free stats

පුංචි පැටියෙක් ඉපදුණාම අම්මා කෙනෙක් දරුවාව හොදින් පරීක්ෂා කරනවා නේද? ඔලූව දිගටි ඇයි? නහය ඇයි මේ තරම් පැතලි. අනේ මන්දා කකුල් බකල් වගෙයි. මෙන්න මේ වගේ ප‍්‍රශ්න ගොඩක්. බොහොමයක් වෙලාවට අපි මේ පසුතැවෙන කරුණු කිසිම වැදගැම්මකට නැති දේවල් ඒ කියන්නේ දරුවාගේ වර්ධනය ක‍්‍රියාකාරකම් එක්ක සාමාන්‍ය තත්ත්වයට පත් වන ඒවා වුණත් ඇතැම් දරුවන්ට ඊට වඩා වෙනස් අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවිය හැකියි. ඒ නිසාම අවශ්‍ය මව්වරුන්ට දැනුවත් වෙන්න දරුවන්ගේ පාදවල ඇති වෙන විකෘතිතා කිහිපයක් ගැන කතා කරන්න අපි හිතුවා.

දණහිස් එකට ගැටීම හෙවත් ” නොක් නී ”

වෛද්‍ය විද්‍යාවේදී ජීනු වැල්ගස් ලෙසද හදුන්වන දණහිස් එකට ගැටීම හෙවත් ” නොක් නී ” තත්ත්වය ඇතැම් අවස්ථාවලදී ප‍්‍රතිකාර කිරීමකින් තොරවද ක‍්‍රම ක‍්‍රමයෙන් සුව වන තත්ත්වයකි.

මේ තත්ත්වයට මූලික හේතුව ලෙස ශරීරයේ අධික බර දැක්විය හැකි අතරම දණහිස් අවට මාංශ පේශීන් ආඝාතයට ලක් වීම ද තවත් හේතුවකි.

දණහිස් මාංශ පේශීන් ආඝාතයට ලක්වූ අවස්ථාවලදී මාංශ පේශී ශක්තිමත් කරන ව්‍යායාම කළ යුතුය. දණහිස් එකට ගැටීම වැළැක්වීමට පතුරු තබා බැඳීම, දරුවා නින්දට ගිය විට දණ හිස් දෙක අතරට තුවායක් වැනි දෙයක් නවා තබා දෙපා එකට සිටින සේ පතුල් නිරාවරණය වන සේ රෙදිපටිවලින් වෙලා දැමීම සුදුසුය. පතුල ඉදිමීම, සීතල වීම හා නිල් පැහැගැන්වීම වැනි තත්ත්වයක් ඇත්නම් වහා රෙදි පටි ගැලවිය යුතුය. මෙවැනි දරුවන් හට ට‍්‍රයිසිකලයක් පැදීම ඉතාම සුදුසු වන අතරම ශරීරයේ බර මට්ටම නිවැරදි අගයේ පවත්වා ගැනීට මව්වරුන් සැලකිලිමත් විය යුතුය.

ප‍්‍රතිකාර කිරීම ආරම්භයේදී දරුවාගේ දණහිස් එකට සිටින සේ තබා පතුල් දෙක අතර දුර මැනි නොක් නී තත්ත්වය කොපමණදැයි මැන ගත හැකි අතරම එම අගය ප‍්‍රතිකාර කරන විට ක‍්‍රමයෙන් අවම වේ.

දණහිස් එකට ගැටීම නිසා දරුවන් දුවද්දි දණහිස් එකිනෙකට වැදී බිම වැටීමහේතුවෙන් නොයෙකුත් අනතුරුවලට මුහුණ දීමට දරුවෙකුට සිදුවිය හැකි අතරම මේ තත්ත්වය දරුවාගේ පෙනුමට ගෙන එන්නේද අවලස්සනකි.

ඔබේ දරුවා දණහිස් මත හිද ගන්නේ නම් එය වළක්වන්න. එසේම දරුවන් ස්වෝත්සාහයෙන් සිට ගැනීමට පෙර සිටුවා තැබීමෙන් වලකින්න.

පැතලි යටිපතුල්

මේ පිහිටීමද විකෘති තත්ත්වයක් වන අතර පාදයේ මස්පිඩු අසමතුලිත වීම, මස්පිඩු දුර්වල වීම, මස්පිඩු ආඝාතයට ලක් වීම යන කරුණු හේතුවෙන් ඇති වේ. මෙහිදී පාදයේ හා පොළොව අතර සම්බන්ධයේදී යම් දුරක් පොලව හා දැඩිව සම්බන්ධ වීම දැකිය හැකියි. සාමාන්‍යයෙන්  ඕනෑම කුඩා දරුවෙක්ගේ මේ තත්ත්වය දැකිය හැකි වුවත් වයස අවුරුදු දෙක, තුන පමණ වන විටත් ඒ ආකාරයෙන්ම පවතී නම් වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ. මන්ද පැතැලි පතුල් තත්ත්වය දිගටම පැවතීම වයසින් වැඩෙත්ම වේදනාකාරී අත්දැකීමක් බවට පත් වීමට ඉඩ කඩ ඇති අතර එවයසටයත්ම කකුලට වේ පතුලේ ටාර්සල් සන්ධිවල ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය දක්වාම වර්ධනය විය හැකිය. මෙසේ පතුල් විකෘතිතාව දරුවන්ගේ ශරීරයේ හැඩයටද බාධාවකි. පාදයේ ඉන්ටි‍්‍රන්සික් මාංශ පේශී සදහා ශක්ති ජනක ව්‍යායාම ලබා දීම හා විශේෂිත සපත්තු පැලදීම ප‍්‍රතිකාර මේ සදහා යොදාගන්නා ප‍්‍රතිකාර අතර වේ. 

පේස් කේවස්  නැතහොත් හොලෝ ෆුට්

මෙය විකෘතිය ස්නායු ආබාධ හේතුවෙන් ඇතිවන මාංශ පේශී අසමතුලිතතාව මත උපතින්ම පාදවල දක්නට ලැබෙන විකෘතිතා අතර බහුල තත්ත්වයක් ලෙස හැ`දින්විය හැකියි. එක් පාදයක පමණක් හෝ පාද දෙකේම හෝ ඇති විය හැකි මේ තත්ත්වයේදී පාදයේ පතුල වඩාත් උත්තලව ද පාදයේ ඇගිලි උස්ව කුරුව ද පිහිටයි. ඇගිලි පොළව සමග ස්පර්ෂ නොවන අතරම යටිපතුල පිහිටන්නේ වක‍්‍රාකාරවයි. මේ තත්ත්වයේදී ඇගිලිවල ආධාරයකින් තොරව සිරුරේ බර පොලවට ලැබීම නිසා ඇවිදීමේදී යම් යම් අපහසුතා ඇති විය හැකිය.  පාද දෙක එකිනෙකට වෙනස් ආකාරයෙන් වුවද පිහිටිය හැකි මේ විකෘතිතාවය ස්පයිනා බිෆිඩා පෝලියෝ මයලයිටිස් වැනි රෝග තත්ත්ව සමගද ඇති වීමේ ප‍්‍රවණතාවයක් ද ඇත.

ටැලිපීස් ඉක්වයිනො වේරස් සහ ටැලිපීස් කැල්කේනියෝ වැල්ගස්

උපතේදීම පාදවල ඇති විකෘතිතා අතර බහුල තත්ත්වයක් වන ටැලිපීස් ඉක්වයිනො වේරස් යන විකෘතිතාවයේදී දැකිය හැක්කේ පාදයේ පතුල පහතට වැටී ශරීරය තුළට හැරී පිහිටන ආකාරයයි.

මේ තත්ත්වයේදී පාදයේ පතුල සහ විලූඹ කුඩාය. කෙණ්ඩ ප‍්‍රදේශයේ මාංශ පේශීන් සිහින්ය. ඉක්මනින් හ`දුනා භෞතචිකිත්සක ප‍්‍රතිකාර වෙත යොමු වීමෙන් සුව කරගත හැකි මේ තත්ත්වය නොසලකා හැරීමෙන් ශල්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වීමට වුවද සිදුවිය හැකිය.

ටැලිපීස් කැල්කේනියෝ වැල්ගස් තත්ත්වයේදී පාදය පිහිටන්නේ ඉහළට එසවී ශරීරයෙන් ඉවතට හැරීය. ටැලිපීස් ඉක්වයිනො වේරස්  විකෘතියට විරුද්ධ දෙසට මෙය පිහිටන අතරම ඉක්මනින් භෞතචිකිත්සක ප‍්‍රතිකාර වෙත යොමු වීම වැදගත් වේ.

කකුල් බකල් වීම

ළදරු වියේදී සාමාන්‍ය තත්ත්වයක් ලෙස පවතින මේ තත්ත්වය ඇතැම් දරුවන්ගේ වයස අවුරුදු දෙකක් පමණ වන විට මගහැරී ගියද ඇතැම් දරුවන්ගේ මේ තත්ත්වය පහව යාමක් සිදු නොවිය හැකිය. අස්ථි වර්ධනය නිසි ලෙස සිදු වීමට පෙර සිටම දරුවාගේ සිරුරේ බර පාදවලට ලබාදීම නිසා මෙන්ම දරුවා අධි බර තත්ත්වයේ සිටීම ද රිකටිස් නම් වූ රෝග තත්ත්වය නිසාද මේ පාදවල බකල ස්වභාවය ඇති විය හැකිය. මෙහිදී දෙමාපියන් සතු වගකීම් ලෙස දරුවා තනිව නැගී සිටීමට පෙර සිටුවා තැබීම නොකළ යුතු අතරම දරුවාගේ බර නිසි මට්ටමේ පවත්වා ගැනීමටද වගබලාගත යුතුය.

පාදවල මාංශ පේෂී දුර්වල වීම නිසා සන්ධිවල සමතුලිතතාවය බිඳීයාම පාද බකල තත්ත්වයට පත්වීමට පාදක විය හැකි තවත් කරුණක් වන අතරම එහිදී පේෂී ශක්තිමත් කිරීම සදහා ව්‍යායාම කළයුතුය. පාදවල බකල තත්ත්වය මගහරවා ගැනීම සදහා භෞතිචිකිත්සක ව්‍යායාම වෙත යොමු වීම ඉතා වැදගත් වේ.

ඉහත දැක්වූ පාදවල විකෘතිතා කල්තිය හදුනා ගැනීමේ වාසිය වන්නේ ශල්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වීමට සිදු නොවී භෞත චිකිත්සක ප‍්‍රතිකාර ක‍්‍රම හරහා සුවය ලබා ගැනීමට හැකි වීමයි. ඔබේ දරුවාගේ මෙවැනි අසාමාන්‍ය තත්ත්ව ඔබ නිරීක්ෂණය කළේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් කරා යොමුවන්න.

ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා,
සභාපති, වරලත් භෞත චිකිත්සක සංගමය
ප‍්‍රධාන භෞත චිකිත්සක, කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහල

ඉෂානි සාරංගා