free stats

දින දින ගෙවී යමින් දරු උපතට දින ළං වෙද්දී , ඔබ නොඉවසිලිමත් වන්නේ ඔබේ කිරිකැටියා දෝතට ගෙන තුරුළු කර ගන්නටයි. කිරි සුවඳත් සමඟ අලු‍ත් වන ජීවිතය වෙනදාට වඩා මඳක් අභියෝගකාරී විය හැකිය. නමුත් , ඒ සියල්ල දරුවා වෙනුවෙන් ඉවසා දරා ගන්නට අලු‍ත් අම්මා සැදී පැහැදී සිටින බවත් අප හොඳින්ම දන්නෙමු.

උපදින්නට පෙර සිටම බොහෝ දේ ගැන විමසිලිමත් වූ අයුරින්ම උපතෙන් පසුවද තම දරුවාගේ ශාරීරික ස්වභාවය හා දරුවාගේ වර්ධනය සිදු වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් හා නිවැරදි තේරුම් ගැනීමක් මවකට තිබිය යුතුය.

අලු‍ත උපන් ළදරුවෙකුගේ හිසේ පිහිටීම පිළිබඳව සහ එහි ව්‍යුහාත්මක වෙනස්කම් හඳුනා ගෙන සිටීම ඉතාම වැදගත්ය. දරුවාගේ හිසේ ඉදිරිපස ඇති මෘදු කොටස හෙවත් තෙල් වල ලෙස හඳුන්වන කොටස පිළිබඳව බොහෝ මව්වරුන් තරමක කුතුහලයෙන් පසුවෙති.

උපත් මාර්ගය හරහා දරුවා පිටතට පැමිණීමේදී , ස්වභාවික උපතට පහසුවක් ලෙස ළදරු හිසේ හැඩය සැකසී තිබෙන්නේ එම ක්‍රියාවලියට අනුගත වන පරිදිය. ළදරුවෙකුගේ හිස් කබල වැඩිහිටියන්ගේ මෙන් නිසි ලෙස සවි වී නොමැති අතර, එහි අස්ථි අතර හිඩැස් පවතී. එම හිඩැස් රන්ද්‍ර (Fontanelles) ලෙස හඳුන්වයි. අලු‍ත උපන් ළදරුවෙකුගේ හිසේ ඉදිරිපස මෙන්ම පිටුපසට වන්නටත් මේ ආකාරයේ රන්ද්‍ර පිහිටා ඇත. දරුවාගේ හිස් කබල , අස්ථි කැබලි බොහෝ ගණනකින් සෑදුණු ව්‍යුහයක් වේ. සාමාන්‍යයෙන් එය දියමන්තියක හැඩයක් (Diamond Shape) ගනී. තෙල් වල යනුවෙන් හඳුන්වන්නේ , හිස් කබලේ අස්ථි කොටස් එකිනෙක සවි නොවීමෙන් ඒ අතර ඇතිවන හිඩැසටයි. එය වලක් වැනි ස්වරූපයක් ගනී.

දරුවාගේ හිසේ තෙල් වල පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතු කරුණු

සාමාන්‍යයෙන් හිසේ පිටුපස පිහිටන තෙල් වල ළදරුවාට මාස 3 ක් පමණ වනවිට
ක්‍රමයෙන් වැසී යා යුතුය.

ළදරුවාගේ හිසේ ඉදිරිපස පිහිටන තෙල් වල සාමාන්‍ය ආකාරයට නම් දරුවාට වයස අවුරුදු 1 1/2 ( මාස 18 ) ක් පමණ වනවිට ඉබේම වැසී යයි.

සාමාන්‍ය පරිදි නියමිත කාලයේදී දරුවාගේ හිසේ පිහිටි තෙල් වල වැසී නොයන්නේ නම්, එය වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි. ළදරු හිසේ වට ප්‍රමාණය මැන බැලීමෙන් පසුව එම තත්ත්වයට හේතුව වෛද්‍යවරයා විසින් නිගමනය කරනු ඇත.

දරුවාගේ හිස් මුදුන හොඳින් බැලූ විට සහ මෘදුව එම ස්ථානය ස්පර්ශ කිරීමේදී තෙල් වල පිහිටන ස්ථානයේ නාඩි වැටීමක් වැනි චලනයක් ඇති බව පෙනෙන්නටත් , දැනෙන්නටත් පුළුවන.

මෙසේ හිස් මුදුනේ ඇති තෙල් වලේ සිදු වන චලනය අසාමාන්‍ය ලෙස වේගයෙන් ඉහළ පහළ යන ස්වභාවයක් තිබේ නම් ඒ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුය.

ළදරුවාගේ හිස් මුදුනේ ඇති තෙල් වල සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල බවක් හැගෙන්නේ නම්, එයද වඩාත් කල්පනාකාරී විය යුතු තත්ත්වයක් වන අතර, වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍ය වේ.

මෙසේ තෙල් වල සාමාන්‍ය ආකාරයට වඩා විශාල වීමට බලපාන හේතු සාධක කීපයකි.

  1. උපතින්ම දරුවාගේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ස්‍රාවය වන තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය අඩුවීම නිසා. (මෙම තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර ලෙස තයිරොක්සින් හෝමෝනය දරුවාට ලබාදිය යුතුය.)
  2. උපදින දරුවා Down Syndrome තත්ත්වයේ දරුවෙකු වූ විට හිසේ පිහිටි තෙල් වල ප්‍රමාණයෙන් විශාල වේ.
  3. Achondrophasia නම් ජානමය තත්ත්වයේදී හිසේ තෙල් වල ප්‍රමාණයෙන් විශාලව දරුවා උපදින අතර, මෙහිදී එම දරුවා කුරු
    (අඟු‍ටුමිටි) ස්වභාවයක් පෙන්නුම් කරයි.
  4. මීට අමතරව , ළදරුවන්ට උපතින්ම ඇති වන රුබෙල්ලා වැනි රෝග තත්ත්වයන් වලදීද හිසේ තෙල් වල විශාලව පිහිටන බව හඳුනා ගන්නට හැකිය.
  5. විටමින් D ඌනතාව නිසා හටගන්නා Rickets වැනි රෝග තත්ත්වයන් නිසාද දරුවාගේ හිසේ පිහිටි තෙල් වල විශාල ස්වභාවයක් ගනී. මේ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ලෙස විටමින් ෘ ලබාදිය යුතුය.
  6. අඩු සති ගණනකින් උපත ලබන නොමේරූ ළදරුවන්ගේ ද මේ ආකාරයට හිසේ තෙල් වල විශාල ලෙස පිහිටයි.

දරුවාගේ හිස් මුදුනේ ඇති තෙල් වල ඉහළට නෙරා ඇති අවස්ථා :

  1. මොළයේ උණ තත්ත්වයන් ඇති විට දරුවාගේ හිසේ තෙල් වලේ ඉහළට නෙරීමක් දැකිය හැකිය.
  2. ළදරු මොළයේ හටගන්නා වෙනත් ආසාදන නිසාද (උදා උපතින්ම ඇති වන මොළයේ ගෙඩි, පිළිකා වැනි තත්ත්ව ) හිසේ තෙල් වල ඉහළට නෙරා එයි.
  3. මොළය අභ්‍යන්තරයේ සුෂුම්නා තරලය එකතු වීම
    (Hydrocephalus – මොළයේ වතුර එකතු වීම) නිසා හටගන්නා තත්ත්වය හේතුවෙන්ද හිසේ තෙල් වල ඉහළට නෙරා පිහිටයි.
  4. දරුවාගේ හිසට සිදු වන හදිසි අනතුරක් නිසාද හිස් කබලේ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතිවීමෙන් හිසේ තෙල් වල ඉහළට නෙරා ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබේ.
  5. සමහර අවස්ථා වලදී සමහර වැඩිහිටියන් විසින් හෝ ළදරුවා රැක බලා ගන්නා අය විසින් හිතාමතාම අනවශ්‍ය ලෙස දරුවා වේගයෙන් සෙලවීම නිසා (Abusive Head Trauma) දරුවාගේ හිස් කබල තුල අභ්‍යන්තර පීඩනය වැඩි වීමෙන් හිස් මුදුනේ ඇති තෙල් වල පිටතට නෙරා එන්නට හැකිය. (Shaken baby syndrome )

ළදරුවාගේ හිසේ තෙල් වල (Soft Spot) ඇතුලට එබී ගිය ස්වභාවයක් දකින්නට ලැබෙන්නේ කුමන අවස්ථා වලදීද?

  1. ළදරුවන්ට ඇති වන විජලනය (Dehydrated) හේතුවෙන් මෙම තෙල් වල ඇතුලට එබුණු තත්ත්වයක් දැකිය හැකිය. මෙහිදී ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා දරුවා යොමු කරවීම අත්‍යාවශ්‍යය.
  2. ළදරුවා මන්ද පෝෂණයෙන් පෙළෙන විටද හිසේ පිහිටි තෙල් වල ඇතුලට එබී ගිය බවක් පෙනෙන්නට ඇත.

ළදරුවෙකුගේ හිසේ පිහිටීම පිළිබඳව මූලික අවබෝධයක් හෝ තිබීම මඟින් යම්කිසි සුළු හෝ වෙනසක් තිබේ නම් ඉක්මන් ප්‍රතිකාර කරා දරුවා යොමු කරවීම පහසුය. ඒ සියල්ලත් සමඟ දරුවාගේ සාමාන්‍ය වර්ධනය නිසි ලෙස සිදු වන්නේදැයි අවධානයෙන් සිටීමද එකලෙස වැදගත් වේ. දරුවාගේ වර්ධනයේ යම් ගැටලු‍වක් ඇත්නම් එයට හේතුද සොයා බැලිය යුතු නිසාය.

මෙහිදී සෑම අවස්ථාවකදීම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මඟින් ළදරුවාට ඇති විය හැකි සංකූලතා බොහෝ දුරට මඟහරවාගත හැකිවන අතර, අවශ්‍ය වන්නේ ඒ පිළිබඳව මනා
සැලකිලිමත් බව හා අවධානයයි.

ස්වභාවයෙන්ම ඉතාම මෘදු ස්වභාවයක් ඇති අලු‍ත උපන් ළදරුවාගේ හිසේ පිහිටීම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවීම හෝ අනවශ්‍ය ලෙස බියවීමක් අවශ්‍ය නැත. ඉහත සඳහන් කිසියම් හෝ තත්ත්වයක් ඇති බව හඳුනා ගත්තේ නම් පමණක් ඒ සම්බන්ධව වැඩිදුර ප්‍රතිකාර සඳහා පමා නොවී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත දරුවා රැගෙන යාම වැදගත් බව නම් සිහි තබා ගත යුතුය.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා.
රිජ්වේ ආර්යා ළමා රෝහල.
බොරැල්ල.

සටහන ශෂිකා තල්පෙහේවා