free stats

දරුවෙක් කියන්නේ දෙමාපියන්ගේ මුළු ජීවිතයමයි. මවක් දස මසක් කුස හොවා හිද මෙලොවට බිහිකරන සෑම සිගිත්තෙක්ම සියයට සීයක්ම නිරෝගී නොවෙන්න පුඵවන්. නමුත් සිගිත්තෙක්ට ඇති වන රෝගී තත්ත්වයන් බොහෝමයක් කලින්ම හදුනා ගෙන ඒවාට නිසි ප‍්‍රතිකාර කිරීමෙන් දරුවාට ඇති රෝගයේ බරපතල තත්ත්වයෙන් මුදවා ගන්නට හැකියාවක් ඇත. එනිසා අද වන විට ලෝකයේ අනෙක් රටවල මෙන්ම ලංකාව තුළද අලුත උපදින බිලිදුන්ට අනිවාර්යයෙන් සිදුකරන, කළ යුතු පරීක්‍ෂණ කිහිපයක් ඇත. රජයේ හෝ පෞද්ගලික අංශයේ හෝ  ඕනෑම රෝහලක මෙම පරීක්ෂණ කිරීම නිවාර්යයෙන් සිදු වන හෙයින් ඔවුන්ගේ යම් අතපසුවීමකින් සිගිත්තා එම පරික්ෂණවලට භාජනය නොකළොත් ඔවුන් ඒ පිළිබද දැනුවත් කිරීමට දෙමාපියන් වශයෙන් ඔබේ පූර්ව දැනුවත්භාවය වැදගත්ය.

සිගිත්තෙක් මෙලොවට බිහි වූ පසු කරන පරික්ෂණ

  •               තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය පිළිබද පරීක්ෂාව
  •               හෘද කි‍්‍රයාකාරීත්වය පිළිබද පරීක්ෂාව
  •               කන් හා ඇස් පිළිබද පරීක්ෂාව

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය පිළිබද පරීක්ෂාව

අලූත උපන් බිළිදුන් 2500-3000 කින් එක් අයෙකු තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වයේ සංකූලතා ඇතිව බිහිවිය හැකිය. ළදරුවන්ට කරන පරීක්‍ෂණ අතුරින් වැදගත්ම පරීක්‍ෂණය මෙයයි. ළදරුවකු බිහි වූ පසු පැය විසිහතරක් රෝහලේ රදවා ගෙන දරුවාගේ නිරෝගී බව සලකා බලයි. දරුවාගේ මල මුත‍්‍රා පිටකිරීම, කිරි උරා බීම වැනි කරුණු සාමාන්‍ය නම් මවටත් ළදරුවාටත් රෝහලෙන් පිටවීමට අවසර ලැබේ. රෝහලෙන් පිටවීමට ප‍්‍රථම ළදරුවාගේ පාදයක විළුඹෙන් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය පිළිබද පරික්ෂාව සදහා රුධිර සාම්පලයක් ලබා ගනියි. පසුව එම රුධිර සාම්පලය රසායනාගාර වෙත යොමු කරයි. සතියක් හෝ දින දහයක් ඇතුළත මෙම රුධිර සාම්පලයේ තයිරොක්සීන් හෝමෝනයේ වෙනසක් ඇත්නම් දුරකථන ඇමතුමකින් හෝ ලිපියක් මාර්ගයෙන් වහාම දරුවාව ළමා රෝග වීශේෂඥයකු වෙත යොමු කරන ලෙසට දෙමාපියන් දැනුවත් කරනු ලැබේ.

තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය පිළිබද පරික්ෂාව වැදගත් වන්නෙ ඇයි?

තයිරොක්සීන් හෝමෝනය ශ‍්‍රාවය කරන්නේ තයිරොයිඞ් ග‍්‍රන්ථිය මගින්ය. ළදරුවකුගේ මොළය වර්ධනය වීමට තයිරොක්සීන් හෝමෝන අත්‍යවශ්‍යය. යම් හෙයකින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය අඩු හෝ වැඩිවීමෙන් තයිරොක්සීන් හෝමොනය අඩුවෙන් හෝ වැඩියෙන් ශ‍්‍රාවය වීමෙන් දරුවාගේ මතක ශක්තිය, තර්කානුකූලව සිතිමේ හැකියාව, නිර්මාණාත්මක හැකියාව ගිලිහී යයි. මෙවැනි තත්ත්වයක් යටතේ දරුවා මන්ද මානසික තත්ත්වයට ද පත්විය හැකිය. දරුවා ඉපදී මුල් දින කිහිපය ඇතුළත මෙම තත්ත්වය හදුනාගෙන ඉක්මණින්ම ප‍්‍රතිකාර වෙත යොමු කිරීමෙන් දරුවා මන්ද මානසික තත්ත්වයට පත්වීම වලක්වා ගත හැකිය. නමුත් මාස කිහිපයක් ගත වූ පසු ප‍්‍රතිකාර කිරීමෙන් දරුවා ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ඒම අපහසු විය හැකිය. තයිරොයිඞ් ග‍්‍රන්ථි කි‍්‍රයාකාරීත්වයේ සංකූලතා ඇති දරුවන් බැලූ බැල්මට හදුනාගත නොහැකිය. ඔවුන් නිරෝගී පෙනුමෙන් යුක්තය. එම නිසා තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය පිළිබද පරීක්ෂාව අනිවාර්යයෙන් සිදු කර ප‍්‍රතිකාර කළ යුතු නම් මුල් සති දෙක තුළ ප‍්‍රතිකාර ආරම්භ කිරීම ඉතා වැදගත්ය.

විශේෂයෙන් මතක තබා ගන්න

  •               රෝහලෙන් පිටවීමට පෙර දරුවාගේ පාදයේ විළුඹෙන් රුධිර සාම්පලයක් ගත්තා දැයි දැනුවත්වන්න.
  •               රෝහලට ඔබව සම්බන්ධ කර දැනුවත් කිරීමට හැකි නිවැරදි දුරකථන අංකයක් සහ ලිපිනයක් ලබා දෙන්න.
  •               තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වයේ සංකූලතාවයක් ඇත්නම් පමණක් දුරකථනයෙන් හෝ ලිපියකින් ඔබව දැනුවත් කරනු ඇත.
  •               දරුවාගේ අනාගතය තීරණය වන්නේ ඔබ අතින්ය. එනිසා රෝහලෙන් ඔබව දැනුවත් කළ වහාම ළගම ඇති රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත වහාම දරුවා යොමු කරන්න.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කිරීමෙන් අනතුරුව නැවත රුධිර සාම්පලයක් ගෙන තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය පිළිබද නැවත පරීක්ෂාවට ලක් කරයි. එම පරික්ෂාවලින් තයිරොයිඞ් ග‍්‍රන්ථියේ කි‍්‍රයාකාරීත්වය පිළිබද ගැටලූකාරී තත්ත්වයක් ඇති බව තහවුරු වුවහොත් වහාම දරුවාට අවශ්‍ය ප‍්‍රතිකාර නිර්දේශ කර ආරම්භ කරනු ලබයි.

හෘද කි‍්‍රයාකාරීත්වය පිළිබද පරීක්ෂාව

හෘද කි‍්‍රයාකාරීත්වය නිවැරදිව හදුනා ගැනීමට නම් එකෝ පරීක්ෂණයක් කළ යුතුය. එහෙත් එයට වැඩි මුදලක් වැය වීම සහ ඒ සදහා පහසුකම් නොමැති වීම නිසා සෑම දරුවෙකුටම එකෝ පරීක්ෂාවක් කිරීමේ හැකියාවක් නැත. එනිසා අලූත උපන් දරුවකුගේ හෘද රෝග හදුනාගැනීමේ මුලික පරීක්ෂණයක් ලෙස දරුවාගේ මොළයට සැපයෙන ඔක්සිජන් ප‍්‍රමාණය නිරීක්ෂණය කිරීමට පරීක්ෂණයක් සිදු කරයි. ළදරුවාගේ දකුණු අත සහ වම් කකුල ඡුමකිැ දංහපැඑැර ලෙස හදුන්වන යන්ත‍්‍රයට සම්බන්ධ කරනු ලැබේ. එවිට දරුවාගේ රුධිරයේ ඇති ඔක්සිජන් ප‍්‍රමාණය ගණනය කරගත හැකිය. ඒ අනුව රුධිරයේ ඔක්සිජන් ප‍්‍රමාණය 95% ට වඩා අඩු නම් ළදරුවා නිවසට ගෙන යාමට පෙර එකෝ පරීක්‍ෂණය සිදු කරනු ලැබේ.

කන් හා ඇස් පිළිබද පරික්ෂාව

අලූත උපදින බිළිදුන්ගේ කන් ඇසීම පිළිබද පරීක්ෂා කිරීම වැදගත් හෙයින් ඒ පිළිබද පරීක්ෂා කිරීමක් සිදු කරනු ලැබේ. මෙම පරීක්ෂණයේ වාර්තාව අනුව දරුවාගේ කන් ඇසීම පිළිබද ගැටලූවක් ඇතැයි සදහන් වුවහොත් උගුර කන නාසය පිළිබද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරනු ලැබේ. නොමේරු දරුවන් ලෙස උපත ලැබූ දරුවන්ගේත් අඩු බර දරුවන්ගේත් දැඩි සත්කාර ඒකකයේ සිටි දරුවන්ගේත් අනිවාර්යෙන්ම රෝහලෙන් පිටවීමට පෙර ඇස් පරික්ෂාවට ලක් කරනු ලැබේ. ඍධඡු යන රෝගය දරුවන්ට ඇත්දැයි හදුනා ගැනීම වැදගත්ය.

දෙමාපියන්ට මෙන්ම රටටද ඇවසි නිරෝගී දරු පරපුරකි. එනිසා අලූත උපදින ඔබේ සිගිත්තාගේ නිරෝගී බව තහවුරු කිරීමට සිදු කරන මෙම පරීක්ෂණ සදහා ඔබේ සහයෝගය ලබා දෙන්න. දරුවා යම් සංකූලතාවයකට ගොදුරුව ඇත්නම් දරුවා නිරෝගී කර ගන්නට නිවැරදිව සායනවලට සහභාගී වෙමින් එම උපදෙස් හා ප‍්‍රතිකාර නිසියාකාර දරුවාට ලබාදෙන්න.

වෛද්‍ය නලීන් ගම්ඇතිගේ
නොමේරූ ළදරුවන් පිළිබඳ විශේෂඥ
ද සොයිසා කාන්තා රෝහල

දිශාන්ති වෙදගේ