free stats

ගර්භනී මවකගේ එකම පැතුම වනුයේ සාර්ථක ප්‍රසවයක් තුලින් නිරෝගී දරුවෙකු බිහි කිරීමය. දරු ප්‍රසූතියකදී මවට මෙන්ම දරුවාටද කිසිදු කායික මානසික හානියක් සිදු නොවෙන ලෙස ප්‍රසූතිය සිදු කිරීම මව මෙන්ම ඇය වටා සිටින කාගේත් ප්‍රාර්ථනය වන්නේය. ප්‍රසවයේදී මවට මෙන්ම දරුවාට ද හානියක් සිදු නොවීමට නම් ගර්භාෂයේ ඇතිවන සංකෝචනය ශක්තිමත් වීමට අවශ්‍යය. දරුවා ගර්භාෂයේ පිහිටා සිටින ආකාරය හා දරුවාගේ ප්‍රමාණය මවගේ ශ්‍රෝණි මේඛලාව හා ඒ අවට පිහිටි පටකවල තත්ත්වය බලපානු ලැබේ.

මෙහිදී ශ්‍රෝණි මේඛලාව අවට පේශී ශක්තිමත් වීම ඉතාමත් වැදගත්ය. පේශී ශක්තිමත් කරන ව්‍යායාම හා මනස සංයමයට පත්කරන ව්‍යායාම සංකූලතාවයකින් තොරව දරුවා බිහිකිරීමේ හැකියාව පවතින්නේය. සාමාන්‍යයෙන් ගර්භනී මවකගේ ශ්‍රෝණි මේඛලාව අවට පටක ශක්තිමත් කිරීම සදහා ව්‍යායාම බොහෝමයක් තිබුණද ඉතා සරල ව්‍යායාමයන් කීපයක් හදුන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් ගර්භනී මවකට භෞතචිකිත්සක ව්‍යායාමයන් හදුන්වා දෙන්නේ ඇයව හොදින් පරික්ෂා කිරීමෙන් අනතුරුව ඇයට ගැලපෙන ඒවා තෝරා බේරාගෙනය.

ඇදක හෝ සමතලා පෘෂ්ඨයක හාන්සි වී හිතට යම් ශක්තියක් ගෙන තට්ටම් ප්‍රදේශය එම සමතලා පෘෂ්ඨයට තදකරගෙන තත්ත්පර 25 30ක් පමණ සිට නැවත ලිහිල් කරන්න”

සමතලා පෘෂ්ඨයක හාන්සි වී කලව දෙක අතරට පොතක් වැනි තද ඝණකමක් නොමැති යමක් තදකරගෙන සිටීම හා එම පොත යමෙකුට ඉවතට අදන ලෙස පවසා එය ඉවතට ඇදීමට නොදී කලවා ප්‍රදේශයෙන් තදකර ගන්න. එම ව්‍යායාමය මගින් ශ්‍රෝණි පත්ලයේ පේශී සංකෝචනය වී ශක්තිමත් වේ.

ගර්භනී මවවරුන් අතර බහුල ලෙස දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ කොන්දේ වේදනාවය. ශරීරයේ බර වැඩිවීම හේතුවෙන් කොන්දේ කණ්ඩරා පේශී ඇදීම ට ලක්වෙන බැවින් නොයෙකුත් වේදනාවන් ඇතිවේ. තාප ප්‍රතිකාර මගින් මෙම වේදනාවන් අඩුකර ගත හැකිය. වේදනාවන් හටගන්නා ස්ථානයන් නිවැරදිව හදුනා ගෙන එම ස්ථානයේ කිසියම් ආලේපනයක් ගල්වා හොදින් සම්බාහනය කිරිමෙන් වේදනාව සමනය කර ගත හැකිය.

ඔසේම කොදුඇට පෙළේ හටගන්නා වේදනාවන් පවතින ස්ථානයන් ඇගිල්ලෙන් තදකර ගෙන ටික වේලාවක් සිටීමෙන් එම වේදනාවන් පහව යනු ඇත. තවද මෙහිදී වේදනාව ඇතිවන ස්ථානයන් නිවැරදිව හදුනාගෙන එම ස්ථානයන් අයිස්වලින් තැවීමක් කළ හැකිය.

තවද උඩුබැලි අතට හාන්සි වී දණහිස නොනවා පාදය අගල් 4 ක් පමණ ඉහළට ඔසවා තත්ත්පර 20ක් පමණ දරා සිට පහතට දමන්න. මාරුවෙන් මාරුවට එක් පාදයකට වාර 10 බැගින් දිනකට දෙවරක් පමණ එම ව්‍යායාමය කරන්න. උදෑසන අවදි වී ප්‍රථමයෙන් විලුඹ බිම තබන විට ඇතිවන වේදාව බොහෝ ගර්භනී මව්වරුන් අතර දක්නට ලැබෙන වේදනාත්මක ලක්ෂණයකි. ගර්භනී කාලය තුල ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් විලුඹ ආවරණය වන ප්ලාන්ටර් ෆැෂියා නම් පේශිය ආසාදනයට ලක්වීම හේතුවෙන් විලුඹේ වේදනාව ඇතිවේ.

මේ සදහා මද රස්නය ඇති වතුර බේසමකට දෙපා දමාගෙන විනාඩි 10ක් පමණ සිටීමෙන් මෙය අඩුකර ගත හැක. එසේ අඩු නොවුණහොත් රෝහලේ භෞතචිකිත්සක අංශය වෙත යොමු වී අල්ට්‍රා සවුන්ඩ් ප්‍රතිකාරය ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන් සුවකළ හැකිය. ඔසේම විශාල අපහසුතාවයකන් පෙළෙන්නේ නම් ක්‍මියසදබ යැැක ච්ා ලෙස හදුන්වන ජෙල් අඩංගු ආවරණයක් සපත්තුවේ විලුඹ ප්‍රදේශයේ පැළදීමෙන් වේදනාවෙන් මිදිය අවම කර ගත හැකිය.

එමෙන්ම අතේ අගිල් හිරිවැටීමේ රෝගී තත්ත්වයක් වන කාපල් ටනල් සින්ඩ්‍රෝම් බොහෝ ගර්භනී කාන්තාවන් අතර දක්නට ලැබේ. මේ තත්ත් බොහෝ දුරට දරු ප්‍රසූතියෙන් පසු ඉබේම නැතිව යයි. ශරීරයේ සිදුවන හෝමෝන වෙනසත් සමග මැණික් කටුව ආශ්‍රිතව පවතින ප්රෙක්ටෝ රෙකිල කියුලම් නැමැති ව්‍යුහය ඉදමීමට ලක්වේ. මෙම ඉදිමුම හේතුවෙන් අගිලි චලනය කිරීමට හැකිවන සේ ගමන් කරන ස්නායුව අපහසුතාවයකට ලක්වේ. වේදනාව දිගින් දිගටම පවතින්නේ නම් විද්‍යුත් උත්තේජනය භෞතචිකිත්සකවරුන් මගින් ලබා ගත හැකිය. එපමණක් නොව පාද ඉදමුම හා පාදයේ නහර ගැට ගැසීම ද දැක ගත හැක. මෙය අඩුකර ගැනීමට නිද ගැනීමේදී පාද කොට් මත තබන්න. මෙය හෘදයට වඩා උඩින් සිටින සේ තබන්න. එම ඉරියව්වේම තබාගෙන පතුල ඉහළට පහළට චලනය කරන ව්‍යායාමයක නිරත වී පාද එලෙසම තබා නිදා ගන්න. උදෑසන වන වට ඉදිමුම නැතිව යනු ඇත.

සමහර කාන්තාවන්ට මෙම කාලයේදී කැස්සක් ඇතිවීමේදී හා කිවිසුම් පිටවීමේදී නොදැනීම මුත්‍රා ස්වල්පයක් පිටවීය හැකිය. දරු ප්‍රසූතියෙන් පසුවද සමහර කාන්තාවන්ට මෙම තත්ත්වය ඇතිවිය හැකිය. මෙහිදී සිදුවන්නේ ලිංගික අවයව ආශ්‍රිත ප්‍රදේශවල මාංශපේශී දුර්වල වීමය. මෙම තත්ත්වය ශ්‍රෝණි පත්ලේ පේශී ශක්ත’මත් කිරීම මගින් නැතිකර ගත හැක. ඒ අනුව මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වූ විට එකවරම එය පිට නොකර එනම් මුත්‍රා ටිකෙන් ටික පිට කරන්නේ නම් එය මාංශ පේශීන්ට ව්‍යායාමකයක් වේ. මෙහිදී පේශී ශක්තිමත් වී කිවිසෙන විට හෝ කහින විට ඉබේට මුත්‍රා පිටවීම නතර වේ.

විද්‍යුත් ප්‍රතිකාරයන් මගින්ද මාංශ පේශී ශක්තිමත් කළ හැකිය. කෙසේ නමුත් ඔබට යම් අපහසුතාවන් ඇත්නම් හා භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය නම රෝහලක් වෙත ගොස් අවශ්‍ය භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා ගත හැකිය.

                 ආචාර්ය ජාලිය උඩුවැල්ල
              භෞතචිකිත්සක අධිකාරී
              රිජ්වෙ ආර්යා ළමා රෝහල
              සටහන – ශ්‍රියානි විජේසිංහ