුත් අතර වෙනස අද සමාජයේ මිනිසුන් දෙස බැලීමෙන් වටහාගත හැකිය.

ආදරණීය අම්මේ . ඔබේ දරුවා සමාජයට අත්‍යාවශ්‍යම පුද්ගලයකු බවට පත්කරන මේ කුඩා පිළිවෙත ඔබේ ජීවිතයට එකතු කරගන්න. එය දරුවාගේ ජීවිතය පරිපූර්ණ සතුටකින් ගෙවන්නට ඉඩහසර ලැබදෙන යෝධ පියවරක් වනු ඇත. මේ ඒ සදහා සුදුසුම කාලයයි.